අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa
ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව වසන සියලුම සත්වයින්ගේ හිත නැමැති ආකාශ සන්තානයේ පහල වී වදාල සද්ධර්මාලෝකයෙන් ප්‍රභාෂ්වර වු හිරු මඬලයි. සියලුම සත්වයින්ගේ ශෝක දුක් දොම්නස් නිවා සැනසීම ශාන්තිය පතුරවා, දැවී ඇවිලුනු චින්ත සන්තාන නිවා සනහල මහා කරුණාවෙන් සුපුෂ්පිත වැ ගිය ලෝකය නැමැති විලෙහි නැගි පිපී ආ නෙළුම් මලක් වැනිය. ඒ අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් පුබ්බේනිවාසානුස්සති නුවණින් දැක අතීතයේ කල්ප 100 කට පෙර අප බුදු සමිඳුන් දක්වාම වැඩ සිටි සත් බුදු රජාණන් වහන්සේලා ගැන බුද්ධ වංශ දේශනාවේ සහ දීඝ නිකායේ මහා පදාන සුත්‍රයේ දී අසිරිමත් කරුණු එලිකොට වදාල සේක.
මෙසේ මේ අනුව ඒ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන මේ සත් බුදු වරුන් වහන්සේලාගේ නිර්මල සම්බුද්ධ ශාසනවල අනාගාමි ඵල ලද අරහත්වය ලද උතුම් ශ්‍රාවකයෝ අදත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සී අකනිට්ඨක යන පංච සුද්ධාවාස බඹ තලයෙහි වෙසෙති. මෙසේ ආස්චර්‍ය් අද්භූත ගුණයෙන් යුතුව ඒ මහා මුනින්ද්‍රයන් වන්දනා කරණු පිණිස ඒ උතුම් ශ්‍රාවක බ්‍රහ්මරාජවරු අදත් ප්‍රිය කරති අප මේ භාග්‍යවත්, අරහත්, මහා සෘෂින් වහන්සේලාගේ පරම පාරිශුද්ධ වු ජීවිතය, සිහිකොට වන්දනා කරමු.
සත්බුදු වන්දනාව | Sathbudu Wandanawa Lyrics
විපස්සිස්ස නමත්ථු | – චක්ඛුමන්තස්ස සිරිමතෝ |
සිඛිස්සපි නමත්ථු | – සබ්බභුතානු කම්පිනෝ |
වෙස්සභුස්ස නමත්ථු | – නහාතකස්ස තපස්සිනෝ |
නමත්ථු කකුසන්ධස්ස | – මාරසේනා පමද්දිනෝ |
කෝණාගමනස්ස නමත්ථු | – බ්‍රාහ්මණස්ස වුසිමතෝ |
කස්සපස්ස නමත්ථු | – විප්පමුත්තස්ස සබ්බධී |
අංගිරස්ස නමත්ථු | – සක්‍ය පුත්තස්ස සිරිමතෝ |
යෝ ඉමං ධම්ම ම් දේසේසී | – සබ්බ දුක්ඛා පනුදනං |
යේ චාපි නිබ්බුතා ලෝකේ | – යථාභූතං විපස්සිසුං |
තේජනා අපිසුණා | – මහන්තා වීත සරදා |
හිතං දේව මනුස්සානං | – යං නමස්සන්ති ගෝතමං |
විජ්ජාචරණ සම්පන්නං | – මහන්තං වීතසාරදං |
විජ්ජාචරණ සම්පන්නං | – බුද්ධං වන්දාම ගෝතමං |
Sathbudu Wandanawa Sinhala Meaning
වඳිනෙමි මුනිදුන් විපස්සී නම්වු
සදහම් දෑසින් තුන්ලොව බබලන
නමඳිමි මුනිරජ සිඛී නමින්වු
සියලු සතට මෙත් සුව සිත පතුරන
වඳිනෙමි වෙස්සභූ සුගත මුනිරජුන්
සියලු කෙලෙස් අර බිඳලා සැනසුන
නමඳිමි මුනිඳුන් කකුසඳ නම් වු
සියලු මරුන් බල විරියෙන් බිඳහල
නමඳිමි කෝණාගමන මුනිරජුන්
නිකලැල් බඹසර තුලින් නිවීගිය
වඳිනෙමි කස්සප සුගත මුනිරජුන්
විමුක්ති සුවයෙන් ලෝසත සනසන
නිවන් රසය අග්‍රව ලොව බෙදනා
ශාක්‍යය පුත්‍ර යන ශ්‍රීයෙන් දිලෙනා
සියලු දුකින් බව ගමන නිමවනා
ඒ සිරි සදහම් මැනවින් දෙසනා
නමඳිමි ගෞතම මුනිඳුන් බැතිනා
නිවන් නිවෙනා සදහම් දන්නා
අමිත නිවන් සුව ලබා සැනසෙනා
විදසුන් නුවණින් තුන්ලොව දකිනා
බුදුවරු වෙති ලොව සැනසුම ලබනා
පිසුණු බසින් වදනින් නොපිරිහෙනා
දෙව් මිනිසුන් වෙත සැපත සලසනා
ආනුභාව ඒ බුදුවරු සිටිනා
සසර බියක් නැත උපතින් ලබනා
නමදිති විදුනැණ ඇති ඒ මුනිඳුන්
දෙලොව දෙව්බඹ පිරිස තුටින්
ලැබගති මගඵල නුවණම ලබමින්
බිය නැති මුනිවරු දෙසු දමින්
සසර අරුම කම් ඵ්ල සැම නැවතූ
සතර අපා දුක් සැම නිම කරලූ
සතර මග ඵලින් තුන්ලොව සැනසූ
වඳිනෙමි සාදු ගෞතම මුනිඳු
සත්බුදු පිරිත | Sathbudu Piritha
විපස්සී භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
සිඛී භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
වෙස්සභූ භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
කකුසන්ධෝ භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
කෝණාගමණෝ භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
කස්සපෝ භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
අංගීරසස්ස භගවා අරහං සම්මාප සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ
අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත සෘද්ධි අනන්ත ජුති
විපස්සී බුදුරජාණන් වහන්සේ | Vipassi Buddha
කල්ප අනූවක ඉහත දී සාර නැමති කල්පයේ මිනිස් ලොව අවුරුදු අසු දහසක් ආයු සහිතව ළොව පහල වු සේක. දඹදිව් තලයේ එවකට අගනුවර ලෙස බන්දුවතී නුවර ක්ෂත්‍රිය වංශික බන්දුම රජතුමා සහ බන්දුවති නම් වු අග්‍රමහේසිකාවන් මව්පියොඅ වුහ. අවුරුදු අට දහසක් ගිහි ජීවිතය ගත කල විපස්සී බෝසතාණන් වහන්සේ නන්ද, සුනන්ද, සිරිමා ප්‍රසාද තුනක සුව ලද සේක.
සුදස්සනා නොහොත් සුතනු නම් වු අග්‍රමහේෂිකාව ප්‍රධාන එක්ලක්ෂ විසිදහසක් පමණ කුමරියන් පිරිවරා රාජ්‍යය කල සේක. සතර පෙරනිමිති දැක සමවත්තක්ඛන්ධ නම් පුතු ඉපදුනු දින අජාන්‍යෙය අශ්ව රථයෙන් නික්මී අභිනිෂ්ක්‍රමණය කළ සේක. බෝසතුන් සමගින් අසුහාරදහසක් පැවිදි වුහ. අටමසක් දුෂ්කර ක්‍රියා කරමින් වීර්‍ය් වැඩු සේක. වෙසක් පුන් පොහො දින සිදර්ශන නම් සිටුවරයාගේ දියණිය විසින් පිළිගැන්වු කිරිපිඩු වළඳා සල් උයනක දිවා විහරණය කොට, සුජාත නම් යව පාලකයා විසින් පිළිගැන්වු කුස තණ අටමිටිය ගෙන පාඨලී (පලොල්) බෝධිය වෙත වැඩම කළහ.
එදින මුල සිටම අග තෙක්ම මලින් පිරි ගිය පලොල් බෝධිය උසින් රියන් සියයකි. සුදුවත් බදවට කදින් යුතු පලොල් වෘක්ෂය පනස් රියනක් පමණ දිසා අටටම අතුපත් විහිදී තිබිණ. නැගෙනහිර දිගින් කුසතණ ඇතිරූ කළ පනස්තුන් රියන් දිග වජ්‍රාසනය පොළොවෙන් උඩට මතුවිය. ඒ මත හිද සවිකෙලෙසුන් නසා සම්බුද්ධත්වය ලද සේක. සත්සති ගෙවා බ්‍රහ්මාරාධනාව පිළිගෙන ඛේම නම් මිගදායේ දම්සක් දෙසා අසංඛ්‍යයක් දෙවි බඹුන් අමා නිවනට යොමු කළ සේක. අග්‍රශ්‍රාවක දෙනම ලෙස ඛණ්ඩ නම් රජ කුමාරයාද, තිස්ස නම් පුරෝහිත පුත්‍රයා ද අනුපැවිදි අසූහාරදහසක් පමණ සඟ පිරිසටත් දම් දෙසා සැම් අරහත්වයට පත් වු සේක. මෙසේ අගසව් දෙනම ප්‍රධාන පැවිදි අරහත්වයට ලද හැට අට ලක්ෂයක් දෙනා වහන්සේලා සමග යමාමහා පෙළහර දැක පැවිදිව රහත් වු ලක්ෂයක් දෙනාද විපස්සී සර්වඥයන් වහන්සේගේ වේමාතික සොහොයුරු තිදෙනා සමග පැවිදිව අසූදහසක් සහිත මහා රහතුන්ගෙන් යුතු වු සංඝ සන්නිපාත තුනකින් සමන්විත වුහ.
ඒ සමයෙහි අපගේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ මහා ආනුභාව ඇති අතුල නම් දිව්‍ය නාගයෙකු වී නොයෙක් කෝටි ලක්ෂ ගණන් නාග පිරිස් සමග සර්වඥයන් වහන්සේ වෙත පැමිණ ආරාධනා කොට රත් සඳුනින් මණ්ඩපයක් ඉදි කොට පිරිවර සහිත විපස්සී බුදු සමිඳුන් හට දිව්‍යමය ප්‍රනීත ආහාර පානයෙන් සත් දිනක් පූජා පවත්වා, සියලු මාණික්‍යන්ගේ විසිතුරු වු ස්වර්ණමය පීඨාසනයක් පිරි නමා ලොව්තුරු බුදු බවට විවරණ ලද සේක.
විපස්සී සර්වඥයන් වහන්සේගේ අග්‍ර උපස්ඨායකයන් වහන්සේ අසෝක නම් වු ස්වාමින්වහන්සේ විය. චන්දමිත්තා නමින් අග්‍ර ශ්‍රාවිකා දෙනම විය. අසූරියණක් උසින් යුතුව යොදුන් සතක් පැතිර යන ශරීරාවලෝකයෙන් යුතුව තුන් ලොවට සෙත සැලසූ සේක. ඒ අමා සුවඳ විඳ සැනසූ ලෝකධාතුන් අභියස සුවසේ කල්ගත කොට පිරිනිවන් පා වදාල විපස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේහය ආදාහනයේ දි ඒකඝණ විය. ධාතුන් විසිර නොගියහ. සත් යොදුනක් උස රන් ගඩොලින් යුතු මහා සෑයක් ඉදිකොට මහා සෑයක් ගොඩ නංවා දෙවි මිනිසුන් අපමණ සැදැහින් වන්දනා කල සේක.
ඒ අනන්ත ගුණ පිරි විපස්සී බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.
විපස්සී නාථං චතුසච්ච දස්සිං
විසුද්ධ චිත්තං තභවෙක කෙතුං
සමන්ත සංකිලේස නුදං උදාරං
සුඛත්ථිකො තං පණමේ සදාහං
පිරූ පාරමිතා ගුණ යුතු – මුනිඳුන් ලොව වඩිනා
තම නුවණින් සිව්සස් දම් – සුවසේ දැක නිවුනා
තුන් ලොව අසහාය ගුණින් – සව් කෙලෙසුන් නැසුවා
විපස්සී මුනිඳුන් වඳිනෙමි – අමා සුවය බෙදනා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට වඳිමින් – ලොව්තුරු සුව පතනා
සිඛී බුදුරජාණන් වහන්සේ | Sikhi Buddha
විපස්සී සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මහා කල්ප 59 ක් බුදුරජාණන් වහන්සේලා පහළ නොවී හිස් වුහ. ඉන්පසු 31 වන මණ්ඩ නම් කල්පයේ සිඛී බුදුරජාණන් වහන්සේ පහළ වු සේක. අවුරුදු හැත්තෑදසක් පරම ආයුෂ ඇතිව ඒ මිනිස් ලොව වාසය කළහ.
සිඛී බුදුරජාණන් වහන්සේ අරුණවතී නුවර අරුණවා රජතුමාටත් ප්‍රභාවතී දේවියටත් දාව උපත ලැබු සේක. නිසහ නම් උයනේ හිස මුදුනේ සිඛාවක් වැනිම උපන් බැවින් සිඛී යන නාමය ලැබුනාහ. සුවන්දකසිරි, ගිරියස, නාරීවසභ නැමැති ප්‍රසාද තුනක් හිමිව සබ්බකාමි නැමති අග්‍රමහේසිකාව ප්‍රධාන සුවිසිදාහසක් නලඟනන් ඇතිව වසර සත්දහසක් ගිහිගෙයි විසුහ. සතර පෙර නිමිති දැක සබ්බකාමි මහේෂිකාවට අතුල නම් පුත් රුවන උපන් දින ඇතුපිටින් මහභිනික්මන් කොට උතුම් පැවිදි බව ලද දිනම හැත්තෑලක්ෂයක් පුරුෂයෝද ඒ අනුවම පැවිදිවුහ.
අට මසක් ප්‍රධන් වීර්‍ය් කොට පිරිසෙන් වෙන්වී වෙසක් පුන් පෝහෝ දින උදෑසන සුදස්සන නම් නියම්ගමේහි පියදස්සී සිටුතුමාගේ දියණිය පිළිගැන් වු කිරිපිඬු වළඳා තරුණකිහිරි වනයෙහි දිවා විහරණය කොට අනෝම දස්සී තවුසන් පිළිගැන් වු කුසතණ අට මිටද ගෙන පුණ්ඩරික නම් බෝධි රුක්ෂය වෙත පැමිණ නැගෙනහිර දිග බලා කුසතණ ඇතිරූ කළ සුවිසි රියන් දිග පළල ඇති වජ්‍රාසනය පහළ වු සේක. ඒ මත හිඳ චතුරංග සමන්නාගත වීර්යෙන් යොදුන් තිස් හයක් දුර සිට පැමිණෙන වසවත් මාර සේනාව පරදා සර්වඥතා නුවන ලබා සම්බුදු බව ලද සේක.
සත්සති ගෙවා බ්‍රහ්මාරාධනයෙන් සැත්තෑ සත් ලක්ෂයක් තමන් වහන්සේ සමග පැවිදි වී සිටි සැමට අරුණාවති නගරාසන්න මිගාවීර නම් උයනේ දී දම්සක් පැවතුම් සුත්‍රය දේශනය කළ සේක. ඉන් කෝටි ලක්ෂයක් දෙනා අමා නිවන් ලද සේක. අභිභු සම්භව නම් අගසව් දෙනම ප්‍රධාන පිරිසට දහම් දෙසමින් කෝටි අනුදහසක් දෙනා නිවනට පත් වුහ. ඉන් පසු සූරියවතී නුවර අස සපුගස් මුලදී තිර්ථක දමනය පිණිස යමාමහ පෙළහර පෑමේදී කෝටි අසුදහසක් දෙනා අමා මහ නිවනට පත් වුහ.
අභිභු සම්භව අගසව් දෙනම සමග ලක්ෂයක් මහරහතුන්ද, අරුණවතී නුවරදී ඤොතී සමාගමයේ දි පැවිදි වු රහතන් වහන්සේලා අසූදහසක්ද ධනඤ්ජය නුවර ධනපාල නැමැති ගෘහපති දමනයේ දි පැවිදිව හැත්තැදහසක් රහත් වුහ. සිඛී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් ලෙස මඛිලා, පදුමා යන දෙපල විය. අග්‍ර උපස්ථායකයාණන් වහන්සේ ලෙස ඛේමංකර නම් වු ස්වාමින් වහන්සේද පත් විය.
ඒ සමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ පරිභුත්ත නම් නුවර අරින්දම නමින් රජ කෙනෙක්ව ඉපිද සිඛී සර්වඥයන් වහන්සේගේ එනුවරට වැඩම කළ බැව් අසා සතියක් පුරා මහා දන්දී මගුල් ඇතු පරිත්‍යාග කොට ඇතු බරට කැප පිරිකර භාණ්ඩ දන් දී මතු බුදු වන බවට විවරණ ශ්‍රී ලැබූ සේක. සිඛී බුදුරජාණන් වහන්සේ මෙසේ තුන්ලොව සෙත සදා සීලවතී නුවර අස්සරාවයේ පිරිනිවන් පෑ සේක. ශාරිරික ධාතු ඒකඝණ විය. තුන් යොදුන් උස සත් රුවන් මහා සෑයක් බන්දවා පුද සත්කාර කළ සේක.
අනන්ත ගුණපිරි සිඛී බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.
සිද්ධං සිඛී සඤ්ඤ මනොම පඤ්ඤං
දෙවාති දෙං යතිනාථ භූතං
සන්තාරිතාවිං ජනතං භවණ්ණා
වන්දාමි තං ලොක ගරුං මුදාහං
නිමල රැසින් – බබලන සිල් ගුණ යුතු ණුවනින් බබලමිනා
දේව නාග සුර – බ්‍රහ්මරාජ සැම සැදැහින් පුදදෙමිනා
සංසාර සයුර – තෙර එතෙරට වඩිනා නෞකාවක්ලෙසිනා
සිඛී නමින් යුතු – බුදු හිමි නමදිමු
අප හැම සිත තුටිනා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට වඳිමින් – ලොව්තුරු සුව පතනා
වෙස්සභූ බුදුරජාණන් වහන්සේ | Wessabhu Buddha
සිඛී සර්වඥයන් වහන්සේගේ ශාසන අන්තර්ධානයෙන් පසු අනුපිළිවෙලින් ආයු පිරිහී දශවර්‍ෂයුෂ්ක සත්ව විනාශ වී නැවත කුසල් වැඩිමෙන් අසංඛෙය්‍ය ආයුෂ දක්වා පරමායුෂ වැඩි විය. නැවත ආයුෂ අඩුවීමෙන් පරමායුෂ හැටදහසක් වු කල්හි වෙස්සභූ සර්වඥයන් වහන්සේ පහල වු සේක.
අනුපම නුවර සුප්පතීත නම් ක්ෂස්ත්‍රීය රජතුමා ද යසවතී නැමැති රජ මෙහෙසිය ද මවුපියන්ව අනුපම උයනේ දි උපන්හ. උපන් කෙනෙහි ජනයා සතුටු කරමින් වෘෂභ නාදයෙන් නාද කළ බැවින් වෙස්සභූ යන නම සම්මත විය.
රුචි, සුරූචි, රතිවර්ධන නම් ප්‍රසාද තුනක සුචිත්තා දේවිය ප්‍රධාන තිස්දහසක් නළඟනන් සමග වසර සය දහසක් ගිහි සැප වළඳා, සතර පෙර නිමිති දැකීමෙන් පසු සුචිත්ති දේවිය කුසින් සුප්‍රබුද්ධ නම් පුත් රුවන උපන් දින රන්සිවිකාවෙන් උයනට ගොස් උතුම් පැවිදි බවට පත් වු සේක. ඒ අනුව පුරුෂයෝ තිස් හත් දහසක්ම පැවිදි වුහ.
පිරිසත් සමග සය මසක් මහා ප්‍රධාන් වීර්යය වැඩුහ. වෙසක් පුන් පොහෝ දින උදෑසන සුචිත්ත නම් නියම් ගමෙහි සිරිවර්ධන නැමැති සිටු දේවිය විසින් පිළිගැන් වු කිරිපිඬු වළඳා, සල් උයනෙහි දිවා විහරණය කොට සවස් වරුවේ නරින්ද නම් නාරජු පිළිගැන්වු කුසතණ අටමිට රැගෙන සාල බෝධිය වෙත පැමිණ නැගෙනහිරට අභිමුඛව සතලිස් රියනක් තැන කුසතණ අතුරා එපමණ දිග පළල සහිතව පැන නැඟුණ විදුරසුන් මත චතුරංග සමන්නාගත වීර්යය අධිෂ්ඨානයෙන් පළඟ බැඳ වැඩ හිඳ අළුයම් කාලයෙහි අභිසම්බෝධියට පත්ව ප්‍රීති වාක්‍ය වදාළහ.
සත්සති ගෙවා බ්‍රහ්මාරාධනය පිළිගෙන, ස්වකීය කණිටු සොහොයුරු සෝණ කුමාරයාගේත්, උත්තර කුමාරයාගේත් හේතු සම්පත් දැක අහසින් අනුපම නගරාසන්න අරුණ උයනට බැස, උයන් පල්ලා ලවා කුමරුන් දෙදෙනා එතැනට කැදවා පිරිස මැද ධම්මචක්ක සුත්‍රය දේශනා කළ සේක. එදින කෝටි අසුදහසකට ධර්මාවබෝධය විය. නැවත ජනපද චාරිකාවේ හැසිර දෙසු දහමින් සැත්තෑ කෝටියක් දෙනා නිවනට පත් වුහ. අනුපම නුවරයෙහි මිසදිටු බිඳමින් තීර්ථක මාන මර්දනය සඳහා යමාමහ පෙළහර පෑමේ දි හැට කෝටියක් දෙනා මග ඵල නිවනට පත් වුහ.
වෙස්සභූ සර්වඥයන් වහන්සේගේ මහා ශ්‍රාවක සමාගම් තුනක් විය. පළමුවැන්න සෝණ උත්තර අගසව් දෙනම සමග පැවිදි වු රහතන් වහන්සේලා ලක්ෂයක් සමග නවම් පුර පොහෝ දින උපෝසථය කිරීමෙන් සිදු විය. දෙවැන්න වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ අභිණික්මන් දින පැවිදි වු රහතන් වහන්සේලා තිස් හත් දහසක් සමග සොරෙය්‍ය නුවරදී පාමොක් උදෙසීමෙන් සිදු විය.
තෙවැන්න නාරිවාහන නුවර උපසන්ත රාජ පුත්‍රයා සමග පැවිදිව රහත් වු හැට දහසක් රහතන් වහන්සේලා සමග පාමොක් උදෙසීමෙන් සිදු විය. එසමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ සරභවතී නම් නුවර සුදර්ශන නම් රජ කෙනෙක් වී වෙස්සභූ බුදුරජාණන් වහන්සේ එනුවරට සපිරිවරින් වැඩම කළ බව අසා ඉමහත් භක්තාය්‍යාදරයෙන් එළඹ වැඳ නමස්කාර කොට බුදු පාමොක් මහ සඟනට සචීවර මහා දානයක් පිරිනැමුහ.
සුගන්ධ ගන්ධ කුටියක් සමග විහාර දහසක් කරවා සියලු සම්පත් පරිත්‍යාග කොට බුදු සසුනෙහි පැවිදිව කෙළෙස් ධුතගුණ පුරමින් ත්‍රිපිටක ධාරිව ධ්‍යානාභිඥාලාභිව විදර්ශනා වඩමින් සිට මතු බුදු වන බවට විවරණ ලද සේක.
වෙස්සභූ බුදුරජාණන් වහන්සේ උපන් නගරය අනුපම නම් විය. අනෝම නමින්ද කියති. මව්පිය දෙදෙනා සුප්පතීත, යසවතී නම් වු රජතුමා සහ බිසවය. අග්‍රශ්‍රාවක දෙනම සොණ උත්තර රහතන් වහන්සේලා වෙති. අග්‍ර උපස්ථායක උපසාන්ත රහතන් වහන්සේය. අග්‍ර ශ්‍රාවිකාවෝ දමා, සමාලා රහත් මෙහෙණින් වහන්සේලා විය. ශරීරය සැට රියනක් උසය. බෝධිය සාල වෘක්ෂයයි. ගිහි කල්හි දේවිය සුචිත්තා නම්, පුත් රුවන සුප්‍රබුද්ධ නම්, අභිනිෂ්ක්‍රමණය රන්සිවිකාවෙනි. දුෂ්කර ක්‍රියාව මාස හතකි. එකට පැවිදි වු පිරිස සත්තිස් දහසකි. ශ්‍රාවක සන්නිපාත තුනකි. ආයුෂ අවුරුදු සැටදහසකි. පිරිනිවීම උසභවති නුවර ඛේම නම් මිගදායෙහිදීය. ශාරිරික ධාතු විසිරීම නිසා බොහො ස්ථුප කරවා පුද සත්කාර පැවැත්විණ.
අනන්ත ගුණ පිරි වෙස්සභූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.
රත්තින්දිවංදෙහ පභාව භාසං
සන්දාලිතං නෙක කිලෙස ජාලං
ලෝකාතිගං නිච්ච ජානානු කම්පිං
වන්දෙ මුදාහල මුනිවෙස්සභූ තං
අඳුර විනිවිද නසා ලෝසත – දුකෙන් මුදවමිනා
ප්‍රභා ඇති ශ්‍රී දේහ දරමින් – සදා සැප සදනා
සියලු කෙලෙසුන් මුලින් සිඳලා – ඒ තෙරටම වඩිනා
වෙස්සභූ මහා මුනිඳු වඳිනෙමි – සාදු සිත බැතිනා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට වඳිමින් – ලොව්තුරු සුව පතනා
කකුසඳ බුදුරජාණන් වහන්සේ | Kakusandha Buddha
වෙස්සභූ සර්වඥ පරිනිර්වාණයෙන් පසු මහා කල්ප 29 ක් බුදුවරු නොමැතිව ඉකුත් වී ඇත. මේ මහා භද්‍ර කල්පයෙහි මෙතෙක් බුදුවරු සිවු නමක් පහළ වුහ. මතු වන බැවින් මේ කල්පය මහා භද්‍ර කල්පය නම් වන්නේය.
මෙහා පළමුවැනි අතුරු කපෙහි ඛේමවතී නම් නුවරක ඛේමංකර නම් රජ කෙනෙක් විය. ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අග්‍ර පුරෝහිත අග්ගිදත්ත නම් බ්‍රහ්මණ මෑණියන්ටත් පුත්ව දසමස් ඇවෑමෙන් ඛේම නම් උයනේ දී බෝසත් කුමරුවානෝ උපන් සේක. බෝසත් උතුමෝ වනාහි පශ්චිම භවයේ දි ක්ෂත්‍රිය වංශය උසස් වී නම් ක්ෂත්‍රිය වංශිකව ද බ්‍රහ්මණ වංශය උසස් වී නම් බ්‍රහ්මණ වංශිකව ද උපදිත්, ඒ වනාහි ආවේණික ධර්මතාවකි.
සුචි, සුරූචි, රතිවර්ධන නැමැති ප්‍රසාද තුනක, රෝචනී නැමැති බ්‍රහ්මණ කුමාරිකාව ප්‍රධාන තිස් දහසක් නළඟනන් සමග වර්ෂ සාර දහසක් රජ සැප විදිමින් සිට, සතර පෙරනිමිති දැක රෝචනී මවු කුසින් උත්තර නැමැති පුත් රුවන උපන් දින ආජඤ්ඤ රඨයකින් අභිනික්මන් කොට උතුම් පැවිදි බිමට පත්වුහ. ඒ අනුව පුරුෂයෝ හතලිස්දහසක් ද පැවිදි වුහ. එම සඟ පිරිසත් සමග අටමාසයක් මහා ප්‍රධාන් වීර්ය වැඩු කකුසඳ බෝසතාණෝ වෙසක් පුන් පොහෝ දින පිරිසෙන් වෙන් වී සුවිරින්ධ නම් නියම් ගමෙහි වජිරින්ධ නැමැති බ්‍රහ්මණ තුමාගේ දියණිය විසින් පිළිගැන්වු පිරිපිඬු වළඳා සවස් වන තුරු ඛදිර වනයේ දිවා විවරණය කළහ.
සවස් වරුවෙහි සුභද්‍ර නැමැති යවපාලකයා විසින් පිළිගැන්වු කුසතණ අට මිට රැගෙන සිරීස නැමැති බෝධි වෘක්ෂය වෙත පැමිණ නැගෙනහිර දිගින් සුතිස් රියන් වජිරාසනයේ වැඩ හිඳ සමන්නාගත වීර්යය අධිෂ්ඨානයෙන් පළඟ බැඳ වැඩ හිඳ අළුයම දී සම්මා සම්බෝධියට පත් වු සේක.
සත්සති ගෙවා බ්‍රහ්මරාධනය පිළිගෙන තමන් වහන්සේ සමග එකට පැවිදි වු සතලිස් දහසක් භික්ෂු පිරිසගේ හේතුවාසනා සම්පත් නුවණින් දැක එක් දිනකින්ම මඛිල නම් නගර සමීපයෙහි සම්භූත නැමති ඉසිපතන මිගදායට වැඩම කොට දම්සක් පැවතුම් දේශනාවෙන් කෝටි හතලිස් දහස් දෙනෙකු නිවන් අමාව පානය කරවු සේක.
නැවත කණ්ණකුජ්ජ නැමැති දොරටුවෙහි මහාසාල වෘක්ෂය යට යමාමහා පෙළහැර පෑමෙන් කෝටි තිස් දෙකක් දෙනාට අමා මහ නිවන් සුව ලබා දුන්හ. තවද, ඛේමවතී නුවරට නුදුරෙහි එක්තරා දේවස්ථානයක නරදේව නම් මිනී මස් කන යක්ෂයෙක් කාන්තාරයක් මැද කාටත් පෙනෙමින්ම විල්, පොකුණු මවාගෙන යන එන මිනිසුන් ග්‍රහනය කර ගනිමින් සිටියේය. ඒ මාර්ගයෙහි යන එන්නන් නැති වු කල්හි මහවනයට පිවිසී එහිදි හමුවන මිනිසුන් මරාගෙන කමින් සිටියේය. ඒ හෙයින් ඒ කාන්තාර මාර්ගය අනතුරු සහිත බව මුළු රටේම පැතිරුණි.
මහාකාරුණික බුදු රජාණන් වහන්සේ නරදේව නැමැති යක්ෂයාත් කාන්තාර මාර්ගයේ දෙපස රැස්වු ජනතාවත් නුවණින් දැක අහසින් වැඩම කොට මහජනතාව බලාසිටියදීම නරදේව යක්ෂයාගේ වාස භවනටම වැඩිය සේක. ඒදුටු නරදේව යක්ෂයා මහත් ගෞරවයෙන් තම යක්ෂ පිරිසත් සමග හිමවතින් මල් සපයාගෙන පැමිණ බුද්ධ පුජා කොට වැද නමස්කාර කරනු දුටු ජනතාව එතැනට රැස්විය. නරදේව යක්ෂයාහට කර්මඵල සම්බන්ධ දේශනා කොට සංවේග පහළ කරවා චතුරාර්යය සත්‍ය දේශනාව පැවැත් වු සේක. එහිදි ප්‍රමාණාතික්‍රාන්ත ජන සමුහයාට ධර්මාවබෝධය විය. මෙසේ මහා ධර්මාභිසමය වාර තුනක් සිදු විය.
කණ්නකුජ්ජ නගරයෙහි ඉසිපතන මිගදායෙහි දී නවම් පුන් පොහෝ දින දී තමන් වහන්සේ සමග එකට පැවිදිව දම්සක් දෙසුමේ දී රහත් වු සතලිස් දහසක් සඟ පිරිස සමග පාමොක් උදෙසන ලදි.
එසමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ ඛේම නැමති රජ කෙනෙක්ව සිට බුදු පාමොක් සඟ පිරිසට පාත්‍ර චිවර සහිතව මහා දන් දී නානාවිධ ශ්‍රමන පරිෂ්කාර සහ ඇස් අඳුන් ආදී බොහෝ බෙහෙත් වර්ගත් පුජා කොට බුදු බණ අසා පැවිදිව මතු බුදු වන බවටත් විවරණ ශ්‍රී ලත් සේක.
කකුසඳ බුදු රජාණන් වහන්සේගේ කාලයේ මේ ලංකාව ඕජදිපය නම් විය. රජතුමා අභය නම් විය. නුවර අභය පුර නම් මිහින්තලාව දේවකූට පර්වතය නම් ථුපාරාම භුමිය පටියාරාම නම් විය. කකුසඳ බුදු රජාණන් වහන්සේගේ මහදේව නැමැති රහතන් වහන්සේලා හතලිස් දහසක් දෙනා සමග දේවකූට පර්වතයට වැඩිය සේක.
එසමයෙහි මේ ඕජදිපයෙහි පජ්ජර රෝගයකින් මිනිසුන්ට විපතක් ඇති බව බුදු ඇසින් දැක වදාල සර්වඥයන් වහන්සේ සතලිස් දහසක් රහතන් වහන්සේලා සමග ඕජදිපයට වැඩි සේක. එකෙනෙහිම රෝගය සන්සිඳිණි. එහිදි දෙසු දහමින් අසුසාරදහසක් දෙනාට මගඵල නිවන් අවබෝධ විය. භාග්‍යවතුන් වහන්සේ ඩබරාව පරිබෝග පුජ්‍ය වස්තුවක් වශයෙන් දුන් සේක. එය තැන්පත් කොට පටියාරාමයෙහි සෑයක් කරන ලදි. මහාදේව නැමැති රහතන් වහන්සේ පිරිවර සහිතව ඕජදිපයෙහිම වැඩ සිටිමින් ඕජදිපය දහම් දිවයිනක් බවට පත් කළ සේක.
කකුසඳ බුදුරජාණන් වහන්සේ උපන් නුවර ඛේම නගරය නම්, මවුපිය දෙදෙනා අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා සහ විශාඛා නම් වුහ. අග්‍ර ශ්‍රාවක දෙනම විධුර, සංජිව රහතන් වහන්සේලා වෙති. අග්‍ර උපස්ථායක බුද්ධිජ නම් වෙති. අග්‍ර ශ්‍රාවිකාවෝ සාමා, චම්පා විය. බෝධිය සිරීස නම් විය. ශ්‍රී දේහය රියන් හතලිහක් උසැති විය. ශරීරප්‍රභාව දශ යොදුනක් පැතිර පැවතිණි. ආයුෂ වර්ෂ හතලිස් දහසකි. ගිහි සමයේ රෝවනී නැමැති අගමෙහෙසියත් උත්තර නැමැති පුත් රුවනත් වුහ. ආජඤ්ඤ රථයෙන් අභිනිෂ්ක්‍රමණය සිදු විය. මහා ප්‍රධන් වීර්යය අටමසකි. පරිනිර්වාණය ඛේම නැමැති මිගදායෙහි සිදු විය. ශාරීරික ධාතු විසිරීම හේතුවෙන් ලොව පුරා ශාරීරික ධාතු චෛත්‍ය ගොඩ නංවා පුද සත්කාර පැවැත්විණි.
අනන්ත ගුණපිරි කකුසන්ද බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.
පඨමෙව අස්මිං වරභද්ද කප්පෙ
දීපදුත්ත මත්තං සමුපගාතො යො
අමතං දදං තං කකුසන්ද නාථං
පමුදාව වන්දෙ වර සන්ති කමො
සෝ දුක් සුසුමන් හෙළනා – ලෝකම්පා වෙමිනා
මේ මහා කල්පය බලමින් – මිනිස් ලොවට වඩිනා
පුරනා පෙරුමන් බලයෙන් – සව් කෙළෙසුන් නසනා
සියලු සතුන් සැනසු මුනි – කකුසන්ද වඳිනෙමි මා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට වඳිමින් – ලොව්තුරු සුව පතනා
කෝණාගම බුදුරජාණන් වහන්සේ | Konagama Buddha
කකුසඳ බුදු සසුන අතුරුදහන් වී අනුපිළිවෙලින් පරමායු පිරිහි දසවර්ෂායුක කාලයක් සත්ව විනාශය සිදු වී කුසල් වැඩීමෙන් අසංඛෙය්‍ය දක්වා ආයු වැඩී නැවතත් පිරිහෙමින් තිස්දහසකට ආයු ඇති කාලයේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වු සේක.
සෝභවතී නැමති නුවරෙහි යඤ්ඤදත්ත නැමැති බ්‍රාහ්මණතුමන්ටත් උත්තරා නැමති බ්‍රාහ්මණී තුමියටත් පුත්ව කෝණාගමන බුද්ධාංකුරයන් වහන්සේ සුභගවතී නැමති උයනේ දී උපත ලැබුහ. මවුකුසින් බිහිවන වෙලාවෙහි මුළු දඹදිව් තලයෙහි ම කනක වර්ෂාවක් හෙවත් රත්තරං වර්ෂාවක් වැස්සේය. ඒ හේතුවෙන් බෝසතාණන් වහන්සේට කනකාගමන යයි නම් තැබු අතර ඒ නම කෝණාගමන නමින් භාවිතාවට පත්විය.
තුසිත, සන්තුසිත, සන්තුට්ඨ නැමැති ප්‍රසාද තුනක රුචිගත්තා නැමති බ්‍රාහ්මණ කුමරිය ප්‍රධාන සොලොස් දහසක් නළඟනන් සහිතව දිව්‍ය සමාන සම්පත් විදිමින් අවුරුදු තුන්දහසක් ගිහිවාසයෙහි යෙදි සිටියහ. රුචිගත්තා කුමරිය කුසින් සත්ථවාහ නැමති පුත් රුවන උපන් දින, සතර පෙර නිමිති දැක සසර කළකිරි සිටි බැවින් ඇත් වාහනයෙන් මහාභිණිෂ්ක්‍රමණය කළහ. ඒ අනුව තිස් දහසක් දෙනා ද පැවිදි වුහ.
සයමසක් මහා ප්‍රධාන වීර්යය වඩා වෙසක් පුන් පොහෝ දින පිරිසෙන් වෙන් වී අග්ගිසෝන නැමති බ්‍රාහ්මණතුමාගේ දියණිය විසින් පිළිගැන් වු
ක්ෂීරපායාසය වලඳා කිහිරි වනයක දිවා විහරණය කොට, සවස් වරුවේ තීන්දුක නැමති යවපාලක තැන විසින් පිළිගැන්වු කුසතණ අටමිට ගෙන උදුම්බර නම් වු දිඹුල් බෝධිය වෙත පැමිණ නැගෙනහිර දිගට අභිමුඛව කුසතණ ඇතිර වු කළ මතු වු විසිරියනක් දිග පළල් විදුරසුන් මත චතුරංග සමන්නාගත වීර්යය අධිෂ්ඨානයෙන් යෙදි පළඟ බැඳ වැඩ සිට අළුයම කාලයේ දි සර්වඥතාඥාන ප්‍රතිලාභයෙන් ලොවුතුරා බුදු බවට පත්වි උදන් ඇනු සේක.
සත්සති යවා බ්‍රහ්මාරාධනය පිළිගෙන ලොවපුරා බුදු ඇසින් බලා වදාරා තමා හා සමග පැවිදි වු සඟ පිරිස සුදස්සන නගර සමීපයෙහි ඉසිපතන මිගදායෙහි නැවතී සිටි බැවින් එතැනින් අහසට වැඩම කොට අනුත්තර ධම්මචක්ක සුත්‍රාන්තය දෙසු සේක. දම්සක් දෙසුමෙන් කෝටි තිස්දහස් දෙනා අමා මහ නිවනට පත් කළ සේක. ඒ වනාහි ප්‍රථම ධර්මාභීසමය විය.
නැවත සුන්දර නගර සමීපයෙහි මුලයේදී යමාමහ පෙළහැර පෑමෙන් කෝටි විසිදහසක් දෙනාට නිවන් සුව පානය කරවුහ. එය දෙවන ධර්මාභීසමයයි. මාතෘ දිව්‍යරාජයාණන් පෙරටු කොට දස දහසක් සක්වලින් සපැමිණි දෙවි බඹුන්ට තවුතිසා භවනේ දි අභිධර්ම පිටකය දේශනා කිරීමේ දි කෝටි දහසක් දෙනා අමා මහ නිවනට පත් වුහ. මෙය තෙවැනි ධර්මාභීසමය විය.
සුරින්දවතී නුවර සුරින්දවතී උයනේ දි භිය්‍යාසො නම් වුද උත්තර නම් වු රාජපුත්‍රයන් දෙදෙනාටත්, ඒ සමගම පැවිදි වු තිස් දහසක් පිරිසට ද දහම් දෙසා නිවන් සුව වළඳවා එහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා දි නවම් පුන් පොහෝ දින එම සඟ පිරිසට පාමොක් උදෙසුහ. මේ වනාහි එකම ශ්‍රාවක සන්නිපාතය විය.
ඒ සමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ මිථිලානගරයෙහි පබ්බත නමින් රජව සිටින අතර, කෝණාගම සර්වඥයන් වහන්සේ සපිරිවරින් මිථිලා නුවරට පැමිණි බව දැනගත් පබ්බත බෝසතාණන් වහන්සේ පෙරගමන් කොට පිළිගෙන මහා දානයක් පිරිනමා, සපිරිවරින් බුදු පාමොක් මහ සඟ පිරිස වස් වසවා ගෙන තෙමස පුරා උපස්ථාන කොට, පත්තුන්න පට විනපට කම්බලබකොසෙය්‍ය දුකුල කප්පාසිකා දි මහාර්ඝ සිනිඳු රෙදි පිළි ද රන් මිරිවැඩි ද තවත් බොහෝ පරිෂ්කාර ද පිළිගන්වා, මතු බුදු වන බවට විවරණ ලත් ශ්‍රී සේක. ඒ හේතුවෙන් මහා රාජ්‍ය හැරදමා කෝණාගම භාග්‍යවතුන් සමීපයෙහි ම උතුම් පැවිදි බවට ද පත්වුහ.
ශ්‍රී ලංකාද්වීපය කෝණාගම බුද්ධ කාලයේ වරදිප නම් විය. සමිද්ධි නැමති රජතුමා රාජ්‍ය කළේය. අනුරපුර අග නුවර වර්‍ධ්මාන නම් විය. මිහින්තලාව සුවර්ණකුට නම් විය. එසමයෙහි මේ වරදිපයේ මහත් දුර්භික්ෂයකින් මහත් ව්‍යවසනයක් ඇති විය. කෝණාගමන සර්වඥයන් වහන්සේ මහත් කරුණාවෙන් තිස් දහසක් පමණ රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ වරදිපයට වැඩම කළ කල්හි මහා වර්ෂාපතනයක් හට ගෙන නියඟය සන්සිඳිනි. එදින දෙසු දහම් දිවයිනක් බවට පත් විය. සර්වඥයන් වහන්සේගේ පුජනීය වස්තුවක් වන කායබන්ධනය භාර දි ආපසු වැඩිය අතර, ථුපාරාමයෙහි එය නිධන් කරන ලදි. මහ සුමන මහ රහතන් වහන්සේ ප්‍රධාන දහසක් රහතන් වහන්සේලා මේ වරදිපයෙහිම නැවතී වැඩ හුන්හ. උදුම්බර බෝධි දක්ෂිණ ශාඛාවත් වැඩම කරවා උඩ මළුවේ රෝපණය කරන ලදි. කකුසඳ බුද්ධ කාලයේ දි ද සිරීස බෝධි ශාඛාවක් එසේම රෝපණය විය.
කෝණාගම බුදුරජාණන් වහන්සේ උපන් නගරය සෝභවතී නම් විය. මෑණියෝ උත්තරා නම් ද පියාණෝ යඤ්ඤදත්ත බ්‍රාහ්මණ උතුමාණෝ නම් ද වුහ. අග්‍ර ශ්‍රාවක දෙනම භිය්‍යස, උත්තර නම් රහතන් වහන්සේලා නම් ද වුහ. අග්‍ර උපස්ථායක සොත්ථිජ ස්ථවීර නම් විය. අග්‍ර ශ්‍රාවිකා දෙනම සමුද්දා, උත්තරා රහත් ස්ථවිරින් වහන්සේලා වෙති. බෝධිය උදුම්බර හෙවත් දිඹුල් බෝධිය විය. දේහයේ උස ප්‍රමාණය තිස් රියනකි. ආයුෂ අවුරුදු තිස් දහසකි. ගිහි කාලයේ මෙහෙසිය රුචිගත්තා නම් ද පුත් රුවන සත්ථවාහ නම් වුහ. මහාභිණික්මන ඇත් වාහනයෙනි. විදුරසුන විසි රියනකි. ශ්‍රාවක සන්නිපාත එකකි. පිරිනිවිමෙන් පසු ආදාහනයේ දී ශරීර ධාතු විසිරීම හේතුවෙන් නා නා දිශාවන් හි ස්ථුප කරවා පුජා සත්කාර පැවැත්විණි.
අනන්ත ගුණපිරි කෝණාගමන බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.
භවණ්ණවා නිත්ථරණෙ ජනානං
සුපාතු භූතං තරණී සමානං
භවන්තගුං ලෝක හිතං මුනින්දං
නමාමි කෝණාගමන භිධානං
සසර සයුර මැඩ – දුක් ගිනි එතෙරට
යොමු වී සැනසෙමිනා
සීල සමාහිත – සුන්දර රුවකින්
මනුපියෙහි වසනා
ලෝක හිතාකර – සණරාමර ගුරු
ශිවංකරයි කියනා
නමදිමි කෝණාගම මුනිඳු මම – සාදු කියා බැතිනා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට වඳිමින් – ලොව්තුරු සු
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ | Kashyapa Buddha
කෝණාගම බුදු සසුන අතුරුදහන් වීමෙන් පසුව අනුපිළිවෙලින් ආයු පිරිහී දශවර්‍ෂ්යුක කාලයෙහි සත්ව විනාශය වී නැවත කුසල් පිරීම හේතුවෙන් අසංඛ්‍යට ආයුෂ වැඩි වී නැතත් පිරිහෙමින් අවුරුදු විසි දහසකට පැමිණි කාලයේ දි කාශ්‍යප බුදු සමය උදාපත් විය. කාශ්‍යප බුද්ධාංකුරයන් වහන්සේ බාරාණාසි නුවර බ්‍රහ්මදත්ත නැමති බ්‍රාහ්මණ පියාණන්ටත්, ධනවතී නැමති බ්‍රාහ්මණී මවුතුමියටත් පුත්ව ඉසිපතන මිගදායෙහි දි මෙලොව පහළ වුහ. ගෝත්‍රය අනුව කස්සප නමින්ම නම් තබන ලදි.
හංසවා, යසවා, සිරිනන්දන නැමති ප්‍රසාද තුනක සුනන්දා නැමති මෙහෙසිය සමග සතලිස් අටදහසක් බ්‍රාහ්මණ නලඟනන් ඇතිව අවුරුදු දෙදහසක් ගිහි සුව වින්දනය කරමින් සිටිද්දි සතර පෙර නිමිති දැකීමෙන් සසර කළකිරී සිටින අතර සුනන්ද බ්‍රාහ්මණීය කුසින් විජිතසේන නැමති පුත් රුවන උපන් දින මහාභිණිෂ්ක්‍රමනය කරන්නේමියි සිතූහ.
බෝසතාණන් වහන්සේ සිතනවාත් සමගම ප්‍රසාදය කුඹල් සකක් මෙන් කැරකී අහසට පැන නැගී ගොස් නිග්‍රෝධ බෝධිය මැදි කොට බිමට පාත් විය. බෝසතාණන් වහන්සේ පහයෙන් බිමට බැස මහා බ්‍රහ්මයා විසින් පිළිගැන්වු අටපිරිකර ගෙන උත්තම පැවිදි බවට පත් වුහ. ප්‍රසාදයේ සිටි අටසාලිස් දහසක් නළගන පිරිස පහයෙන් බැස අඩගව්වක් තරම් ඈතින් පිරිවර සහිතව සේනා ආරක්ෂා ඇතිව නැවතුම් ගත්හ.
ප්‍රසාදයත් සමග පැමිණි සියලු පුරුෂයෝ පැවිදි වුහ. මහා බෝධිසත්වයන් වහන්සේ සත් දිනක්ම මහා ප්‍රධන් වීර්ය වඩා වෙසක් පුන් පොහෝ දා උදෑසන සුනන්ද නැමති බ්‍රාහ්මණතුමිය පිළිගැන්වු ක්ෂීර පායාසය වළඳා ඛදිර වන උයනෙහි දිවා විහරණය කොට සවස් භාගයෙහි සෝම නැමති යව පාලකයෙකු විසින් පිළිගැන්වු කුසතණ මිටි අට රැගෙන නිග්‍රෝධ බෝමුලට සැපත් වී නැගෙනහිර දිගට කුසතණ ඇතිරවු තැන පසලොස් රියනක් දිගු පුළුල්ව පැනැ නැගී වජ්‍රාසනාරූඩව අභිසම්බෝධියට පත්වී උදාන වාක්‍යය වදාරා සත් සති ගත කරමින් නිවන් රස වින්දනය කළ සේක.
බ්‍රහ්මරාධනය පිළිගෙන තමන් සමග පැවිදි වු කෝටියක් පමණ සඟ පිරිස නැවතී සිටියා වු බරණැස ඉසිපතනාරාම මිගදායට වැඩම කොට අනුත්තර ධම්මචක්ක සුත්‍රාන්ත දේශනයෙන් කෝටි විසිදහසකට ධර්මාවබෝධය කරවු සේක. මෙය ප්‍රථම ධර්මාභිසමයයි. නැවත සාර මාසයක ධර්ම චාරිකාවක දි දෙසු දහමින් කෝටි දශසහස්‍රයකට ධර්මාභිසමය විය. එය දෙවැනි ධර්මාභිසමයයි. තවද සුන්දර නගරද්වාරයේ අසන වෘක්ෂ මුලයේ දි යමාමහ පෙළහැර පෑමේ දි දෙසු දහමින් පන් කෝටි දහසක් දෙනාට අමෘතය වැළඳ වුහ. එය තෙවැනි ධර්මාභිසමය විය.
තාවතිංස භවනයේ දී මාතෘ දිව්‍යරාජයාණන් ප්‍රධාන දස දහසක් ලෝක ධාතුවෙන් පැමිණි දෙව් බඹුන් තුන්කෝටි දහසකට නිවන් අමාව වැළඳ වුහ.
එසමයෙහි වනාහි මහත් සමෘද්ධි සම්පන්න මහේශාක්‍ය නරදේව නම් යක්ෂයෙක් එක් නගරයකට පැමිණ රජ වෙස් ගෙන එනුවර රජු මරා කා රාජ්‍යය ලැබ මිනී මස් කමින් ස්ත්‍රි ධුර්තයෙක් වු අතර, නුවණැති දක්ෂ ස්ත්‍රින් විසින් මොහු රජෙකු නොව යක්ෂයෙකු යයි දැනගත් පසු ඒ ස්ත්‍රිද කා දමා වෙනත් නගරයකට පිවිසෙයි. එහිදි එසේම මිනී මස් කමින් සිට ලජ්ජිතව පලා ගොස් සුනන්ද නගරය වෙතද ගියේය. එසේ පැන යන මිනිසුන් දැක කාශ්‍යප දශබලධාරින් වහන්සේ, නරදේව යක්ෂයා ඉදිරියට වැඩම කළ සේක. නරදේව යක්ෂයා ද තථාගතයන් වහන්සේ ඉදිරියේ මහත් භයානක ලෙස ගොරවමින් කෑ මොර දෙමින් බිය ගැන්විමට කළ උත්සහාය නිශ්පල වු පසු බැස යටහත්ව දමනය වි තෙරුවන් සරණ පැතීය. ඔහු විමසු ප්‍රශ්න විසඳු බුදුරජාණන් වහන්සේ ඔහු දමනය කොට දෙසු දහමින් දෙව් මිනිසුන් අතර අසංඛෙය්‍ය සංඛ්‍යාත පිරිසකට ධර්මාභිසමය විය.
තව ද බරණැස් නුවර තිස්ස නමින් පුරෝහිත පුත්‍රයෙක් විය. පුරෝහිත බ්‍රාහ්මණ තුමා විසින් කස්සප බෝසත් කුමාරවරුන්ගේ ශරීර ලක්ෂණ පරික්ෂා කොට “මේ කුමරා ගිහිගෙයින් නික්මී බුදු බවට පත්වන්නේ “යයි කියනු අසා සිටි ස්වකීය පුත්‍ර තිස්ස කුමරා “මමත් පැවිදිව සසර දුකින් මිදෙන්නෙමි” යි සිතා හිමවතට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි විය. ඔහුට අනුව විසිදහසක් දෙනා තවුස් පැවිද්දට පත්වී හිමවතම විසුහ. කස්සප කුමරුවාණෝ පැවිදිව බුදු බවට පත්වුයේ යයි අසා දැන තිස්ස තාපස තුමා සපිරිවරින් පැමිණ කාශ්‍යප සර්වඥයන් වහන්සේ නවම් පොහෝ දින පාමොක් උදෙසු සේක.
එසමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ ත්‍රිවේදයෙහි පරතෙර පැමිණ අහසෙත් පොළවෙත් ප්‍රසිද්ධ ජෝතිපාල නම් මානවකව ඝටිකාර කුම්භකාර තුමාගේ සහායෙන් කාශ්‍යප සර්වඥයන් වහන්සේ වෙත සැපත්ව බණ අසා පැවිදි වුහ. බලවත් වීර්යය අධිෂ්ඨාන ඇතිව ත්‍රිපිටකධාරීව වත් පිළිවෙත් පුරමින් බුදු සසුන බැබළවුහ. සුවිසි වන වරටත් මතු බුදු වන බවට විවරණ ශ්‍රී ලත් සේක.
කාශ්‍යප සර්වඥයන් වහන්සේ ජිවමාන සමයෙහි ශ්‍රී ලංකාව මණ්ඩදිප නම් විය. රජතුමා ජයන්ත නම් රජ කෙනෙක් විය. අනුරපුර නුවර විශාලා නුවර නම් විය. මිහින්තලය සුභකූට පබ්බත නම් විය. රට වැසියන් අතර මහා විවාදයක් පවත්නා බව බුදු ඇසින් දැක වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසිදහසක් රහතන් වහන්සේලා සමග මණ්ඩදීපයට වැඩම කරවා දහම් දෙසා ජනතාවගේ අරගලය සන්සිඳුවා අසුසාර දහසකට අමා මහ නිවන් සුව පානය කරවු සේක. තථාගතයන් වහන්සේගේ උදක සාටිකාව භාරදි, දහසක් පිරිවර භික්ෂුන් සහිතව සබ්බන්ධ තෙරුණ් වහන්සේ නවත්වා සර්වඥයන් වහන්සේ ආපසු වැඩම කළ සේක.
උදක සාටිකාව නිදහන් කොට ථුපාරාමය කරවන ලදි. නිග්‍රෝධ බෝධි දක්ෂිණ ශාඛාව උඩමළුවේ රෝපණය කරවා මණ්ඩදිපය එදවස ද ධර්මද්වීපයක් බවට පත් කරන ලද්දේය.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් නගරය බාරාණාසි නම් විය. පියාණන් බ්‍රහ්මදත්ත නම් ද මෑණියෝ ධනවතී නම් ද වුහ. අග්‍ර ශ්‍රාවක දෙනම තිස්ස, භාරද්වාජ රහතන් වහන්සේ දෙනම වුහ. අග්‍ර උපස්ථායක සබ්මිත්ත තෙරණුවන් වහන්සේය. අග්‍ර ශ්‍රාවිකා අනුලා, උරුවේලා නැමති රහත් මෙහෙණිවරු දෙදෙනාය. බෝධිය නිගෝධ නම් විය. ශ්‍රී දේහයේ උස ප්‍රමාණය රියන් විස්සකි. ආයුෂ ප්‍රමාණය අවුරුදු විසිදහසකි. ගිහි සමයෙහි අග මෙහෙසිය නන්දා නම් ද පුත් රුවන විජිතසේන නම් ද වුහ. ප්‍රාසාදයෙන්ම අභිනිෂ්ක්‍රමණය සිදු විය.මහා ප්‍රධන් වීර්යය සත් දිනකි. වජ්‍රාසනය පසළොස් රියනකි. පරිනිර්වාණය කාසි රටේ සෙතව්‍ය නුවර සෙතව්‍ය උයනේ දි සිදු විය. ධාතු ශරීරය ඒකඝනව ශේෂවිය. සියලු රට වැසියෝ එකතුවී එක එක්කෙනා සෑයේ පිට රවුම කෝටියක් අගනා රන් ගඩොල් එක බැගින් ද ඇතුල් ගර්භයට අඩ කෝටියක් අගනා රන් ගඩොල බැගින් ද රැස් කරවා මහෝසිලමෙය මැටියෙන් ද තග තෙලින් දියකිස ද කොට යොදුනක් උස මහා සෑයක් කරවා පුජා සත්කාර සිදු කළහ.
අනන්ත ගුණපිරි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි.
නමස්කාර වේවා.
වෙනෙය්‍ය ජත්තු කමලාකර බොධනාරිං
සද්ධම්ම රංසිං නිකාරාකාර රංසිමාලිං
ලොකුත්තරාමිත ගුණෝදය ඤාණසාලිං
වන්දාමි කස්සප සමවිභව සන්ති නාථං
සඳහම් රැස් – විහිඳුවමින් තුන් ලොව පියුමක් පුබුදු වනා
දිවා සදෘස – නිමල රැසින් තුන් ලොව සනසමිනා
ලොව්තුරු සැප – බෙදාලමින් සැනසුම සදනා
නමදිමි කස්සප මුනිඳුන් – පුන් කුසුමින් පුදනා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට – ලොව්තුරු සුව පතනා
ගෞතම බුදුරජාණන් වහන්සේ | Gautama Buddha
ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිසම්භාර ධර්ම මනොප්‍රණීධා, වාක් ප්‍රණීධාන, මහා ප්‍රණීධාන වශයෙන් ත්‍රිවිධය. මනොප්‍රණීධාන කාලය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයකි. බුද්ධෝත්පාද තුන්ලක්ෂයකි. ඒ කාලයේ බුද්ධෝත්පාද එක් ලක්ෂ විසිපන්දහසකි.වාක් ප්‍රණීධාන කාලය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයකි. බුද්ධෝත්පාද තුන්ලක්ෂ අසු හත්දහසකි. මහා ප්‍රණීධාන කාලය සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකි. බුද්ධෝත්පාද සත් විස්සකි.
ප්‍රථම විවරණය දිපංකර සර්වඥ පාද මුලයේ දීය. කාශ්‍යප බුද්ධ ශාසනය තෙක් පහළ වු බුද්ධ ශාසන විසිහතරේදිම විවරණ පතුල් ලත් සේක. වෙස්සන්තර ආත්ම භවයේ දි සත්වරක් පෘථුවි කම්පා කරවමින් බෝධි සම්භාර මුදුන්පත් කළහ. පශ්චිම භවයෙහි කපිලවත්තුපුර සුද්ධෝදන මහාමායා මව්පියනට පුත් රුවණ ලුම්බිණි සල් උයනේ දි උපත ලැබුහ. ගිහි ජිවිතය වසර විසි නවයකි. දාසය හැවිරිදි කල්හි රාජාභිෂේක ලත්හ.
යසෝදරා දේවිය ප්‍රධාන නළඟනන් සතලිස් දහසක් පිරිවරා රම්‍ය, සුරම්‍ය, සුභ නම් වු තුන් ප්‍රසාදයක දිව ඉසුරු මෙන් රජ සැප විඳිමින් සිටින අතර සතර පෙර නිමිති දැකීමෙන් සසර කළකිරි යසෝදරා දේවිය කුසින් රාහුල පුත් රුවණ උපන් දින ඇසළ පොහෝය දින මැදියම කන්ථක අසුපිටින් ජන්න ඇමතියා සමග රජමැදුරෙන් අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදි තීරයේ දි උතුම් පැවිදි බවට පත්වු සේක. ඝටීකාර නම් අර්හන්ත බ්‍රහ්ම රාජයා පිළිගැන්වු අටපිරිකර දරා ගනිමිනි.
සතියක්ම ප්‍රීති සැපයෙන් අනුපිය අඹ වනයෙහි ගතකොට දෙවැනි සතියේ දි අලාරකාලාම, උද්දකරාම තාපසවරුන්ගේ ආශ්‍රමයේ නැවති අෂ්ඨ සමාපත්තිලාභී වුහ. ඒ දෙදෙනාගේම ආරාධනය නොපිළිගෙන උරුවෙල් දනව්වට පැමිණ වසර සයක් මහා ප්‍රධන් වීර්යය වැඩුහ. උපන් දින පැවැත් වු සිංහ නාදයත්, අසිත කාලදේවල තාපසතුමාගේ අනාවැකියත්, උපන් පස්වැනි මස වප්මඟුල් දින ප්‍රථම ධ්‍යාන ලාභයත්, පැවිදි වු දින සිදු වු ආශ්චර්යයත් යනාදි සෑම තැනකදිම සිදු වු අත්දැකීමෙන් ආත්ම විශ්වාසය ඇතිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ සේක.
උවටැන් කරමින් සිටි පස්වග තවුසන් ඉවත් වු පසු මැදුම් පිළිවෙතින් අටසමවත් උපදවා වෙසක් පුන් පොහෝදා සෙනානි නියම් ගම්වාසී සුජාතා සිටු දේවිය පිදු කිරිපිඩු වළඳා සල් උයනෙහි දිවා විහරණය කොට සවස් වරුවේ සොත්ථිය නැමති බ්‍රහ්මණයා විසින් පිළිගැන් වු කුසතණ අටමිට රැගෙන අස්වත්ථ බෝධිරාජයාණන් වෙත පැමිණ නැගෙනහිරට මුහුණලා කුසතණ ඇතිරවු තැන පැන නැගි විදුරසුන මත පළඟ බැඳ වැඩ හිඳ දශබිම්බරක් පමණ වු පිරිස සමග පැමිණි දිව්‍යපුත්‍ර මාරයා පාරමී සනමර්ශණයෙන් අභිබවා ජයගත් සේක.
අළුයම බ්‍රහ්ම මුහුර්තයේ දි සවාසනා සකළ ක්ලේශයන් සෝදා හැර සර්වඥතා ඥාන ප්‍රතිවේදයෙන් සම්මා සම්බෝධියට පත් වු සේක. අනේකජාති සංසාරං යනාදි උදාන වාක්‍ය වදාරා සත් සතිය පුරා නිවන් සුව වළඳා බ්‍රහ්මාරාධනයෙන් ඇසළ පොහෝදා බරණැස ඉසිපතනාරාම මිගදායට වැඩම කොට පස්වග මහනුන් ප්‍රධාන දස දහසක් සක්වලට ඇසෙන සේ දම්සක් පැවතුම් දෙසුමෙන් අසංඛ්‍යෙක් දෙවි බඹුන් සහිත අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ සෝවාන් ඵලයටත්, දහඅට කෝටියක් බ්‍රහ්මයන් අරිහත් ඵලයටත් පත් කළහ. පස්වග තවුසන් සැම දෙනා එහි භික්ෂු භාවයෙන් උතුම් පැවිද්ද ලැබුහ.
බුදුවීමෙන් නවවෙනි වු නවම් පුන් පොහෝදා සාරිපුත්ත, මහා මොග්ගල්ලාන අගසව් දෙනම ප්‍රධාන එක්දහස් දෙසිය පනසක් වු මහ රහතන් වහන්සේලා සමග රජගහනුවර වෙළුවනාරාමයේ දි පාමොක් උදෙසා එකම ශ්‍රාවක සමාගම පැවැත් වු සේක.
ඥාති සමාගම, තීර්තක මාන මර්ධනය, මහා මංගල සුත්‍රය, පරාබව සුත්‍රය, චුල රාහුලෝවාද සුත්‍රය ආදි දේශනාවාර විසිහතරකදි සුවිසි අසංඛෙය්‍ය සංඛ්‍යාත දෙවිබඹ මිනිස් ජනතාවක් අමා මහ නිවනට පත් කළ සේක.
සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කපිලවත්තුපුර නුවර උපත ලත් සේක. සුද්ධෝදන මහාමායා දෙදෙන මවුපිය දෙදෙනා වුහ. අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් වුහ. අග්‍ර ශ්‍රාවිකා දෙනම ඛේමා, උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේලා දෙනම වුහ. බෝධිය අස්වත්ථ බෝධිරජයාණෝය. ආයුෂ් ප්‍රමාණය අවුරුදු සියයකි. අසු වියේදි පිරිනිවීම සිදු විය.
අභිනිශ්ක්‍රමණය අශ්වයා පිටිනි. දුෂ්කර ක්‍රියා කාලය සය වසරකි. වජ්‍රාසනය තුදුස් රියනකි. ගිහි කාලයෙහි දේවිය යසෝදරා නම් විය. පුත් රුවන රාහුල පුත් විය. අග්‍ර ශ්‍රාවක දෙනම සැරියුත්, මොග්ගල්ලාන නම් විය. ශ්‍රී ලංකා ගමන තෙවරක් විය. පිරිනිවිම කුසිනාරා නුවර උපවත්තන සල් උයනේ දිය. නිත්‍ය වාසය සැවැත් නුවර සමිපයේ ජේතවනාරාමයේය. ආදාහනයේ දි ශාරීරික ධාතු විසිරීම නිසා පළමු කොට ශාරීරික ධාතු චෛත්‍ය අටක් ගොඩනැගිනි. දෙව් ලොව, බඹ ලොව, නා ලොව, මනු ලොව හා දස දහසක් සක්වලටත් ශාරීරික ධාතු වැඩම කරනු ලැබීය. සක් තැන සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම බුදු රැස් විහිදෙමින් නිර්මිත බුදු රුව තුළ වැඩ සිටින සේක. ශ්‍රී ලංකාවේ අනුරාධපුර ශුද්ධ නුවර රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පමණකි. පිට දි වදාළ ශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ වැඩ සිටිනුයේ ද ශ්‍රී ලංකා ධරණි තලයේ ම වේ.
අනන්ත ගුණපිරි ගෞතම සම්මා සම්බුදු බුදුරාජණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.
යාවජ්ජ දීප්පති සුභං භුවනත්ත යස්මිං
යස්සානු සාසන චරං විපුලත්ත කාරිං
සමපුතකිත්ති විසරංජන සේවනීයං
තං ගෝතමං නදීවරං සත්තං නමාමි
දෙවි මිනිසුන් – සැම සුවයෙහි සැන්සුන නිමල සසුන දිලෙනා
පරම සුගම්භීර – සදහම් අසමින් සිව්මග ඵල ලබනා
අස්වත් රුක් මුල – කෙලෙසුන් නසමින් සම්බුදු බව ලැබුවා
සාදු සාදු නරවීර – උතුම් මුනි ගෞතම හිමි වඳිනා
ගිලන්පසින් මල් සුවඳ දුමින් හැම – ඒ මුනිඳුන් පුදනා
සාදු සාදු මුනිඳුන් හට වඳිමින් – ලොව්තුරු සුව පතනා
සත් බුදු පිරිත | Sathbudu Piritha
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
විපස්සි භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
සිඛී භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
වෙස්සභු භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
කකුසන්ධො භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
කොණාගමනො භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
කස්සපො භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
අමාහකං ගොතමො භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී
සත්තිමේ බුද්ධා භගවන්තො අරහන්තො සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඤාණෝ, අනන්ත ගුණෝ, අනන්ත තේජෝ, අනන්ත ඉද්ධි, අනන්ත ජුතී, අනන්ත ඉද්ධිමන්තා, අනන්ත ජුතීමන්තා, මයිහං නාථා, මයිහං දීපා, මයිහං තාණා, මයිහං ලෙනා, මයිහං පතිසරණා
අනන්තපුඤ්ඤෝ, බුද්ධා භගවන්තො අනන්තෙහි පුඤ්ඤ චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
අනන්තඤණා, බුද්ධා භගවන්තො අනන්තෙහි ඤණා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
අනන්තගුණා, බුද්ධා භගවන්තො අනන්තෙහිගුණා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
අනන්තතේජා, බුද්ධා භගවන්තො අනන්තෙහි තේජා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
අනන්තඉද්ධිමන්තා, බුද්ධා භගවන්තො අනන්තෙහි ඉද්ධිමන්තා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
අනන්තජුතිමන්තා, බුද්ධා භගවන්තො අනන්තෙහි ජුතිමන්තා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා සම්මා සම්බුද්ධා සබ්බෙහි සම්මා සම්බුද්ධ චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා පච්චේක සම්මා සම්බුද්ධා සබ්බෙහි පච්චේක සම්මා සම්බුද්ධ චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා ඛීනාසවා අරහන්තො සබ්බෙහි අරහන්ත චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා අරියා සබ්බෙහි අරිය චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා දේවා සබ්බෙහි දේවා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා ඉන්ද සබ්බෙහි ඉන්ද චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා බ්‍රහ්මා සබ්බෙහි බ්‍රහ්මා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා නාග සබ්බෙහි නාග චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා ගරුළා සබ්බෙහි ගරුළා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා යක්ඛා සබ්බෙහි යක්ඛා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා රක්ඛසා සබ්බෙහි රක්ඛසා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා ඉන්ද සබ්බෙහි ඉන්ද චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා ගන්ධබ්බා සබ්බෙහි ගන්ධබ්බා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ මහිද්ධිකා කුම්බණ්ඩා සබ්බෙහි කුම්බණ්ඩා චක්කෙහි මං රක්ඛන්තු සබ්බදා
සබ්බේ සම්මා සම්බුද්ධා සබ්බේ පච්චේක සම්බුද්ධා සබ්බේ ඛීනාසවා අරහන්තො සබ්බේ අරියා සබ්බෙ දේවා සබ්බෙ ඉන්ද සබ්බෙ බ්‍රහ්මා සබ්බෙ නාග සබ්බෙ ගරුළා සබ්බෙ යක්ඛා සබ්බෙ රක්ඛසා සබ්බෙ ගන්ධබ්බා සබ්බෙ කුම්බණ්ඩා මං රක්ඛන්තු සබ්බදා
අප විසින් රැස්කර ගන්නා ලද මේ උතුම් වු පුණ්‍යානුභාවයෙන් අප සියලු දෙනාට ද, පින්වත් දෙවි බඹුන්ට ද මේ උතුම් බුදු සසුන්ම අමා නිවන් ලැබුමට තරම් වු පිනැතියෝ, මේ බුදු සසුනේම උතුම් සිව්පස් දහම් අවබෝධ කොට සැනසීම ලබත්වා !!!
දිව්‍ය සමුහයාට පුණ්‍යානුමෝදනාව
එත්තාව තාච අම්හේහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ බ්‍රහ්මා අනුමෝදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ නාග අනුමෝදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ සත්තාව භූතා හිතාව අහිතා ව මේ
අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පාපුණන්තු සිවං පදං
පුරත්ථිමස්මිං දිසාහාගේ – සන්ති භූතා මහිද්ධිකා
දක්ඛිණස්මිං දිසාහාගේ – සන්ති දේවා මහිද්ධිකා
පච්ඡිමස්මිං දිසාහාගේ – සන්ති නාගා මහිද්ධිකා
උත්තරස්මිං දිසාහාගේ – සන්ති යක්ඛා මහිද්ධිකා
තේපි අමිහේනුරක්ඛන්තු – ආරෝග්‍යයෙන සුඛෙනච
පුරත්ථිමේන ධතරට්ඨෝ – දක්ඛිණෝන විරූළ්හ කෝ
පච්ජ්මේන විරූපක්ඛෝ – කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා – ලෝකපාලා යසස් සිනෝ
තේපි මං අනු රක්ඛන්තු – ආරෝග්‍යයෙන සුඛේනච
ඉද්ධිමන්තෝච යේ දේවා – වසන්තා ඉධ සාසනේ
තේපි මං අනු රක්ඛන්තු – ආරෝග්‍යයෙන සුඛේනච
ඉද්ධිමන්තෝච යේ දේවා – වසන්තා ඉධ සාසනේ
තේපි මං අනු රක්ඛන්තු – ආරෝග්‍යයෙන සුඛේනච
වෙණ්හු දේවෝ සක්කෝච – සුමනෝච විභීසනෝ
ගාමා රක්ඛක දේවොජි – ඉමං පුඤ්ඤානු මෝදතුං
රක්ඛන්තු ජින සාසනං – බෝධයංතු සිවංපදං
කප්ප සත සහස්සානි – සොළසානි අසංඛ්‍යෙයේ
සම්භරං බෝධි සම්හාරේ – ආගතෝ ජාති ජාතිසෝ
නියතෝ බුද්ධ භාවාය – භද්ද කප්පේ ඉධන්තිමේ
බෝධිසත්තෝච මෙත්ත්‍යෙය -පුඤ්ඤං මේ අනුමෝදතෝ
අකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
අකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේසනං
අකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංපරං
සියලු සත්වයෝ ම ලද පින් ලබා උතුම් චතුරාර්යය සත්‍ය සුවසේම අවබෝධ කර සැනසීම ලබත්වා!
Leave a Reply