පින්වතුනි ධර්මය කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. අපිට ධර්මය අහන්න ලැබෙන එක මහා වාසනාවක්. නමුත් ධර්මය කියන දේ, සද්ධර්මය කියන දේ එක පැත්තකිනුත් තමන්ගේ ජීවන රටාව තව පැත්තකිනුත් තබාගෙන අපි ගමන් කරොත් එයට විශාල වශයෙන්ම හේතු පාදක වන දේවල් කිහිපයක්ම වෙන්න පටන්ගන්නවා.
ඒක හින්දා මේ ධර්ම දේශනාව ප්‍රථමයෙන්ම ධර්ම සාකඡාවක් ලෙස ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම පින්වතුනි ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න ඕන මෙය ධර්ම දේශනාවක් බවට පත් කරගන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා මේ පින්වතුන්ලගේ ජීවිතේ මොකක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ …?
මේක ධර්ම සාකඡා බොහෝමයකට ආපු පින්වත් පිරිස නැතුව අපි මේ අළුතෙන්ම මාව මුණගැහෙන පින්වතුන්ලාට අවස්තාව දෙමු. ජීවිතේ මොනාද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මම තෙරණින් වහන්සේ නමක්, ඔබ ගිහි පිරිසක් විදියට දැන් ඉඳලා තේරුමක් නැහැ මගෙන් ප්‍රයෝජනයක් වෙන්න නම් අපි සුහදව සාකඡා කරන්න ඕන පින්වතුනි. බය වෙන්න එපා උත්තර වැරදුනාට කිසිම ප්‍රශ්නයක් නෑ විවෘත වෙලා අපි ඉතාම අවංකව අපේ ජීවිත ගැන බලමු.
ඔබට කුමක්ද ඔබ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ, ඔබ ජීවත් වෙන්නේ මොකක් හින්දද? කුමක් හින්දද පින්වතුනි? අපි උත්තර කිහිපයක් ලබාගමු. කවුද අපිට උත්තර දෙන්න කැමති. කවුරුත් නෑ වගේනේ. අන්න එක අම්මා කෙනෙක් නම් ඉන්නවා. මේ අම්මා මොනවද ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ? ජීවත් වෙන්නේ කුමකටද?
“අපි මේ ජීවිතේ ලබා ගත්ත මේ අවස්තාව මේ මනුස්ස ජීවිතයක් ලබාගත්ත අවස්තාවේ අපි යුතුකම් තීනවා ඒවා අපි ඉශ්ඨ කරමින්ම අපි නිවන් දැකීම සඳහා කටයුතු කරගන්න ඕන. ඒ සඳහා තමා අදත් අපි මෙතනට රැස් වුනේ. ධර්මය සවන් දීලා අපිට මේ ධර්ම මාර්ගයේ තවදුරට ගමන් කරලා නිවන් අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරගැනීමටයි”.
හරි ඒ එක පිළිතුරක්.
හැබැයි අපි ඇත්තටම පැය 24ක් ගත්තොත් මේ සඳහාමද යෙදෙන්නේ පින්වතුනි?
අපි තවත් විවෘතව තව අදහස් ගමු. තව මොන දේවල්ද ඔබ ඔබේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔබ ජීවත් වෙන්නේ කුමකටද? අන්න එයයි මගේ ප්‍රශ්නේ. ඔබ සැබැවින්ම ජීවත් වෙන්නේ කුමක් නිසාද? තව උත්තර. ම්.. මේ අම්මගේ උත්තරේ වුනේ අපි ඉපදුන හින්දා අපි ජීවත් වෙනවා හැබැයි ඉපදුන හින්දා ජීවත් වෙන අපි මොනව කරමින් ජීවත් වෙනවාද? මොනවද අපි කරන්නේ? මොකක් හින්දද අපි ජීවත් වෙන්නේ? මුක්‍ය පරමාර්ථය මොකක්ද ඔබේ ජීවිතයේ?
“හිත එකලස්ව තියා ගැනීම”.
සෑහෙන්න බුද්ධිමත් උත්තරයක්. හිත එකලස්ව තියගන්න. තව උත්තර. ඔබ මොන උත්තරයක් දුන්නත් ඒ සියළු උත්තර හරි. බය වෙන්න එපා.
“පිං දහම් කිරීමට”.
- හිත එකලස් කරගැනීමට,
- පිං දහම් කිරීමට,
- තව අපේ අම්ම කෙනෙක් උත්තරයක් දුන්න නිවන් අරමුණු කරගෙනත් අපි මේ ධර්ම දේශනා ඔක්කොටම එනවා.
ජීවිතෙන් ඔබ කුමක් බලාපොරොත්තු වෙනවාද? අවංකව ජීවිතය හිතල බලලා මොකක්ද කරගෙන යන වැඩපිළිවෙල.
“ජීවිතේ අපි නොයෙකුත් ප්‍රශ්න මැද්දේ අපි ගොඩාක් උත්සහ කරනවා සිත එකළස් කරගෙන යහගුණයෙන් යුතුව කටයුතු කරගෙන ඒ උතුම් පරමාර්ථයට යන්න”.
හරි. ජීවිතය ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ ගමන අපි ආරම්භ කරලා ඉස්සරහට ගෙනියනවා, යම්කිසි නිවනක් ඒ තුළින් බලාපොරොත්තුවෙන්. පින්වතුනි මේ තමයි අද ධර්ම සාකඡාවේ මූලික තේමාව.
ඔබේ ජීවිතෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
මේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන දේ අනුව පින්වතුනි ඔබේ ජීවිත මාර්ගය වෙනස් වෙනවා. ඒ මාර්ගය වෙනස්වෙන, වෙනස් වෙන මොහොතක් පාසා ඔබේ අරමුණත් එයට සාපේක්ෂව වෙනස් වෙනවා.
කියන දේ තේරුණාද?
අපි ජීවත් වෙනවා. අපි යම්කිසි බලාපොරොත්තුවක් ජීවිතයට අරගෙන ජීවත් වෙනවා. මේ බලාපොරොත්තුව එක එක ආකාරයට වෙනස් වෙනකොට පින්වතුනි එතකොට අපේ මාර්ගය ඒ අනුව වෙනස් වෙනවා. දැන් අපි බලමු මේ ජීවිතයෙන් ඔබ ඇත්ත වශයෙන්ම කුමක් හොයමින් ගමන් කරනවාද කියලා? මෙන්න මෙතනයි පින්වතුනි මම කියන්නේ සද්ධර්මයත් ඔබේ ජීවිතයත් කඩලා වෙන් වෙන්ව තියන්න බැහැ කියලා.
මේ දෙක එකට ගළපලා ගන්න වෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මේ දෙක අපිට එකට ගළපා ගන්න බොහෝම අමාරු වෙලා තියෙනවා.
අමාරු වෙන්නත් හේතුවක් තියෙනවා පින්වතුනි. ඒ අමාරු වෙන්න හේතුව අපි හොයාගත්ත නම් එහෙම අපිට ජීවිතය වෙනම ආකාරයකට දකින්න පුලුවන් වෙනවා. පළවෙනියෙන්ම හිතලා බලන්න. අවංකව හිතලා බලන්න ඔබේ ජීවිතයට මේ මොහොත වෙනකොට කුමක්ද අවශ්‍ය වන්නේ කියලා.
මේ ධර්ම දේශනාව අපි කොච්චර වෙලාවකට වෙන් කරල තියෙනවද ගයනි? පැය 2කට. මං දන්නේ නෑ කොච්චර වෙලා යයිද කියලා. මම නිකමට හරි කිව්වොත් මේ දේශනාව පැයකින් ඉවර වෙනවා කියලා සමහරක් පින්වතුන්ලා බොහෝ සාදු සාදු කියලා පිළිගනී. මම කිව්වොත් පැය එකහමාරකින් ඉවර වෙනවා කියලා සමහරක් ඒගොල්ලන් හිතයි, “ආ ඒකත් හොඳයි, ඉක්මනින් ගෙදර යන්න පුළුවන් වෙයි” කියලා.
නිකමට හරි මං කිව්වොත් නෑ මේ දේශනාව පැය 4ක් විතර මට කරන්න වෙනවයි කියලා, අනේ දැන් මොකද වෙන්නේ පින්වතුනි. නෑ පැය 4ක් නෙවෙයි පැය 6ක් විතර මේ ධර්මය දේශනා කරන්න වෙනවා අද. කාටවත් මේ පන්සලෙන් මෙතනින් එළියට යන්න බැහැ ඔහොම්මම ඉඳගෙන ඉන්න ඕන කියනවා.
දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ?
පළවෙනියට ටිකක් හිනායනවා. නේ? ඇයි මේ හිනාවෙන්නේ …? කරන්න පුළුවන් වැඩක්ද …? යම්කිසි ප්‍රමාණෙකට පුළුවන් හැබැයි ඒත් එක්කම මතක් වෙන දේවල් ටිකක් තියෙනවා නේද?
අන්න ඔබේ ජීවිතයේ මූලික වෙලා තියෙන දේවල් කීපය තමයි ඔය මතක් වෙන්නේ.
තේරුණාද? මොකක්ද මතක් වෙන්නේ? ගෙදර.
- අනේ කෑවද?
- බිව්වද දන්නෑ?
- දැන් මාව හොයයිද දන්නෑ?
- අඬයිද දන්නෑ?
- ආ බැනුම් අහන්න වෙයිද දන්නෑ?
- කොහේ ගියාද කියලා හොයයිද දන්නෑ?
- ආ දැන් දෙන උත්තරේ මොකක්ද?
- පිළිගනීද මේක?
ඔය දේවල් මතක් වෙනවා නේද? හෙටට කරන්න තියෙන බොහෝ රාජකාරී මතක් වෙනවා නේද? සූදානම් කරන්න තියෙන බොහෝ රාජකාරී මතක් වෙනවා නේද? දැන් මං නිකමට හරි කිව්වොත් මේ ධර්ම දේශනාව පැය 6ක් විතර කරන්න සිද්ධ වෙනවා පින්වතුනි ඔබ ඔහොම්මම ඉන්න කියලා.
ඔබට ධර්මය අහන්නත් ඕනේ නමුත් කියන කොටසක් එනවා පින්වතුනි.
ඔය නමුත් කියලා එන කොටස තමයි පළවෙනියෙන්ම අද මම කතා කරන්න මේ ධර්ම දේශනාව තුලින් විග්‍රහ කරලා ගන්න උත්සහ කරන්නේ.
මේ නමුත් කියලා හිතන කොටසක් තියෙනවා. නමුත් මෙන්න මේක මේක මට කරන්න සිද්ධ වෙනවා. ඒ අපි තුළ තියෙන බැඳීම්, ඒ අපි තුළ තිබෙන වගකීම් ඒ අපි ජීවිතේ මෙතෙක් කල් හැඩගස්වාගෙන ගිය ක්‍රමවේදය තමයි අපිට මතක් වෙන්නේ, පිලිඹිබු වෙන්නේ පින්වතුනි.
මොකක්ද මේ ක්‍රමවේදය?
අපි සාමාන්‍යයෙන් ජීවිතයේ ගෙවාගෙන යනකොට පින්වතුනි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා.
පළවෙනියෙන්ම ඉපඳුනාම ලොකු මහත් වෙන්න. අම්මලාගේ ලොකුම බලාපොරොත්තුව ඒ ලොකු මහත් වෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න හොඳ නැති එකක් නෙවෙයි හොඳ දෙයක් හැබැයි කුමක් සඳහාද? එයයි ප්‍රශ්නය. මේ හොඳ අධ්‍යාපනයක් ලබන දූ පුතුන්ලා හොඳ රස්සාවක් කරන්න. ඒ රස්සාව කරන හොඳ දූ පුතුන්ලා විවාහ වෙන්න. ඒ හොඳ විවාහයක් ලබන දූ පුතුන්ලා නැවත … මොකක්ද කරන්නේ? මොකක්ද කරන්නේ?
අනේ දැන් ඔය දෙන්නා විවාහ වුනානේ ඔන්න ගෙයක් තියෙනවනේ පැත්තකට වෙලා ඉන්න කියනවද? දැන් ඉතින් මොකක්ද කරන්න කියන්නේ? දරුවෝ හදන්න කියනවා. ඊටපස්සේ මොකක්ද වෙන්නේ පින්වතුනි. දැන් දෙන්නම රස්සාවට යනවා නම් දැන් මගේ දුවව මං ගොඩාක් හොඳින් ඉගැන්වුවා මගේ පුතාව ගොඩාක් මහන්සියෙන් උගන්නලා ඔක්කෝම දේවල් කලා.
අපි හැමදෙනාම කැමතියි මේ දුවට මේ පුතාට හොඳම සහකාරියක් සහකාරයෙක්ව ලබල දෙන්න.
එයාගේ බුද්ධි මට්ටම අනුව එයාගේ තානාන්තර අනුව ඔක්කොම කරල දෙන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව ඒක ලෝක ස්වභාවයක්. හැබැයි මේ ලෝක ස්භාවයට අපි ලේලි කෙනෙක්, මහත්තයෙක්ව ගෙනත් දුන්නට පස්සේ ඒ ලේලි රස්සාවට යනකොට දරුවව බලන්න වෙන්නේ කාටද?
ඔන්න අපේ ප්‍රශ්නේ …
දැන් දරුව බලන මම මේ දරුවා උස් මහත් කරන්න කොච්චර වෙහෙසෙනවද? මේ දරුවා අධ්‍යාපන කටයුතු වලට ගෙනියන්න කොච්චර වෙහෙසෙනවද? එකක්වත් නරකයි කියනවා නෙවෙයි.
හැබැයි ජීවිතේ ඇතුළාන්තේ මේ පෙන්නුම් කරල දෙන්න හදන්නේ.
මෙහෙම දරුවෝ හදන ඔබ, මෙහෙම ජීවිතයක් ගත කරන ඔබ, යම්කිසි දවසක පින් දහම් කරලා නිවන් අරමුණු කරගෙනත් ජීවත් වෙනවා. හැබැයි පින්වතුනි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ ඇවිල්ලා ඔබ මේ දිවි පෙවෙත ගමන් කරනකොට මේ තුළ ගමන් කරනකොට යම්කිසි අරමුණක් තියෙනවානම් ඒ අරමුණෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
ඔබ ඉස්සෙල්ලා මේ ලෝකෙට අයිති සියළු වැඩපිළිවෙලවල් කරගෙන යන්නේ මොකක් සඳහාද? ඔබට හොඳ අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ මොකටද? මොකක් හින්දද අධ්‍යාපනයක් ලබන්නේ? එකින් එක.
මොකක් හින්දද අධ්‍යාපනයක් ලබන්නේ? ඈ…
රැකියාවක් සොයාගෙන ඒ විදියට ගමන් කරන්න.
එතකොට රැකියාවක් සොයාගන්න ඔබ ඊටපස්සේ මොකක්ද වෙන්නේ? ඊටපස්සේ ඔබේ බලාපොරොත්තුව මොකක්ද? ඈ..
හොඳින් ඒ රැකියාවට අනුකූලව යම්කිසි මුදලක් ලබාගන්න.
දැන් ඔය මුදලක් ලබාගත්තට පස්සේ ඊටපස්සේ ඔබේ බලාපොරොත්තුව මොකක්ද?
ගෙයක් දොරක් හදාගන්න.
ඒ ගෙවල් දොරවලුත් හදාගන්න ඔබ ඊටපස්සේ මොකක්ද කරන්න බලාපොරොත්තුවෙන්නේ?
විවාහයක් හොඳ සහකාරියක්ව ලබාගන්න.
ඒකත් හම්බුනයි කියමුකෝ? ඊටපස්සේ මොකක්ද බලාපොරොත්තුවෙන්නේ?
ඊටපස්සේ දරුවන්.
ඊටපස්සේ ඒ දරුවන්ගෙන් මොනවද බලාපොරොත්තුවෙන්නේ?
හරි ඊටපස්සේ එතනින් එහාට ඒ දරුවොත් යම්කිසි කාල සීමාවක බඳී කියලත් බලාපොරොත්තු වෙනවා.
මේ ඔක්කොම වැඩපිළිවෙලම කරන්නේ කාව කාට සතුටු කරගන්නද? කාව කාට සතුටු කරගන්නද? මගේ අඩුපාඩුවක් තියෙනවා නම්, පළවෙනියෙන්ම එය සම්පූර්ණ කරගන්න අපි ලෝකේ සියළු දේවල් ලංකරගන්න බලනවා. හොඳ අධ්‍යාපන ක්‍රමයක්, හොඳ වේතනයක්. එතකොට අපි හිතනවා පින්වතුනි අපිට හොඳ වේතනයක් සහිතව හොඳ රැකියාවක් ලැබුනොත් ඒ තුළ අපිට සතුටක් ලබාගන්න පුළුවන්, සැනසීමක් ලබාගන්න පුළුවන් කියලා.
අපිට තියෙන සෑහෙන හොඳ රැකියාවක් හම්බුනා. එතනින් අපි නතර වෙනවද පින්වතුනි? රැකියාව තුළ විතරක් ගත්තත් අපි නතර වෙනවද? නිකන් හරි ප්‍රමෝෂන් එකක් දෙනවයි කිව්වොත් ඊටපස්සේ මොකෝ කරන්නේ? ඒකත් අපි ලබාගන්න උත්සහ කරනවා. එතනින් එහාට.. ඒකත් උත්සහ කරනවා.
එතකොට පළවෙනි දෙයින් ඇයි අපි සතුටු වුනේ නැත්තේ?
මොකක් හින්දද?
අපි තුළ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තව දෙයක් ලබාගන්න. ඒකම තමයි අපේ මුළු ජීවන වැඩපිළිවෙලේම යෙදිලා තියෙන්නේ පින්වතුනි. ඇත්තටම කල්පනා කරගෙන ගියොත් මොකක්ද අපි මේ හොයන්නේ?
බොහෝ දේවල් තුළින් ඇත්තටම හොයල තියෙන්නේ සතුටකුයි, සැනසීමකුයි.
අපේ දරුවන් තුළින්, අපේ ගෙවල් තුළින්, අපේ රැකිරක්ෂා තුළින්, අපේ පින් දහම් තුළින් , අපේ සීලය තුළින් අපි හැමවෙලාවෙම හොයන්නේ එකම දෙයක් ඒ තමයි සතුටයි, සැනසීමයි කියන දේ. මේ දේ හින්දා තමයි පින්වතුනි අපි මේ මුළු වැඩපිළිවෙලම කරගෙන යන්නේ. වෙන මොකක් හරි දෙයක් හින්දද? නිකමට කල්පනා කරල බලන්න මේ පින්වතුන්ලා. මෙයිට වැඩිය වෙනස් උත්තරයක් තියෙනව නම් එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්.
කාටහරි වෙනස් උත්තරයක් තියෙනවද? නෑ මන් මේ වැඩපිළිවෙල ඔක්කොම කරගෙන ගියේ මේකට නෙවෙයි මේ දේට කියලා. කාටහරි? කාටහරි හිතෙනවද? මං කියන්නේ මේ වැඩපිළිවෙල ඔක්කෝම චක්‍රෙම කරගෙන යන්නේ එක මූලික අරමුණක් හින්දා.
ඒ තමයි සතුටයි, සැනසීමයි.
දැන් පින්වතුනි මං ඔබෙන් තව ප්‍රශ්නයක් අහනවා. මේ වැඩපිළිවෙල ඔක්කොම ඉතාම සාර්ථකව අපිට කරගෙන යන්න පුළුවන් වුනා. අපිට හොඳම රස්සාවත් හම්බුනා. හොඳම නෝනාවත් හම්බුනා. හොඳම දරුවනුත් හම්බුනා. හොඳම දෙමව්පියනුත් හම්බුනා. හොඳම ගේත් හම්බුනා.
ඒත් ඔබට සැනසීමක් තියෙනවද? හොඳ..ට කල්පනා කරල බලන්න.
මේ බලාපොරොත්තු වෙච්ච සියළු දේ ඔබට ලැබුනයි කියල හිතන්න මොහොතකට. දින 7ක් දින 7යි. මුළු ජීවිත කාලයෙන්ම ඔබට මේ සියළු දේ හම්බවෙනවා. දින් 7ක් පින්වතුනි ඔබට සියළු දෙයින් සියල්ලෙන් සැනසිලා ඉන්න පුළුවන්ද සතුටින්..? දින 7ක්.. පුළුවන්ද? පුළුවන්ද අම්මේ? අනිත් පින්වත් පිරිස මොකක්ද හිතන්නේ? පුළුවන්ද? බැරිද? දින 7ක් සෑම සියළු දේම තියෙනවා. හොඳ බිරිදක් හොඳ මහත්තයෙක් හොඳ ගෙයක් හොඳ දෙමව්පියෝ හොඳ දූ දරුවෝ හොඳ රස්සාවක් හොඳ අධ්‍යාපන ඔක්කොම තියෙනවා. මං අහන ප්‍රශ්නේ.
ඔබට සතුට කියන දේ නිරන්තරයෙන්ම පැය 24ම දින 7ක් තියෙනවද? ඔව්ද? නැද්ද?
නෑ.
දින 5ක්, දින 3ක්? නෑ. පැය 24ක්? නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ තමයි පින්වතුනි සිද්ධර්ථ කුමාරයට තිබ්බේ. මෙන්න මේ ප්‍රශ්නේ. උන්වහන්සේට සාරාසංඛ කල්ප ලක්ෂ 4ක් පුහුණු කරපු ශිල්ප කොතෙක්නම් ඇද්ද?
මන්ත්‍රීත්වය ගත්තොත් ඒකේ සියළුම දැනුම් සම්භාරය තියෙනවා.
රාජත්වය ගත්තොත් ඒත් සියළුම දැනුම් සම්භාරය තියෙනවා.
වෙදකම ගත්තොත් ඒත් සියළුම දැනුම් සම්භාරය තියෙනවා.
නීති පැත්ත ගත්තොත් ඒත් සියළුම දැනුම් සම්භාරය තියෙනවා.
ඔය විදියට දැනුම ගත්තොත් සිදුහත් කුමාරයගේ ශිල්ප ශාස්ත්‍ර වලින් සියල්ලෙන්ම අග තැන්පත්. මාළිඟා ගත්තොත් අංග සම්පූර්ණ මාළිඟා එකකට 3ක් තිබ්බා. මේ මාළිඟා මොනවා වගේ කියලද මේ පින්වතුන්ලා හිතන්නේ.
දැන් අපිට මාළිඟා කිව්වම ටිකක් හිතාගන්න අමාරුයි. අපි නිකන් හිතන්නේ මේක සියල්ලෙන් සම්පූර්ණ අංග සම්පූර්ණ දෙයක් විතරයි කියලා. හැබැයි පින්වතුනි නිකමට හරි හිතන්න සාමාන්‍ය මට්ටමෙන් මං ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. මේක පොඩි උදාහරණයක් විතරයි. නිකමට හරි මේ පින්වතුන්ලා මොකක් හරි උත්සවේකට හරි තරු පහේ හෝටලේකට හරි ගියයි කියල හිතන්නකෝ. තරු පහේ හෝටලේකට. අපි කියමු හිල්ටන් වගේ හෝටලේකට ගිහින් තියෙනවා. නිකන් හිතන්න කවුරුහරි ඔබට ඇවිල්ලා කියනවා මේ හෝටලේ ඔබට දින 7ක් ඉන්න පුළුවන්. ඕනම කෑමක් කාලා, ඕනම විදියකට ඉන්න පුළුවන් දින 7ක් මුදල් නොගෙවා.
කැමතිද? නැද්ද? කැමතියි නේ?
ඊටපස්සේ ඒ කෙනාම ඇවිල්ලා කියනවා දින් 7ක් නෙවෙයි ඔබට මාසයක් ඉන්න පුළුවන් කියලා. කැමතිද? නැද්ද? කැමතියි. මාස 3ක් ඉන්න පුළුවන් කියනවා. කැමතිද? නැද්ද? මට ඇහෙන්නේ නම් නෑ. මේක ධර්ම සාකඡාවක්. ඈ.. කැමතියි. අනිවාර්යෙන්ම පින්වතුනි.
උන්වහන්සේගේ එක මාළිඟාවක් හිල්ටොන් හෝටලයට සමාන කරන්න බැහැ කිසිසේත්ම. ඒ තරම් සම්පත්තියක් තිබ්බා. එතකොට මේ ඔක්කොම දේවල් තිබිලත් යසෝධරා දේවිය හිටියා. පින්වන්ත බිරිඳක්, පින්වන්ත පුතෙක්, ප්‍රාර්ථනාවෙන් ආ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් මේ ඔක්කොම දේවල් තිබ්බා. මේ ඔක්කොම දේවල් තිබිලත් උන්වහන්සේට තිබිය යුතු ලොකුම දේ නැතුව තිබ්බා.
මොකක්ද ඒ? සතුටයි, සැනසීමයි.
ඒ දේ තිබ්බේ නෑ.
ඒ දේ හොයාගෙන තමයි උන්වහන්සේ ගියේ. පින්වතුනි මේක අනික් පැත්තට අපි අද කාලේ ගන්නවා උන්වහන්සේ දුකක් පිටිපස්සේ ගියා කියලා. බෞද්ධයෝ දුකක් පිටිපස්සේ යන පිරිසක් කියලා ලෝක නිර්මාණයක් අද වෙලා තියෙනවා. විකෘතියක් වෙලා තියෙනවා පින්වතුනි.
නමුත් සිදුහත් කුමාරයා ගියේ දුකක් පිටිපස්සේ නෙවෙයි. සිදුහත් කුමාරයා ගියේ සතුටක් හොයාගෙන.
මේ සියළු දේ තුළ උන්වහන්සේ දුකක් දැක්කා මහා ප්‍රඥ්ඥාවක් තිබ්බ හින්දා. මේ සියළු දේ තිබිලත් මෙයින් සෑහීමකට පත් වෙන්න බෑ කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. ඇයි හේතුව කියලා හොයන්න තමයි උන්වහන්සේ ගියේ. මේක නෙවෙයි සතුට. සතුටක් තිබිය යුතුයි, සැනසීමක් තිබිය යුතුයි. නමුත් මම අත්විඳින සියළු දේ තුළ නෙවෙයි මේක තියෙන්නේ මේක වෙන කොහේහරි තියෙන්නේ. මේක වෙන කොහේහරි ශාස්ත්‍රයක තියෙන්නේ. මේක වෙන කොහේහරි තලයක තියෙන්නේ. ලෝකේක තියෙන්නේ කියලා හිතාගෙන තමයි ගියේ ශාස්තෘන්වහන්සේලා පිටිපස්සේ.
උන්වහන්සේ සියළු දේ තිබිලා සියල්ල අතහැරලා ගමන් කරද්දී. අපි මොකක්ද කරන්නේ පින්වතුනි. දැන් අපේ තියෙන ටික රැකගන්න මොන තරම් වෙර වීරියක් අපි යොදනවාද? තේරුණා නේද පින්වතුනි? මේ දෙකේ වෙනස මොකක්ද කියලා. ඔබට සියල්ලෙන් සියල්ල ලැබුනත් ඔබට සැනසීමක් නැත්නම් කොහෙද අපි යන්නේ …
මේ සැනසීම නැහැ.
හිටපු ගමන් ලොකු අසනීප තත්වයක් එනවා නැත්නම් රස්සාව නැති වෙනවා. ඔන්න ඔය වගේ ලොකූ ප්‍රශ්නයක් විපත්තියක් අපිට සිද්ධ වෙනවා. එතකොට එයට පළවෙනියෙන්ම ඔබ කරන්නේ සාමාන්‍යෙන් අපි කරන සියළු දේ කරලා බලනවා මේක රැකගන්න පුළුවන් වෙයිද කියලා. එහෙමත් බැරි වුනාම පින්වතුනි ඔබ කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? හොඳට කල්පනා කරන්න.
මට අවශ්‍ය පිළිතුරු දෙන්න එපා. ඔබේ ජීවිතේ අත්දැකීමෙන් පිළිතුරු දෙන්න. මොකක්ද කරන්නේ? දැන් මගේ මහත්තයගේ රස්සාව නැතිවෙන්න ලඟයි. කරන්න තියෙන සියළුම දේවල් කරා අනිත් දේවල්. කෙනෙක්ට කියලා බලලා පැහැදිලි කරලා දීලා ඔක්කොම කරන්න තියෙන දේවල් කරා. ඒත් නැතිවෙන්න තියෙන මාර්ගෙට තමයි මේක යන්නේ. ඊටපස්සේ මොකක්ද මතක් වෙන්නේ අපිට …?
බෝධී පූජායි, පිංකම් ටිකයි මතක් වෙනවා. පන්සලේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේව මතක් වෙනවා. කේන්දරය ඉඳලා හිටලා මතක් වෙනවා. හැබැයි බෝධී පූජායි, පිංකම් මතක් වෙනවා ඊටපස්සේ.
දැන් මං ප්‍රශ්නයක් අහන්නම් පින්වතුනි. ඔබේ ජීවිතය මෙතෙක්කල් ඔබ පිංකම් කරලා තියෙනවාද? නැද්ද? සිල් රැකලා තියෙනවාද? නැද්ද? පංචසීලය වුනත් ආ.. දසසිල් වෙන්න පුළුවන් අට සිල් වෙන්න පුළුවන් පංසිල් වෙන්න පුළුවන් රැකලා තියෙනවද? තියෙනවා. පිංකම් කරලා තියෙනවාද? ඒකත් තියෙනවා. දැන් පින්වතුනි මේ හොයන සැනසීම ඔබට නැත්තේ ඇයි? අපි පිංකනුත් කරනවා නම් සිලුත් රකිනවා නම් හොඳ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවා නම්.
ඇයි, අපිට සැනසීම නැත්තේ?
ඒ කියන්නේ හෙට ඉඳන් මේ පිංකම් ඔක්කෝම අතහරිනවද? සිලුත් එපා, පිනුත් එපා, මුකුත් එපා. එහෙමද? මේ මෙහෙණින් වහන්සේ නමක් ඇවිල්ලා ධර්මයක් දේශනා කරා. ඊටපස්සේ පිනුත් නෑ, සිලුත් නෑ, මුකුත් නෑ. එහෙමද? නෑ මම කියන්නේ ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ප්‍රශ්නේට ඔබ පිංකම් කරනවා, සිල් රකිනවා, දේවල් කරනවා. යම්කිසි කාලසීමාවක් තුළදී දරුණු කර්ම විපාකයක් නෙමෙයි නම් යම්කිසි තරමකට මෙය සන්සිදෙනවා. ඊටපස්සේ මොකද වෙන්නේ පින්වතුනි?
ඒ ප්‍රශ්නේ නැති වෙනවා. තව ප්‍රශ්නයක් මතු වෙනවා.
මං අහන්නේ පින්වතුනි මේ ප්‍රශ්න මාලාව පිංකම් කරත්, සිල් රැක්කත් ඇයි නිතර නිතර මතු වෙන්නේ? ඇයි ඔබට සැනසීමක් නැත්තේ?
මොකක් හින්දද? ඈ.. මොකක් හින්දද? දන්නවද? ටිකක් හිතන්න. පෙර කල කර්ම විපාක මතු වෙනවා ඒකත් ඇත්ත. පෙර කල කර්ම විපාක නැවත නැවත නැවත නැවත මතු වෙවී අපිව පීඩාකාරී බවකට පත් කරනවා. දැන් අපි තව කර්ම විපාක රැස් කරගත්තොත් මොකද වෙන්නේ? තවත් ඉස්සරහට ඒ ටිකත් ගෙවන්න වෙනවා? හැබැයි මේ අතරතුරේ දෙයක් වෙනවා පින්වතුනි. ඒක තමයි මෙන්න මේ දේ. අපි පිංකම් කරනවා සිල් රකිනවා හැබැයි අපේ චේතනාව වෙනස් වෙනවා. ඔන්න ඕකයි පින්වතුනි ප්‍රශ්නය. කොහොමද අපිට පිංකම් කරන්න කියලා තියෙන්නේ.
අපේ සමහරක් පිරිසක් පිංකම් කරනවා පින්වතුනි මෙන්න මේ විදියට. මෙන්න මේ ප්‍රමාණය විතරක් කරාම හොඳටෝම ඇති. ඊට එහා කරන්න ඕන නැහැ. මොකෙන්ද මේ කරන්නේ. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පිංකම් කරනවා. ප්‍රතිඵලයක් තියෙයිද? කොහොමටවත් නැහැ. ඒක සම්පූර්ණෙන්ම අනාථයි.
එතකොට තව පිරිසක් පිංකම් කරනවා මෙන්න මේ ක්‍රමයට. අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් පිංකම් කරනවා. ඒ කියන්නේ මොකක්ද?
- කිසිම ලෝභයක් නෑ.
- මට කරන්න පුළුවන් උපරිමයෙන් මම පින කරනවා.
- කිසිම කෙනෙක් එක්ක ගැටි ගැටී පින කරන්න හදන්නේ නැහැ.
- උපරිම වශයෙන් හැමදෙනාම සතුටු සිතින් පිංකම් කරනවා.
- මගේ පිංකම කියලා මං මෝහයෙන් පිංකම් කරන්න හදන්නේ නැහැ.
- වෙන කෙනෙක්ට පෙන්නන්න පිංකම් කරන්නේ නැහැ.
- වෙන කෙනෙක් අභිබවා පිංකම් කරන්නේ නැහැ.
අමෝහයෙන් පිංකම් කරනවා.
හැබැයි මේ දෙකම ලෞකිකයි පින්වතුනි. ඇයි ඒ? ලෞකික වෙන්නේ දෙවෙනි පිංකම් ක්‍රමය. ඇයි ඒ? ලෞකික වෙන්නේ දෙවෙනි පිංකම් ක්‍රමය. ඒ කියන්නේ අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් පිංකම් කරත් චේතනාව අපි පිහිටෙවුවොත් අනේ මගේ මහත්තයගේ රස්සාව අනිත් සුමානේ ඉඳන් දින 21න් හරියාවා කියලා. මොකක්ද වෙන්නේ? ඒක ලෞකිකව සිත පිහිටවාගෙන තමයි මේ පිංකම අපි ඉෂ්ඨ සිද්ධ කරන්නේ. සමහරක් වෙලාවට මහත්තයගේ රස්සාව හරියයි.
හැබැයි ඊටපස්සේ එතනින් අපේ ප්‍රශ්න ගොන්න ඉවරවෙන මාවතක් අපි දකින්නේ නැහැ පින්වතුනි.
අපි සිල් රකිනවා. කොහොමද සිල් රකින්නේ? පෝය දවසට අපි උදේ පාන්දර යනවා. හැන්දෑවේ 5 වෙනකන් අපි සිල් රකිනවා. 5.30, 6, 7.30, 8 වෙනකොට සීලෙට මොකක්ද වෙන්නේ. අඛණ්ඩව පවතිනවාද? නෑ. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික බිඳෙන්න පටන්ගන්නවා.
අපි සිල් රැකලා චේතනාවක් පිහිටෙව්වොත් පින්වතුනි ලෞකික දේකට, ඒ ලෞකික දේ පමණක් අපට උපදින පිනක් ගෙන දෙනවා.
ඊටපස්සේ පින්වතුනි ඒ පින ගෙවිලා ගියාම ලෞකික බලාපොරොත්තුවකට එතනින් ඉවර වෙනවා. අපි පිංකමක් කරනවා අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් නමුත් චේතනාව පිහිටවන්නේ ලෞකික දේකට ඒ ලෞකික දේ මුදුන්පත් වෙලා පින ගෙවිලා යම්කිසි කාලසීමාවක හරි ඒ පින ගෙවිලා ඉවර වුනාට පස්සේ එතන ගන්න අපට දෙයක් නැතුව යනවා. අපි අතින් බොහෝ කර්ම විපාක වෙනවා. ඒ කර්ම විපාක සන්සිඳව ගන්න අපි නැවත නැවතත් පින් කරනවා. ඒ කර්ම විපාක ගෙවිලා ගියාම අපි තව කර්ම විපාක නැවත දාගන්නවා. තවත් පින්කම් කරනවා. තවත් සිල් රකිනවා. මෙන්න මේක තමයි අපේ චක්‍රය පින්වතුනි.
මෙන්න මේ චක්‍රය තුල සිටින ඔබ මේ චක්‍රෙන් ගොඩ එන්නේ කොහොමද දැන්. පොඩ්ඩක් හිතන්න.
පළවෙනි දේ පින්වතුනි චේතනාව පිහිටවන එක.
ඔබට පූර්ණ සැනසීමක් අවශ්‍ය නම් ඔබේ චේතනාව විය යුත්තේ පිංකම කරලා චේතනාව විය යුත්තේ මොකක්ද? මට පූර්ණ සැනසීමක් ලැබේවා. මට පූර්ණ මිදීමක් ලැබේවා. මට පූර්ණ නිවීමක් ලැබේවා. නිවනක් ලැබේවා. අන්න එතන ඉඳන් පින්වතුනි ඔබේ චක්‍රය වෙනස් වෙන්න පටන්ගන්නවා.
කොහොමද වෙනස් වෙන්නේ? එකපාරට නෙවෙයි. ටිකෙන් ටික මේ චේතනාව දිගින් දිගටම දිගින් දිගටම ඔබ කරගෙන යනවා නම් අන්න ඔබට දවසක පින්වතුනි ඒ නිවීමේ මාර්ගයට ඒ නිවීමට ඔබව මංමාවතක් ගෙනියනවා. ඒ ප්‍රාර්ථනා කරන සැනසීමක් ඔබට ලඟා කරන මාර්ගයක් ඔබට පාදලා දෙනවා.
එයයි ධර්මතාවය. එයයි විශ්ව නීතීය.
ඔබ ලෞකිකව දෙයක් බලපොරොත්තු වුනොත් එය ලැබෙනවා වගේම ඔබ පූර්ණ නිවීමක් බලාපොරොත්තු වුනොත් අඛණ්ඩව දිගින් දිගටම දිගින් දිගටම එය ඔබ බලාපොරොත්තු වුනොත් කවදහරි දවසක පින්වතුනි ඒ නිවීමේ මාර්ගය ඔබට එළඹෙන්න පටන්ගන්නවා. ඔබට කළ්‍යාන මිත්‍රයෙක් හම්බෙන්න පටන්ගන්නවා. ඒ කළ්‍යාන මිත්‍රයාගෙන් ඔබට බණ පදයක් අහන්න ලැබෙනවා.
ඒ බණ පදය තේරුම් ගන්න උත්සහ කරනවාද නැද්ද කියන එක ඔබේ අතේ තියෙන්නේ.
නමුත් ඔබට මාර්ගය විවෘත වෙනවාමයි. නියත වශයෙන්ම විවෘත වෙනවා. සිදුහත් කුමාරයාටත් මාර්ගය විවෘත වුනා නම් අපිටත් මාර්ගය විවෘත වෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ බෝසථාණන් වහන්සේවත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේවත් නෙවෙයි පින්වතුනි. මමවත් මේ ස්වාමීන් වහන්සේලාවත් නෙවෙයි. ඒ මාර්ගයේ ගමන් කරනවාද නැද්ද කියලා තීරණයක් ගන්නේ කවුද පින්වතුනි? ඔබමයි. ඔබේ තීරණය.
එතකොට මේ පිංකම් කරගෙන මේ සිල් රකින් පිරිසක් විදියට අපි මූලික චේතනාවක් පිහිටෙව්වොත් පින්වතුනි නිවනක්, නිවීමක්, සැනසීමක් බලාපොරොත්තුවෙන් මාවතක්, මාර්ගයක් අපිට උදාවෙනවා. කුමක්ද ඒ මාර්ගය?
ඒ නිවීමේ මාර්ගයයි.
මෙතෙක් මම දේශනා කරේ ඔබේ බලාපොරොත්තු ඔබේ ජීවිතය ඔස්සේ ඔබ කරගෙන යන දේවල්. ඇයි මේ දේවල් කරගෙන යන්නේ? සතුටක් බලාපොරොත්තුවෙන්. හැබැයි අපේ පූර්ණ සතුට අපි ලෞකිකව බලාපොරොත්තු වෙනකොට ඒ පූර්ණ සතුට තියෙන්නේ පූර්ණ නිවීමක් තුළයි පින්වතුනි. ඒ පූර්ණ නිවීම අපි අත්පත් කරගත්තේ නැත්නම් කෙටි කාලසීමාවකට අපිට සතුටු වෙන්න පුළුවන්.
ඉතාම කෙටි කාලසීමාවකට.
කොහොමද අපි සතුටු වෙන්නේ. මෙන්න මේ විදියට අපි ආස කරන දේවල් පිං දහම් කර කර අපි ප්‍රර්ථනා කරන්න ප්‍රර්ථනා කරන්න පින්වතුනි අපිට මොකක්ද වෙන්නේ. ලැබෙනවද? නොලැබෙනවද? අපිට ලැබෙනවා. ඒකාන්තයෙන්ම ලැබෙනවා.
අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් කරපුවම මොකද වෙන්නේ? අපිට ලැබෙනවා. ලැබෙන තරමට දෙන්න පටන්ගත්තොත් මොකද වෙන්නේ? තවත් ලැබෙනවා. කොහේද අපිට මරණින් පස්සේ යන්න පුළුවන් වෙන්නේ. දිව්‍ය තලයකට යන්න පුළුවන්. දේව තලයකට යන්න පුළුවන්. දීම තුළ – දේව. මොකක්ද? දීම තුළ ලැබෙන දෙයක්. දෙන දෙයින් ලැබෙන දෙයක්. උන්වහන්සේලා වැඩියෙන්ම මොනවද කරන්නේ? දෙන දේ.
එතකොට පින්වතුනි මේ දීම තුළ, පින තුළ, දානය තුළ, සීලය තුළ, චේතනාව පිහිටවීම තුළ අපි ලෞකිකව දෙයක් බලාපොරොත්තු වුනොත් එහෙම ඒ පින් මහිමෙන්ම අපිට දේව, බ්‍රහ්ම, නාග උපත්ති වලට යන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ දේව තල වල හෝ මනුෂ්‍ය තල වල හෝ බ්‍රහ්ම තල වල හෝ යම්කිසි කර්ම විපාකෙකට අපි වැරදි තීරණයක් ගත්තොත් මොකද වෙන්නේ පින්වතුනි.
නැවත අපි එයින් පල්ලෙහා තලයකට වැටෙනවා. නැත්නම් සතර අපායට වුනත් වැටෙන්න පුළුවන්කමක් තිබෙනවා.
දැන් පින්වතුනි මෙන්න මෙහෙම දෙයක් මං දේශනා කරනවා. ජීවිතය ඔබ කොතෙක් සැලසුම් කරනවාද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි ජීවිතේ කොතෙක් දුරට සැලසුම් කරනවාද?මේ ඉස්සල්ලා කතාකරපු මුළු ක්‍රියාදාමයම අපි සැලසුම් නොකර කරන දෙයක්ද? සැලසුම් කරලා කරන දෙයක්ද? සැලසුම් කරනවා.
අපේ දෙමව්පියන් හරි හිතල තියෙනවා අපිව මොන පාසල් වලට දානවද? ඉන්පස්සේ අපි රැකියාවල් තෝරගන්නකොට අපි සැලසුමක් යොදනවා. අපි විවාහ සහකාරයෙක්ව තෝරගන්නකොට අපි සැලසුමක් යොදනවා. මේ හැමදේටම පින්වතුනි අපි මොකක්ද කරන්නේ සැලසුමක් යොදනවා හැමවෙලාවටම. ඒ සැලසුම යොදන සැලසුම ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් අඩකට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන් හැබැයි අපි සැලසුම් යොදනවා.
මේ හැමදේටම සැලසුම් යොදන අපි බන්ධනාගාරයකින් නිදහස් වෙන්න සැලසුමක් යොදනවද?
ඒ මොකක්ද කිව්වේ? නිදිමතක් එනවානම් එහෙම හිතලා බලන්න තමයි ඔය වචනේ කිව්වේ. බන්ධනාගාරයකින් නිදහස් වෙන සැලසුමක් අපි යොදලා තියෙනවාද ඔය මුළු ක්‍රියාදාමෙම? නිකමට හරි හිරගෙයකට යන්න වුනොත් එහෙම මේක නොකර මේකෙන් වැළකෙන්නේ කොහොමද කියලා අපි සැලසුමක් යොදලා තියෙනවද?
නෑ නේද?
හිතන්නේවත් නෑනේ අපි. අපි හිතන්නේ සාමාන්‍ය ජීවිතේ අපි මේ විදියට ගතකරගෙන ගියොත් එහෙම අපිට කිසීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැයි කියලා. කවුද හිතන්නේ බන්ධනාගාරෙකට යන්න වුනොත් එහෙම මොකක්ද වෙන්නේ කියලා?
මං මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
පින්වතුනි ඇයි අපි මෙච්චර සිරගෙයකට යන්න බය? මොන හේතුවක් හින්දද? මොකක්ද තියෙන්නේ එතන? එතන තියෙනවා ලොකු තනිකමක්. එතන තියෙනවා ලොකු චෝදනාවක්. එතන තියෙනවා ලොකු කර්ම විපාකයක්. එතන තියෙනවා අපි ආස කරන කෑම කන්න බැරි එකක්. අපි ආස කරන පිරිසක් එක්ක ඉන්න බැරි එකක්. අපිට සුදුසු නොවන පරිසරයක ජීවත් වෙන්න වෙන එකක්. අපිට ලෙඩක් දුකක් හැඳුනොත් ඒ විදියටම ප්‍රතිකාර නොලැබෙන එකක් එතන තියෙනවා. අපි අසරණ වෙන එකක් එතන තියෙනවා. අපි මානසිකව දුක් විඳින එකක් එතන තියෙනවා. පීඩාකාරී බවක්, දැවීමක් එතන තියෙනවා.
මේ අපි දන්න අපේ බන්ධනාගාරවල සිද්ධවෙන දේ. කවුරුත් බන්ධනාගාරෙකට ගිහින් ඇවිල්ලා කියනවද මට සියල්ලෙන් සියල්ල හම්බුණා. මං බොහෝම කැමැත්තෙන් බොහෝම සතුටින් හිටිය කියලා කියන කෙනෙක් ඉන්නවද? ඉන්නවද එහෙම? නෑ.
එතකොට ඒ හින්දම අපිට මේ වචනය පවා පිළිකුල්. හැබැයි පින්වතුනි බන්ධනාගාරෙකට යන්න වුනොත් මොනතරම් අපිට පීඩාකාරී මානසික තත්වයක් තියෙනවාද? දැන් මං අහනවා තව ප්‍රශ්නයක් ඔබෙන්.
ඔබට සිරගත වෙන්න වුනොත් සතර අපායේ කල්පයකට?. බන්ධනාගාරේ ඇවිල්ලා සතර අපාය. දැන් මොකක්ද තත්වය ඔබේ. මොකක්ද පින්වතුනි තත්වය. නෑනේ ඒ වුනාට අපි යන්නේ නෑනේ එහේ. අපි පිංකම් කරලා තියෙනවා ඇති පදම් මෙහෙණින් වහන්ස අපි නම් යන්නේ නෑ මෙහෙට.
මැරෙන මොහොතේ ඔබේ චුති සිත ඔබට කියන්න පුළුවන්ද? අනේ දෙයියනේ මේ ඉඩම් කඩම් ටික ලියලා ඉවර කරේ නෑනේ. ඉතින් මේක ලියන්න වුනේ නෑනේ. ඒක හින්දා මේක මට රකින්න බැරි වුනා කියලා එක අංශු මාත්‍රෙක සිතුවිල්ලක් ආවොත් ඔබ කොහෙද උපදින්නේ පින්වතුනි. එක අංශු මාත්‍රෙක සිතුවිල්ලක්. ඔබ දැන් මේ මොහොතේ මැරෙනවා නම් මොකක්ද මතක් වෙන්නේ? අංශු මාත්‍රෙක සිතුවිල්ලක් ආවොත් ඔය විදියට.
කෙලින්ම ඔබ උපදින්නේ පින්වතුනි ප්‍රේත ලෝකේ.
රකින්න පුළුවන් ගේ, එතනම ප්‍රේතයෙක් වෙලා ඉඳගෙන. මනුෂ්‍යයන් වැඩීද? තිරිසන් සත්වයින් වැඩීද? එහෙනම් අපේ ප්‍රශ්නේට උත්තරේ තියෙනවා නේද? දැන් අපි කාටද කියන්න පුළුවන් මේ බන්ධනාගාරයෙන් මේ සතර අපාය කියන බන්ධනාගාරය අපිට තියෙන බන්ධනාගාරයට වැඩිය බිලියන ප්‍රමාණයක් අසීරුයි, අමාරුයි, කේදවාචකයක්, පිච්චීමක්, දැවීමක්, අනන්ත අප්‍රමාණ කාලසීමාවක් හිරවෙලා ඉන්න ඕන.
දැන් මේ බන්ධනාගාරයෙන් නිදහස් වෙන මාර්ගයක් ඔබ ඔබේ ජීවිතය තුළ කල්පනා කරාද?
මෙයට සැලසුමක් යෙදුවද?
අපිට තියෙන බන්ධනාගාරෙන් නිදහස් වෙන්න මෙච්චර අමාරු නම් නිකමට හරි කරුමෙකට හරි අත් වැරදීමක්, වෙන කෙනෙක් කරපු වරදකට මගේ පිට මේ මිනීමැරුම අත්විදින්න වෙනවා. පෙර කර්ම විපාකයක් මට පලදෙනවා.
ඒක හින්දා මේ තියෙන බන්ධනාගාරෙට මට යන්න වුනොත් ජීවිතාන්තය දක්වා මොනතරම් පීඩාවක්ද? දැන් හිතන්න ඔබ සතර අපාය වැනි බන්ධනාගාරෙකට යන්න වුනොත් මොන තරම් පීඩාවක්ද කියලා පින්වතුනි.
මොන සාක්ෂියද? කවුද අපට සාක්ෂි දෙන්නේ නෑ ඔබ කවදාවත් සතර අපායට යන්නේ නෑ කියලා. කවුරුත් නෑ!
අපි රැක්ක සියළුම දේවල් අපිට සතර අපායට ගෙනියන්න පුළුවන්ද? අපේ ධනය, වස්තුව, ගේ දොර ඔක්කොම, ගෙනියන්න පුළුවන්ද? බෑ. අපි රැක්ක පිරිස අපිත් එක්ක එනවද? අනේ කමක්නෑ ඉතින් මමත් එන්නම් ඔයත් එක්ක යන්න කියලා. එනවද? නෑ එහෙමත් නෑ. එහෙනම් මේ ලැබිච්ච දුර්ලභ කාලසීමාවෙන් කවදද පින්වතුනි අපි මේ සතර අපායෙන් නිදහස් වෙන්න සැලසුමක් යොදන්නේ?
අපි කවදද පින්වතුනි සීලයක් රැකලා හිතන්නේ මම සතර අපායෙන්ම නිදහස් වේවා.
මට නිවීමක් අත්පත් වෙත්වා.
කවදද පින්වතුනි අපි පිංකමක් කරලා හිතන්න පුරුදු වෙන්නේ පටන් ගන්නේ මේ සතර අපායෙන් නිදහස් වේවා.
මට නිවනම ලැබෙත්වා කියලා.
අපි ප්‍රර්ථනා කරන්නේ සියළු මනුෂ්‍ය සම්පත් කෙළවර, සියළු දිව්‍ය සම්පත් කෙළවර, සියළු බ්‍රහ්ම සම්පත් කෙළවර තව තියෙනවා නම් මුළු 31 තලයෙම කෙළවර මට අන්තිමට පුළුවන් වුනොත් හැකි වුනොත් නිවන් ලැබෙත්වා. අපි කට වචනෙටත් කියන්නේ එහෙමනේ. පුණ්‍යානුමෝදනාවෙත් මොකක්ද කරන්නේ? අන්තිමට තමයි නිවන තියෙන්නේ. දැන් මේ නිවීම මේ මඟදි නැතිවුනොත් මොකද වෙන්නේ?
ඒ මුළු කාලාන්තරයම අපි පිච්චෙනවා. දැවෙනවා,
රාගයෙන් දැවෙනවා,
ද්වේශයෙන් දැවෙනවා,
මෝහයෙන් දැවෙනවා,
ලෝභයෙන් දැවෙනවා.
පින්වතුනි, ද්වේශයෙන් දැවෙනවා, මේ සතර අපාය නිර්මාණය වෙලා තියෙන්නෙම අපිම ඇති කරගත්ත ගිණි ජාලාවල්. හේතුඵල විදියට අපිට අනික් පැත්තෙන් අත්විඳින්න සිද්ධ වෙනවා.
කවුරුත් මවල දීලා අපිව එතනට නිකන් ගිහිල්ලා හේතු නැතුව තල්ලු කරන්නේ නෑ පින්වතුනි. අපිම හදාගත්ත හේතු ටික අපිට ඵල විදියට ලැබෙන්න පටන්ගන්නවා. මගේ ප්‍රශ්නය කවදද ඔබ පිංකම් කරන්නේ, සිල් රකින්නේ, සැලසුමක් යොදන්නේ මේ ගිණි ජාලාවෙන් මිදෙන්න. අන්න එදාට ඔබේ ඇස් දෙක ඇරෙන්න පටන්ගන්නවා පින්වතුනි. ඒත් හිතන්න පුළුවන් සමහරක් පින්වතුන් ඇත්තටම මේ සතර අපායේ ගිහින් ඇති ඉතින් දැන් මට මතක නෑනේ. දැන් මට මතක නෑනේ.
ඉතින් ප්‍රශ්නයක් නෑනේ මතක නැති හින්දා. ඔබට ඊළඟ මොහොතේ මේ දුකම අයත් වුනොත් එතකොටත් ඔබට වින්ද මනුෂ්‍ය සම්පත්තිය ඔබට මතක නැහැ. ඒකේ අනික් පැත්තත් තියෙනවා. විඳපු සැප සම්පත් ඔබට මතක් වෙන්නේ නැහැ. ඔබේ තුළ තියෙන්නේ මේ පිච්චීම, මේ දැවීම, මේ ගින්න, මේ ගින්නේ තියෙන ඉතාම භයානකකම විතරයි ඔබට මතු වෙන්නේ. ඒ ගින්නේ තියෙන භයානකකම විතරමයි පින්වතුනි.
ඔබට ඉන් එහාට දෙයක් හිතෙන්නේ නැහැ. හිතන්න බැරි තරමටම ඒ දුකක් විඳින්න පටන්ගන්නවා.
එතනින් චුත වෙන්න තියෙන මොහොතක චූටි කාලසීමාවක තමයි නැවතත් පිනක් මතුවෙලා ඔබට සැනසීමට දෙයක් මතුවෙන්න පටන්ගන්නේ. සතර අපායේ සත්වයෙකුට එක සැනසීමේ අංශු මාත්‍රෙක දෙයක් මතක් වුනොත් එතනින් චුත වෙලා වෙනත් උප්පත්තියක් ලබනවා පින්වතුනි. සතර අපායෙන් නිදහස් වෙනවා කාලසීමාවකට.
මං මේ කියන්නේ කෙටි කාලසීමාවකට නිදහස් වෙන එක නෙවෙයි පූර්ණ වශයෙන්ම නිදහස් වීමට ඔබේ සැලසුම කුමක්ද? කවදාක්වත් අපි හිතනවද මේක ගැන. හැමදේටම සැලසුම් කරන අපි, අපේ මරණයට සැලසුම් කරනවාද? අපායෙන් නිදහස් වෙන මාර්ගෙ සැලසුම් කරනවාද? අන්න එතනයි මේ සද්ධර්මයයි ජීවිතෙයි එකතු වෙන තැන පින්වතුනි. මේ සද්ධර්මය ඔබට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හින්දා. ඔබ පිංකම් කරා නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හෝ අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් මේ හේතු 6න් පිංකම් කරා නම් ලෞකික චේතනාවක් පිහිටවලා ඔබට හම්බවෙන්නේ ලෞකික සම්පතක් කාලසීමාවකට ගෙවිලා ඉවර වෙන.
මේ හේතු 6ම ඔබට වැඩ 6ක් නිර්මාණය කරලා දෙනවා.
ඒ මොකක්ද කිව්වේ? මේ අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් ඔබ පිංකම් කරොත්, අපි හිතමු යම්කිසි කෙනෙක් ඇස් සැත්කමකට යම්කිසි මුදලක් වියදම් කරනවා. ප්‍රාර්ථනා කරනවා මට හොඳ ඇස් දෙකක් ජාති ජාතිත් හම්බවෙන්න කියලා. හේතුව කොහොමද හැදුවේ? ජාති ජාතිත් හොඳ ඇස් ලැබෙන්න.
එතකොට මොකද වෙන්නේ? ජාති ජාතිත් හොඳ ඇස් හම්බවෙනවා.
හැබැයි ඒ ජාතිය ප්‍රේත ජාතියක්ද, මකුළු ජාතියක්ද, ගව ජාතියක්ද, ගෙඹි ජාතියක්ද, මනුෂ්‍ය ජාතියක්ද, දේව ජාතියක්ද කියලා අපි දන්නේ නැහැ.
නමුත් ඇස් දෙකක් හම්බවෙනවා. ජාති ජාතිත් හොඳ පෙනීමක් එක්ක. තේරෙනවද පින්වතුනි? මේක තමයි ඇත්ත. මේකයි ඔබේ ලෞකික බලාපොරොත්තුව. ඒ ලෙසින්ම හේතුවට ඵලයක් නිර්මාණය වෙනවා. මේ 6 හේතුව ගත්තොත් ඒ තුළින් ඔබ වැඩ 6ක් නිර්මාණය කරගන්නවා. මොකක්ද මේ වැඩ 6? ඇස් දන් දීලා මොකක්ද හදාගත්ත හේතුව? චේතනාව පිහිටව ගත්තේ හොඳ ඇස් දෙකක්. දැන් මේ හොඳ ඇස් දෙක ලබාගෙන තව මොනවද අපි කරන්නේ ඒකත් එක්ක? තව රූප බලනවා.
මේ රූප බල බල රූපයක් තියෙන එක නෙවෙයි ප්‍රශ්නේ පින්වතුනි,
ඇස් දෙකක් ලැබුන එක නෙවෙයි ප්‍රශ්නේ,
නමුත් තව තවත් රූප බල බලා තව තවත් අපි ආසාවෙන් ඒකට බැඳීම ප්‍රශ්නයක්.
මේ පළවෙනි වැඩේ අපි කරන. දෙවෙනි වැඩේ මොකක්ද වෙන්නේ? කනින් ශබ්ද අහගෙන ඒ ශබ්ද වලට තියෙන ආශාව අපි අඩුකරගන්නවාද? වැඩි කරගන්නවාද? වැඩි කරගන්නවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. මේ ගඳ සුවඳ අපිට අවශ්‍ය තරමටම විඳින්න අපි තව තවත් උත්සහ කරනවා. සුවඳ විඳීමටම අපි තවත් ආශාවෙන් බැඳෙනවා. කවුරුහරි කෙනෙක් ගඳ විඳීමට ආශාවෙන් බැඳෙනවද? නෑ.
අපි හොඳ දේකට තමයි පින්වතුනි ආශාවෙන් බැඳෙන්නේ පින්වතුනි. දිවෙන් රස හඳුනගෙන මේ රස විඳීමට අපි බලාපොරොත්තු වෙනවා. ආශා ගොන්නක් අපි නිර්මාණය කරගන්නවා. කය පහසක් අපි බලාපොරොත්තු වෙනවා. මේ පහස නිතරන්තරයෙන්ම තිබෙනවයි කියලා අපි ආශාවෙන් එයට බැඳෙනවා.
6වෙනි දේ මනස තුළින් අපි ලෝකේ තියෙන සියළුම දේ හොඳයි වටිනවයි කියලා අරගෙන මේ සියළු දේ පවත්වාගෙන යන්න විකෘති ධර්මතාවයකින් බැඳෙනවා. ඔය තමයි පින්වතුනි අපි කරන වැඩ 6. ආශා 6කට බැඳිලා.
ඇහෙන් රූප බල බල ඒ ආශ්වාදය අපි දිගටම පවත්වාගෙන යන්න හදනවා. ආශ්වාදය කියන්නේ ආශාවට. ඒ අවිද්‍යාවට අපි බැඳෙනවා. කනෙන් ශබ්ද අහ අහ ඒ ආසාවල් වලට බැඳෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳ විඳ ඒ ආසාවල් වලට බැඳෙනවා. දිවෙන් රසය පිටිපස්සේ තියෙන ඒ ආසාවල් වලට බැඳෙනවා. කයෙන් පහස විඳීමට ඒ ආසාවල් වල අපි බැඳෙනවා.
එතකොට පින්වතුනි මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන මන මේ මනින් අපි විකෘති ධර්මතාවයක් ඔස්සේම තමයි අනික් සියළුම වැඩ ක්‍රියාත්මක කරවන්නේ.
මේ වැඩ 6ට අමතරව 7වෙනි වැඩක් අපි කරනවාද?
හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න. කරනවද පින්වතුනි අපි තවත් වැඩක්? මොන ක්‍රමයට ගත්තත් මෙන්න මේ 6 ඇතුළේ නේද වෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න.
ඇයි අපි රස්සාවල් කරන්නේ? මොකක් හින්දද? ජීවන වියදම නඩත්තු කරගන්න. අපිට කෑම අවශ්‍යයි, බෙහෙත් අවශ්‍යයි මේ දේට අපි ආශාවෙන් බැඳි බැඳී, බැඳි බැඳී, බැඳි බැඳී කරොත් මොකද වෙන්නේ? අර වැඩ 6ම ක්‍රියාත්මක වෙනවා. අපි ලෝකේ තියෙන සියළුම දේ මේ වැඩ 6ට දාන්න පුළුවන් පින්වතුනි. ඒත් එක්කම මේ වැඩ 6 ක්‍රියාත්මක කරවන්නේ අපි ආශාවෙන් බැඳි බැඳී ආශ්වාදයට බැඳි බැඳී.
මෙන්න මේ ආශ්වාදය කියලා දෙයක් තියෙනවයි කියලා ඔබ දැනගත යුතුයි.
මේ තුළ බැඳීමෙන් මේ ආශා ගොන්නටම බැඳීමෙන් මේක දුවන ගමනක් ලෙස ඔබ දැකිය යුතුයි පින්වතුනි. මේ චක්‍රේ අපි මනුෂ්‍ය වශයෙන් අපි කරන්න පටන්ගත්තම පින්වතුනි. මෙයට හැඳෙනවා කර්ම පතයක්.
ඒ කියන්නේ මොකක්ද? අපි මේ වැඩ ටික කරගෙන යනකොට අපි පින්වතුනි හැමවෙලාවෙම බලාපොරොත්තුවක් ඔස්සේ ආශාවක් ඔස්සේ දුවන්න පටන්ගන්නවා. මේ ආශා ගොඩම යම්කිසි දවසක අපිව දුකට පත් කරනවා. ඔන්න ඕක තමයි අපේ ජීවන චක්‍රය. අපි මනුෂ්‍යයෙක් වේවා, දෙවි කෙනෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, නාගයෙක් වේවා, සතර අපායේ සත්ත්වයෙක් වේවා මේ හැමෝටම එකම ධර්මතාවයක් පිළිඹිබු වෙනවා පින්වතුනි.
මේ එකම ධර්මතාවය මොකක්ද? මේ වැඩ 6ට අපි ආශාවෙන් බැඳි බැඳී ක්‍රියාත්මක වුනොත් ක්‍රියාත්මක වෙන මොහොතක් මොහොතක් පාසා අපිට දේවල් ලැබෙන්න පටන්ගන්නවා.
කොහොමද ලැබෙන්නේ? පිංකම් කර කර එයට අදාළව හේතු චේතනා පිහිටවනවා. ඒ හේතු ඔස්සේ ඒ චේතනා ඔස්සේ තවත් අපිට ලැබෙනවා. තවත් අඩු වෙනවා. අඩු වෙන තරමට අපි මොකක්ද කරන්නේ? අතහරිනවද? තව බැඳෙනවද? තව බැඳෙනවා. තව බැඳෙන තරමටම මොකක්ද වෙන්නේ? ආශාව වැඩිවෙනවා. මේ ආශාව වැඩිවෙන තරමටම මොකක්ද වෙන්නේ පින්වතුනි? අපිට නොදැනුවත්ම දුක වැඩිවෙනවා.
මම අර ගත්ත උදාහරණය තරු පහේ හෝටලයේ මාස 3ක් ඉඳලා ආවට පස්සේ අපේ පැල්පතට ගියායින් පස්සේ මොකක්ද වෙන්නේ? අනේ කමක්නෑ මාස 3කට මං උපරීම සම්පත විඳලා ආවයි කියලා සැනසීමකට පත්වෙන කෙනෙක් ඉන්නවද? ඉන්නවද පින්වතුනි.
තව තවත් ඒ වගේ දෙයක් නිර්මාණය කරගන්න අපි කොච්චර වෙහෙසෙනවද? අන්න එයයි දුවන ආසාව.
අන්න එයයි පින්වතුනි අපි දුවන ආසාව. නොදැනුවත්ව අපි මේ ලොකූ මායාවකට අහුවෙලා ඉන්නවා. මේ මායාව තුළ අපිට ලොකු පීඩනයක් අත් විඳින්න සිද්ධවෙනවා. මොකක්ද පීඩනය? අද ඔබ ජීවිතේ සැනසීමක් නැතුව ගත කරන පීඩනය තමයි ඔබට මායාවක් විදියට වෙන භවයකදී හේතු සහිතව ඇවිල්ලා තියෙන දේ. තේරුණාද?
මේ දේ තේරුණ පිරිස පොඩ්ඩක් අත උස්සන්න. අපේ ජීවිතේ යම්කිසි අපි පීඩාවකට පත්වෙනවා නම් සැනසීමක් නැති තත්වෙකට පත් වෙනවා නම් අර සියළුම පිංකම් කරලා අර සියළුම සිල් රැකලා තවත් අපිට පීඩාවක් තියෙනවා නම් මොකක්ද ඒ පීඩාව. හදපු හේතුවල ප්‍රතිඵලේ දැන් ලැබිලා තියෙනවා.
දැන් අපිට පුළුවන්ද ඒ භවයට ගිහිල්ලා මේක වෙනස් කරන්න. බෑ. එතකොට මොකක්ද පින්වතුනි කෙරිය යුත්තේ? අනාගතයට ගිහිල්ලා මේක වෙනස් කරන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් තීරණය ගන්නේ මෛත්‍රී බුදුන් බුදුවෙන කාලෙට මමත් නිවන් දකිත්වා කියලා චේතනාව පිහිටෙව්වොත් මොකද වෙන්නේ? උන්වහන්සේගේ කාලසීමාවට අපි තව භව කීයක් එහාට යන්න ඕනද? හිතන්නවත් පුළුවන්ද?
ආ.. චේතනාව වැරදියට පිහිටෙව්වොත් පින්වතුනි එයට අනුකූලව ප්‍රතිඵලය හම්බෙනවා.
නිකමටහරි ඔබ චේතනාව පිහිටෙව්වොත් මේ මේ මොහොතේ මට සැනසීමක් අවශ්‍යයි, නිවීමක් අවශ්‍යයි, මේ මාර්ගය මට පෑදෙන්න අවශ්‍යයි, මගේ මොළේට මේක ඒත්තු ගැන්නෙන්න අවශ්‍යයි කියලා මොකද වෙන්නේ? ඒ ඒ මොහොතේ ඉඳන් ඔබ නිවෙන මාර්ගයකට එන්න පටන්ගන්නවා.
ඔබේ ආශාව මොකක්ද කියලා ඔබ තේරුම්ගන්න පටන්ගන්නවා. ඔබ දුවන්නේ මොකකද කියලා ඔබට වැටහෙන්න පටන්ගන්නවා. ඒ දිවීමේ ප්‍රතිඵලය මොකක්ද කියලා ඔබට වැටහෙන්න පටන්ගන්නවා පින්වතුනි. තේරුණාද? මෙයට අපි කුමක් හෝ උත්තරයක් සෙවිය යුතුයි කියලා ඔබේ හදවතට ඔබේ මනසට තේරෙන්න පටන්ගන්නවා. එතකොට මොකක්ද ඔබ කරන්නේ? එයට අදාලව ඒ නිවීමේ මාර්ගය සැබැවින්ම හොයනවා දේශනා කරන නිසා නෙවෙයි.
ඒකයි මං ඔබෙන් ඇහුවේ පින්වතුනි ඔබ කවදද පිංකම් කරන්නේ මේ නිවීම බලාපොරොත්තුවෙන්?
ඔබ කවදද සැලසුම සකස් කරන්නේ සතර අපාය නැමැති බන්ධනාගාරයෙන් ගැලවෙන්න?
අන්න එදාට පින්වතුනි නියත වශයෙන්ම ඔබ ක්‍රමයක් හොයනවා. මොකද ඔබ දකිනවා මේ කරන වැඩපිළිවෙල ඔස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවයි කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි කියලා ඔබට තේරුම් යන්න පටන්ගන්නවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ කොහෙන්ද හොයාගන්නේ කියලා ඔබ ධර්මය තුළින් සද්ධර්මය තුළින් එය හොයන්න පටන්ගන්නවා. අන්න එතන සද්ධරම්ය ලැබුනුවිට ඇහුණුවිට ඔබ ටිකෙන් ටික ඒ මාවත ඔස්සේ ගමන් කරන්න වීර්ය යොදනවා.
එකපාරට කරන්න බැහැ.
හැබැයි ඔබ වීර්යෙන් යුතුව මේ ප්‍රශ්නෙට ඔබ උත්තරයක් හොයනවා. ඔබේ ගෙදර පවුලේ පරිසරය අසහනකාරී නම් මේ ඔක්කොටම හේතුව මොකක්ද කියලා ඔබ හොයන්න පටන්ගන්නවා. ඔබට අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවානම් ඒ මුළු දේටම හේතුව හොයන්න පටන්ගන්නවා.
කෙටි විසඳුම් නෙවෙයි.
ඔබට පීඩාකාරී රෝග තත්වයක් ඇතිවෙලා තියෙනවානම් එයට ඔබ නිත්‍ය වශයෙන්ම විසඳුමක් හොයන්න පටන්ගන්නවා. කෙටි කාලසීමාවක් මේ භවය ඉවරවෙන තෙක් විතරක් නෙවෙයි. මේ මනුෂ්‍ය ජීවිතය ඉවරවෙන තෙක් පමණක් නොවෙයි. භවයේ රෝගයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ සියළු දෙයින් සැනසෙන්නේ කොහොමද කියලා ඔබ හොයන්න පටන්ගන්නවා.
අන්න ඒ සෙවීම තුළ පින්වතුනි කවදාහෝ දවසක, මොහොතක ඔබ නිවෙන්න පටන්ගන්නවා. ඔබට තේරුම් යනකොට මේ වැඩ 6 කරනවා මම ඇත්තටම මම කරනවා හැබැයි මේ වැඩ 6 තුළ මට නිවීමක් නැහැ. මට සැනසීමක් නැහැ. මේක මම දිගටම දිගටම දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. තව දිගට දිගට දිගට කරගෙන යන්න පුළුවන්. ඒත් මට සැනසීමක් නැති වෙනවා.
කෙටි කාලීනව සැනසීමක් තියෙනවා.
ඒ සැනසීම තිබිල යම්කිසි දවසක ඒක පල්ලෙහාට වැටෙනවා.
පල්ලෙහාට වැටෙන්න පටන්ගන්නකොට අපි මොනවද කරන්නේ පින්වතුනි. ඒ ඇතුළත බලන්න පටන්ගන්නවාද? නැත්නම් කෙටි විසඳුමක් ආයේ දෙන්න හදනවද? අපි පුරුදු වෙලා ඉන්නේ මොකටද? කෙටි විසඳුම් දෙන්න. නමුත් මේකේ පතුළත තියෙන දැවීම දැක්කොත් එයට ඔබ නිසි පිළියමක් යොදන්න පටන්ගන්නවා. ඒ නිසි පිළියම තමයි ඔබේ නිවීම ඔබේ සැනසීම. මේ ආශා ගොන්නේ තියෙන මේ රාගයේ තියෙන දැවීම මතුපිටින් පේන්න පටන්ගන්නවා.
ඒ රාගයේ දැවීම, ඒ ගින්න නිවන්න ඔබ සද්ධර්මය හොයාගෙන යනවා පින්වතුනි.
මොකක්ද මේ ජීවිතයේ තේරුම?
කොච්චර කරත් මට දවස් 7ක් එකදිගට ඇයි සැනසීමෙන් ඉන්න බැරි කියලා ඔබට මතක් වෙනවා නම් එයට ඔබ යන්න පටන්ගන්නවා. එයයි ඔබේ සතර අපායෙන් නිදහස් වෙන සැලසුම පින්වතුනි. එයයි සැලසුම. ඔබට තේරෙන්න පටන්ගන්නවා පින්වතුනි මේ ඇස් දෙකෙන් රූප බල බල ඒවා තුළ ආශ්වාදය කොච්චර ආශාවල් විඳින්න උත්සහ කරත් මෙය මොහොතකට තිබිලා පැය කීපෙකට තිබිලා දවස් කීපෙකට තිබිලා ආයි නැතුව යනවා.
ආයේ මේක තියාගන්න පුදුමාකාර වෙහෙසක් මහන්සියක් මුදලක් කාලයක් අපි මිඩංගු කරනවා. ඒ වගේම තමයි කනෙන් අහන ශබ්ද ටික. එයට බැඳි බැඳී යන ගමන ආශාවෙන් යන ගමන නඩත්තු කරගෙන තියාගන්න අපි කොච්චර වෙහෙසෙනවද? කාලය ගත කරනවාද? මුදල් වැය කරනවාද? මේ 6 වැඩපලටම අපි කොතෙක් කාලය නාස්ති කරනවාද? මුදල් නාස්ති කරනවාද? වෙහෙසෙනවද? වීර්ය යොදනවද කියලා.
ඒ දේ දකින ඔබ මෙන්න මේක හිතන්න පටන්ගන්නවා පින්වතුනි. මොකක්ද ඊටපස්සේ හිතන්න පටන්ගන්නේ. මේ මම නඩත්තු කරන මගේ ලස්සන රූපේ කොච්චර කල් තියෙයිද? අපි Beauty Salon එකකට ගිහිල්ලා මඟුල් ගේකට යන්න ඉස්සෙල්ලා, පුදුමාකාර විදියට ලස්සන වෙනවා. ඒ ලස්සන වීමක්ද? කෙටිකාලීනව ගත්තොත්? ඔව්. ලස්සන වීමක්.
තියෙනවද? රඳා පවතිනවද? දිගින් දිගටම තියෙනවද? නැහැ. අපි මොනතරම් උත්සහ කරත් ඒ රූපේ ඒ විදියටම තියාගෙන ඉන්න ඒක ටිකෙන් ටික මිනිත්තුවෙන් මිනිත්තුව ක්ෂණයෙන් ක්ෂණය ගෙවිලා ඉවර වෙනවා. ආයේ අපි මේක නඩත්තු කරගන්න උත්සහ දරනවා. ආයේ ගෙවීමකට ලක්වෙනවා. මෙන්න මේ දේ අපි සැබැවින්ම දකිනකොට පින්වතුනි.
අන්න තේරෙන්න පටන්ගන්නවා ඇස් දෙකෙන් මේක කොච්චර කරත් ආශා පිටිපස්සේ ගියත් කනින් ශබ්ද අහලා කොච්චර ආශා පිටිපස්සේ ගියත් මේ 6 වැඩම කොච්චර ආසාවෙන් අපි කරන්න උත්සහා කරගෙන මේ කය අපි කොච්චර හොඳ දෙයක් වටින දෙයක් සාර දෙයක් කියලා නතු කරගන්න, සතු කරගන්න, රඳා පවත්වගන්න උත්සහ කරත් මේක ගෙවිලා ඉවර වෙනවා. වෙර වීරියක් මහන්සියක් මුදලක් කාලය කැප කිරීමක් කොච්චර කරත් මේක දිනෙන් දින අභාවයට පත් වෙනවා.
දිරනවා. මෝරනවා. වැනසෙනවා. මැරෙනවා.
ඒත් ඉතින් මං මැරෙනකන් හොඳින් ඉන්න එපැයිනේ. අන්න ඒක තමයි ඊලඟ ප්‍රශ්නේ. මැරෙනකන් මේ ටික කරනවා. මං තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. මැරෙනකන් කරන කාලසීමාව තියෙනවනෙ පින්වතුනි මැරෙනකන් කරන කාලසීමාවක් තියෙනවා. අපි දන්නෑ අපි අවුරුදු 90න් මැරෙයිද? මරණයට පත් වෙයිද? 80න් මැරෙයිද? සතියකින් මැරෙයිද? තව දවසකින් මැරෙයිද? මේ එළියට බැහැලා යන මම, වැඩම කරන මම පැය කීපයකින් මේ ලෝකෙන් යයිද කියලා. ඒ කාලේ අතරතුර අපි කර්ම විපාක ටිකක් රැස් කරගන්නවා.
පුණ්‍ය කර්ම විපාක හෝ අකුසල් කර්ම විපාක ඒ අනුව ආයි මොකද වෙන්නේ හේතු ටිකක් හැඳෙනවා. වැඩ 6ක් නිර්මාණය වෙනවා. එතකොට මේ සත් කියලා ගන්න මේ කයේ තේරුමක් තියෙනවද? තියෙනවද තේරුමක්? දැන් මේ කය වටින විදියට ඔබ දකිනවද? දකිනවද පින්වතුනි? නෑ. සත්කාය කියලා ගන්න දෘෂ්ටිය බිඳෙනවා – පළවෙනි දේ.
මොකක්ද මේ කිව්වේ? සත්කාය දිට්ටි ප්‍රහීනයි. ඔන්න ඇහිලා තියෙන වචනයක් නේද? නිකන් යන එන ගමන් වාගේ. ධර්ම දේශනාවකට අර ඔහේ අහන්න එන ධර්ම දේශනා වලදී ඇහිලා තියෙනවා නේද මේක? සෝවහන් ඵලයට පත්වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා, සත්කාය දිෂ්ඨියෙන් මිදෙත්වා. කවුරුත් දන්නේ නෑ සත්කාය දිෂ්ඨියෙන් මිදෙන්නේ කොහොමද කියලා.
මෙච්චර වෙලා දේශනා කරේ ඔබට සත්කාය කියන දිට්ටියෙන් මිදෙන්න. මොකක්ද මේ සත්කාය කියන්නේ? හොඳයි, වටිනවයි, සාරයි කියලා ගත්ත ආශ්වාද ආසා ගොන්නෙන් අපි වැඩ 6ක් කරගෙන ගියා.
ඇහෙන් මොනවද කරන්නේ? රූප බල බල, රූප බලනවා විතරක් නෙවෙයි ඒකට ඇහෙන්නෑ. මෙච්චර වෙලා මං බොහෝම අමාරුවෙන් දේශනා කරනවා ඉතින් මට උත්තර දිය යුතුයි. ඇහෙන් රූප බල බලා මොකක්ද කරන්නේ ඒකට ආශාවෙන් බැඳෙනවා. කනෙන් ආසාවෙන් නාසයෙන් ගඳ සුවඳ විඳ විඳ එයට ආශාවෙන් බැඳෙනවා. දිවෙන් රස බල බලා එයට ආස්වාදයෙන් බැඳෙනවා. කයෙන් පහස විඳ විඳ එයට ආසාවෙන් බැඳෙනවා. මනසින් මනින් ධම්ම විකෘති ධර්ම ඔස්සේ ධම්මතාවයන් ඔස්සේ එයට බැඳි බැඳී ලෝක නිර්මාණයක් අපේ හිත තුළ කරගෙන මෙය සත් කියලා ගන්න මේ කය පවත්වාගෙන යන්න දරණ වෙර වීරිය මහන්සිය කැපවීම කාලේ මුදල මොහොතකින් ඉවර වෙනවා මේ දැන් මැරුනොත්.
දැන් තේරුණාද…? දැන් තේරුණාද පින්වතුනි…? සත්කාය දිෂ්ඨි ප්‍රහීන වෙන ආකාරය තේරුණාද? දැන් ඔබට තේරෙණවද ඔය අල්ලගෙන ඉන්න රූපෙයි, වැඩ 6යි ඇත්තටම තේරුමක් තියෙනවද? නැද්ද?
මේකේ ආසාව පිටිපස්සේ දුව දුව? නෑ.
දැන් මිදෙන මාර්ගයක් අවශ්‍යද? ආ.. දැන් සැලසුමක් අවශ්‍යද බන්ධනාගාරයෙන් මිදෙන්න? අවශ්‍යයි. අන්න විකෘති ආශාවල් වලින් මිදෙනවා. මෙච්චරකල් පින් දහම් කර කර සිල් රැක රැක අපි මොනවද කරේ පින්වතුනි? වැරදි චේතනාවක් වැරදි මාවතක් ඔස්සේ පිහිටවගෙන ගියා.
එය තමයි ලෝකෙටම බැඳෙන විකෘතිය – විචිකිච්චාව. විකෘති අදහස.
- රස්සාවල් හම්බවේවා.
- පහේ ශිෂ්‍යත්වය පාස් වේවා.
- O/L පාස් වේවා.
- හොඳ බිරිඳක් ලැබේවා.
- හොඳ සහකාරයෙක් ලැබේවා.
අනේ අම්මා මෙහෙමයි, තාත්තා මෙහෙමයි, පුත්තු මෙහෙමයි, දූවරු මෙහෙමයි, ගුරුවරු මෙහෙමයි ඔක්කොම ලෝකේ තියෙන සැප සම්පත් ටික අල්ලගෙන මොනවද කරන්නේ අපි? විකෘති මාවතක් ඔස්සේ දුවනවා.
කවදාවත් ලැබිලා, පැවතිලා, සඳාකාලිකව තියෙනවද? නෑ. වෙනස් වෙනවා. මේ විකෘති අදහසින් ඔබ මිදුන තාක්කල් ඔබ දැවීමක් පිටිපස්සේ යනවද? ඔබ නිවනක් හොයනවද? ඔබ නිවිලා නැහැ පූර්ණ වශයෙන්ම නමුත් ඔබ නිවන නිවීමේ මාර්ගෙට එළඹෙනවද?
ඔබ නිවීමේ මාර්ගෙට එළඹෙනවා.
මොකද දැන් ඔබට තේරෙනවා ඔබ චේතනාව පිහිටවිය යුත්තේ පින් දහම් කර කර සිල් රකිනවා නම් සීලයක් තුළ කොහෙද චේතනාව පිහිටවිය යුත්තේ? නිවීමකට, නිවනකට, සැනසීමකට. පූර්ණ සැනසීමකට, පූර්ණ නිවීමකට, නිවනකට. ලෝකෙට බැඳෙන විකෘතියෙන් මිදුනම විචිකිච්චාවෙන් ඔබ නිදහස් වෙනවා.
සීලාභත පරාමාස පින්වතුනි. අපි සිල් රැක්කා, කාලසීමාවක්. සිල් බිඳුනා, වැඩි කාලසීමාවක්. දැන් රැකපු එකේ ප්‍රථිපලය තියෙනවද? නෑ. ප්‍රථිපලෙත් නෑ. අපිත් අනාථයි. හැබැයි සීලයක් තුළ පිහිටවීමෙන් අපි අරමුණු කරොත් පින්වතුනි මේ සීලේ බලයෙන්, මේ පිරිසිදු හදවතේ බලයෙන් මට නිවීමක්ම අත්පත් වෙත්වා කියලා. අන්න එය ඔබට කවදාහරි නිවීමට පිහිටක් වෙනවා.
කාලසීමාවකට සිල් රකිනවා නෙවෙයි පින්වතුනි අඛන්ඩ සීලයක් කියන්නේ ඔබේ හදවතේ, ඔබේ මනසේ නිවීමක් අත්පත් වෙනවා. නිවෙනවා ඔබ ප්‍රමාණ වශයෙන්. එයයි සීලාභත පරාමාස වලින් මිදෙනවයි කියන්නේ.
රැක රැක ඉන්න පැය ගානකට රකින් සීලයක් නෙවෙයි පින්වතුනි අඛන්ඩව පවතින සීලයකට ඔබ හිමිකම් ලබනවා. සතර අපායෙන්ම නිදහස් වෙනවා.
ඇයි නිදහස් වෙන්නේ? හේතු 3ක් හින්දා නිදහස් වෙනවා. මොකක්ද හේතු 3?
- සත්කාය දිට්ටි ප්‍රහීණයි.
- විචිකිච්චා ප්‍රහීණයි.
- සීලාභත පරාමාස ප්‍රහීණයි.
මේ සත් වූ කය කියලා ගන්න දෘෂ්ටියෙන් අපි මිදෙනවා. මෙයට වැඩිය දෙයක් අපි කෙරිය යුතුයි මේ ආශ්වාද ගොන්නේ මම දුවනවා, නමුත් මම නතර විය යුතුයි පූර්ණ වශයෙන්ම කියලා ගන්න පූර්ණ චේතනාව උඩ සත්කාය දිට්ටිය කැඩෙනවා, ප්‍රහීණ වෙනවා.
විකෘතියට ලෝකේ පිටිපස්සේ හද හදා යන ගමන නවතිනවා. විකෘති අදහස් ගොන්නෙන් අපි විචිකිච්චාවෙන් මිදෙනවා
කාලසීමාවකට සිල් රකිනවා නෙවෙයි අපි තුළ සිසිල් වූ ලයක් අපිට සැනසීමේ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය ඔස්සේ තව තවත් ශක්තිමත් වෙලා වීර්යෙන් අපි ගමන් කරනවා පින්වතුනි. එයයි සංයෝජන ධර්ම තුනේ ප්‍රහීනත්වය. මෙය පූර්ණය කරන ඔබට මොකක්ද වෙන්නේ? සෝවහන් ඵලය අත්පත් වෙනවා පින්වතුනි.
මේ සෝවහන් ඵලය කියන්නේ මාර්ගඵල හතරේ ප්‍රථම මාර්ගඵලය. එයට අනුගාමිකත්වය කියන්නේ එයට එන මාර්ගය. එයට ඔබේ පළවෙනි පිංකම් ටික අවශ්‍යයි. චේතනා පිහිටීම අවශ්‍යයි. සිල් රැකීම අවශ්‍යයි. නමුත් චේතනාව පිහිටවන්න ඕන කොහොමද?
ලෝකෙන් මිදෙන පැත්තට මිසක් ලෝකේ පවතින පැත්තට නොවෙයි. එයයි සෝවහන් මාර්ගය.
සෝවහන් ඵලය සත්කාය දිට්ටි ප්‍රහීණයි, විච්කිච්චාව ප්‍රහීණයි, සීලාභත පරාමාස ප්‍රහීණ උනාම තමයි නියත වශයෙන්ම සෝවහන් කියන ඵලයට පත් වෙන්නේ.
සතර අපායෙන් මිදෙන එකම මාර්ගය, එකම ක්‍රමවේදය මෙයයි පින්වතුනි.
ඔබට මෙය අත්පත් වේවායි කියලා සැදැහැ සිතින් මෛත්‍රී සිතින් මේ ධර්ම දේශනාව අනුමෝදන් වේවායි කියලා සිත පිහිටවා ගැනීම තුළින් මේ මෛත්‍රීය තුළින්ම ඔබට අත්පත් වේවායි කියලා, පාරමිතාවක් පූරණය වේවා කියලා අධිෂ්ඨාන කරනවා. සුවපත් වේවා සුවපත් වේවා ඔබ සසර ගින්නෙන්ම සුවපත් වෙත්වා.
සුවපත් වෙත්වා.
සුවපත් වෙත්වා.
සුවපත් වෙත්වා.
සියළු ලෝක සියළු සත්ත්වයෝ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ ලෙස වඩා ගැනීම තුළින්
සම්මා ඥාණ, සම්මා විමුක්තිය අත්පත් වෙත්වා.
සම්මා ඥාණ, සම්මා විමුක්තිය අත්පත් වෙත්වා.
සම්මා ඥාණ, සම්මා විමුක්තිය අත්පත් වෙත්වා.
R.k.preyadarshane rsjspaksa says
Taruesn sarane taraneyan wahansa obsthumeyata bohoma pen ma darma karunu walata oba malasata darma karunu saddarmayata kamathe seludanta balemata salasvema newan magata aya pryojan wave taruwan sarane