නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
( විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ 244 පිටුව )
1.අවිජ්ජා | පච්චයා | සංකාරා |
2.සංකාරා | පච්චයා | විඤ්ඤාණං |
3.විඤ්ඤාණ | පච්චයා | නාමරූපං |
4.නාමරූප | පච්චයා | සළායතනං |
5.සළායතන | පච්චයා | ඵස්සෝ |
6.ඵස්ස | පච්චයා | වේදනා |
7.වේදනා | පච්චයා | තණ්හා |
8.තණ්හා | පච්චයා | උපාදානං |
9.උපාදාන | පච්චයා | භවෝ |
10.භව | පච්චයා | ජාති |
11.ජාති | පච්චයා | ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති ඒවමේතස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදයෝ හෝති |
මේ උත්තරීතර දේශනාව අපට නිතර අහන්න ලැබෙනවා.
අවිජ්ජා පච්චයා සංකාරා
සංකාරා පච්චයා විඤ්ඤාණං
——– ——– ———-
මේ ආදී වශයෙන් තමයි අපි අර්ථවත්ව දැනගෙන තියෙන්නේ. මොකක්ද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? බුදු පියාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා.
යෝ පටිච්ච සමුප්පාදං පස්සති
සෝ ධම්මං පස්සති
යෝ ධම්මං පස්සති
සෝ මං පස්සති
“යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවාද, ඔහු ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකිනවාද, ඔහු බුදුන් ( භවය උදුරා දමන හැටි ) දකිනවා.”
මෙතන ඉතා වැදගත් දෙයක් අහන්න ලැබෙනවා. ඒ තමයි, ධර්මය දකින්න නම් පට්ච්ච සමුප්පාදය දකින්න ඕන කියන මේ උතුම් බුදු වදන. මේ පට්ච්ච සමුප්පාදයෙන් පෙන්වන ධර්මය පිළිබඳව කෙනෙකුට පදවැල් මතක නැතිවෙන්න පුළුවන්. නමුත් යමකින් යමක් හට ගන්නවානම්, කුමක් නිසා කුමක් හට ගන්නවද කියන කාරණය අර්ථවත්ව වැටහිලා තියනවා නම් ඔහුට ඒ දහම් අදහස වැටහිලා තියනවා. අදහස වැටහේවා! වචන අමතක වේවා! කියලා අධිෂ්ඨාන කරලා කාල සිටු පුත්‍රයාට කළ දේශනාවක් වගේ, වචන එකක්වත් මතක නැති වුනත්, අදහස වැටහිමෙන් කාල සිටු පුත්‍රයා සෝවාන් ඵලයට පත් වුනා කියලා දහම් පොත්වල සඳහන් වෙනවා. මේ අනුව කුමන භාෂාවක පද වශයෙන් අරගෙන කොතරම් පාවිච්චි කළත්, අදහස වැටහුනේ නැත්තම් ධර්මානුකූලව පිළිපදින්න මාර්ගය තෝරගන්න බැරි වෙනවා.
උත්තරීතර ශ්‍රී සද්ධර්මය බැබළෙමින් තියෙන මේ වගේ කාලයක, නැවත යටපත් වන්න නොදී ධර්මය මතු කරමින් ඊට අනුකූලව ප්‍රතිපත්ති හැඩ ගස්වා ගනිමින් ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මයෙන් ලැබිය හැකි මහත්ඵල මහානිසංස ලබන්න, ඒ කියන්නේ, සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ග ඵල ලබාගන්න අපි හැකි තරම් උත්සහා කරන්න ඕන. අමාරුම කාර්ය තමයි ” සද්ධම්මෝ පරම දුල්ලබෝ” කියන කාරණය. ඒ උත්තරීතර පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය හරියට මතුවුනා නම්, නිසැකවම ඒ න්‍යාය ධර්මය තේරුම් ගන්න පුළුවන් වුනා නම්, ඉතා ලේසියෙන් මේ උත්තරීතර ධර්මය වටහාගන්න පුළුවන් වෙනවා.
අභිධර්ම පිටකයේ, විභංග ප්‍රකරණයේ, පටිච්ච සමුප්පාද විභංගයේ මේ පටිච්ච සමුප්පාදය පැහැදිලිව විග්‍රහ කරල තියෙනවා.
හේතු පටිච්ච සමුප්පාදය
ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය
සම්පයුක්ත පටිච්ච සමුප්පාදය
අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාදය
කියල සතර ආකාරයක්. හේතු, ප්‍රත්‍ය, එකින් එක සමග යෙදෙන සහ අන්‍යොන්‍ය වශයෙන් බැඳෙන ගැඹුරු විග්‍රහයක් මේ තුල තියෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ සිංහල අර්ථය පැහැදිලි කර ගත්තම පේනවා, මේක න්‍යායානුකූලයි, විද්‍යානුකූලයි, මේ තුල නේද ලෝකෙ හට ගැනීම සහ පැවැත්ම තියෙන්නේ කියලා. එතකොට මේ ලෝකෙ සියළු දුක් කරදරවලට මුල මොකක්ද කියන එක පිලිබඳ න්‍යාය ධර්මය වැටහෙන්න පටන් ගන්නවා.
පටිච්ච සමුප්පාද කියන වචනයේ අපිට දැනෙන, අපේ අදහස අපි දැන ගන්න ඕන. වචන කිහිපයක සම්බන්ධතාවයෙන් තමයි මේ වචනය හැදිලා තියෙන්නේ. පටි + ඉච්ච, සම + උප්පාද කියන අදහසක් තමයි මේ වචනය බිඳිලා යනකොට එන්නේ. ඉච්ච කියන්නෙ කැමැත්ත. පටි කියන්නෙ බැඳෙනවා. කැමැත්තෙන් බැඳුනේ යමකටද, හට ගන්න දේ ඊට සමානයි. නැත්නම් උපත ඊට සමානයි. රාගයට කැමැත්තෙන් බැඳුනා නම් උපත රාග සහගතයි. ද්වේශයට කැමැත්තෙන් බැඳුනා නම් එයින් හට ගන්න යමක් ඇත්නම් ඒක ද්වේශය සහගතයි. මෝහයට කැමැත්තෙන් බැඳිල කටයුතු කළා නම් එයින් ලැබෙන ප්‍රතිඵලයත් මෝහ සහගතයි. හේතුවක් නැති ඵලයක් ලෝකෙ නැහැ. හේතුව නිරෝධ කළා නම් ඵලය නිරෝධ වෙනවා. මේ උතුම් න්‍යාය ධර්මය තමයි මේ ලෝකෙ පැවැත්ම සහ සත්ත්ව පැවැත්ම පෙන්වන්නට බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙන් දේශනා කළේ.
1.අවිජ්ජා [අවිද්‍යාව]
විභංගප්‍රකරණයේ පෙන්වා තියෙන ආකාරයට අවිජ්ජා කියන කාරණය විග්‍රහ කරල තියෙන්නෙ මේ විදිහට.
දුක්ඛේ අඤාණං
දුක්ඛ සමුදයේ අඤාණං
දුක්ඛ නිරෝධයේ අඤාණං
දුක්ඛ නිරෝධ ගමිණී පටිපදාය අඤාණං
අයං වුච්චති භික්ඛවේ අවිජ්ජා කියල අවිජ්ජාවේ ස්වභාවය විග්‍රහ කරල තියෙනවා.මේ අනුව දුක පිළිබඳ නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නිරෝධ කිරීම නොදැනීම, දුක නිරෝධ කරන මාර්ගය නොදැනීම කිරීමකරන මාර්ගය නොදැනීම කියන මේ කාරණාවලටයි අවිද්‍යාව කියන්නේ කියලා පෙන්වලා තියෙනවා. ඒකේ තේරුම තමයි, අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම කියන එක. නමුත් අවිද්‍යාව කියන එකේ යථාර්ථය ඒකෙන් කෙනෙකුට නොවැටහෙන්න ඉඩ තියෙනවා.
අවිද්‍යාව කියන්නේ මොකක්ද? ලෝක සම්මත විද්‍යාවක් තියෙනවා. ආර්ය ධර්මය තුල විද්‍යාවක් තියෙනවා. ලෞකික පැවැත්ම තුල යමක් ඇත්නම් ඒවා පිලිබඳ යම් අත්දැකීම් මාලාවක් තුලින් ගොඩනගා ගන්න දෙයක් තමයි අද අපි දකින නවීන විද්‍යාව. නමුත් බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන විද්‍යාව මීට වඩා ගැඹුරුයි.
“දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා” ලෝකය දුකෙහි පිහිටලා තියෙනවා. කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ලෝකය කියන්නේ මොකක්ද? කියලා පළමුව දැනගන්න ඕන. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, සහ පටිච්ච සමුප්පාද වශයෙන් ලෝකයට අයිති දේවල් වටහා ගන්න ක්‍රම කිහිපයක් දේශනා කරලා තියෙනවා. ඇස්, කන, නාසය, දිව, කය, මන කියන මේ ටිකත් ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටිකත් තෝරා ගත්තාම මෙයින් පිටස්තරව ලෝකය කියලා පනවන්න දෙයක් නැහැ කියලා පේන්න පටන් ගන්නවා. මේ ගැන හිතලා බලනකොට තමයි ධර්මාවබෝධය ලැබෙන්නෙ. ප්‍රඥාවන්තව හිතන්න නිදහසක් ඇතුවයි මේ ශ්‍රී සද්ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
මේ අනුව ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා නම් අන්න එදාට විද්‍යාව පහල වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා. මේ ලෝකය දුකයි කිව්වට එකපාරටම වැටහෙන්නේ නැහැ. අස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන් තුලින් ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම අසුරු කිරීමේ පංචකාම වැඩ පිලිවෙල ආශ්වාදය නැමැති මායා පටලයකින් වැහිලා තියෙන්නෙ. හැම මොහොතකම අපි මන වඩන දෙයක්, ආශ්වාදය ගෙන දෙන දෙයක් පස්සෙ ඒකට පිටින් තියෙන මායා පටලයට රැවටිලා, ඒ වහල තියෙන මහා දුක් ගොඩ දකින්නෙ නැතිව ඒක කරගහ ගන්නවා, පොදි ගහ ගන්නවා. නැත්නම් ඒ පසුපස හඹා යනවා. මේ ගැන හිතන්නෙ නැති නිසයි ඇත්ත මොකක්ද කියල අපට පේන්නෙ නැත්තෙ.
මේවා දුකයි කියල කිව්වෙ ඇයි? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන — රූප, ශබ්ද,ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම ආදිය දුකයි කිව්වෙ මොන හේතුවක් නිසාද? “යං පිච්චං නලභති තම්පි දුක්ඛං” කැමැති යමක් ලැබෙන්නෙ නැත්තම් ඒක දුකයි. ඇස ගැන බැලුවොත්, අපි කැමැති විදියට ඇස පවතිනවාද? අපේ ඇස පිලිබඳව කැමැත්ත මොකක්ද? කැඩෙන බිඳෙන වැනසෙන දෙයක් කොච්චර හොඳින් පෝෂණය කලත්, රක්ෂණය කලත් අපි කැමැති වුනාට යම් ආකාරයකින් පවත්වා ගන්න ඒක සිද්ධ වෙන්නෙ නැහැ. ඒ වගේම ඒකට බාධකයක් කරදරයක් එනවට අපි කැමැති නැහැ. නමුත් කැමැති නැති දෙයක්මයි සිද්ධ වෙන්නෙ. නිරුපද්‍රිතව ඇසක් පවත්වාගෙන ඉන්නවා කියන අපේ බලාපොරොත්තුව කවදාවත් ජය ගන්න බැහැ. ලෝක ධර්මතාවය තමයි කැඩී බිඳී යාම. නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන තත්වයට පත්වෙන කොට අපට සිද්ධ වෙනවා දුකකින් කෙළවර වෙන්න. ඇසුරු කරන රූපයක් තිබුනා නම් ඒකත් ඔය ආකාරයමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන — රූප, ශබ්ද,ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම සියල්ලමත් ඒ ආකාරයි.
මෙහෙම තෝර ගත්තම දකිනවා, අපි ආසාවෙන් පොදි බැඳගන්න හදන්නෙ මායා ධර්මයක් කියල. මෙහෙම දැන ගත්තම ඇත්ත ඇති ආකාරයෙන් දැන ගැනීමේ මුලධර්මය තේරැම් ගත්ත වෙනවා. මේ අනුව අපි විද්‍යාවක් කියල අල්ලගෙන හිටියෙ අවිද්‍යා වැඩපිළිවෙලක් නේද කියල පේන්න පටන් ගන්නවා. මේ විදිහට ධර්මාවබෝධය ලබා ගැනීමට අවශ්‍යය ක්‍රම රටාව මතු කර ගත්ත දවසට අපට පුළුවන්කම ලැබෙනවා, අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියන එක හරියාකාරව දැනගන්න. මෙච්චර කාලයක් සැපයි කියල හිතාගෙන හිටියෙ දුක ගෙන දෙන දේවල්ම නේද? මේ ආකරයෙන් සත්‍යය දැනගත්ත දවසට දුක්ඛේ අඥාණං වෙනුවට දුක්ඛේ ඥාණං පහළ වෙනවා.
එහෙම නම් දුක්ඛ සමුදය හෙවත් දුකට හේතුව මොකක්ද? එවැනි මායාකාරී දේවල් පසුපස හඹා යාමයි කියලා දැනගත්ත දවසට දුක්ඛ සමුදයේ අඥාණං කියන එක නැතිවෙලා දුක්ඛ සමුදයේ ඥාණං බවට පත්වෙනවා.
මේ පසුපස හඹා යාම නතර කරල, ඒ තණ්හාවේ බැඳීමන් අත්හැරී නොඇලී මිදී ගියා නම්, එදාට මේ සියල්ලෙන් නිදහස් නේද කියල දැන ගත්ත නම්, දුක්ඛ නිරෝධයේ අඥාණං වෙනුවට දුක්ඛ නිරෝධයේ ඥාණං බවට පත්වෙනවා.
ඒකට මාර්ගය මොකක්ද? ඇත්ත ඇති හැටියෙන් දැකීම. එක එක දෘෂ්ටි වාදවල එල්බගෙන ඉන්නෙ නැතිව ඇත්ත ඇති හැටියෙන් දැනගත්ත නම් එදාට සම්මා දිට්ඨියට පත් වෙලා දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය අඥාණං පහ වෙලා දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඥාණං බවට පත්වෙනවා.
දුක්ඛේ ඥානං – දුක්ඛ සමුදයේ ඥානං
දුක්ඛ නිරෝධයේ ඥානං – දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඥානං අයං වුච්චති විද්‍යා
අන්න ඒ සම්මා දිට්ඨිය හෙවත් විද්‍යා පැත්තට හැරිල, එතැනට පත්වෙන්න නම් මේ ආකාරයෙන් ලෝකයේ ස්වභාවය අනිච්ච වශයෙන් දැනගෙන, යමක් අනිච්ච නම් ඒක දුක්ඛයි, යමක් අනිච්ච නම් දුක්ඛ නම් අසාරත්තේන අනත්තා කියල සාර වශයෙන් ගන්න දෙයක් නෑ කියල තේරුම් ගන්න ඕන.
එහෙම දැනගත්ත නම් මෙතෙක් කල් වැහිල තිබිච්ච අවිද්‍යාව නැතිවෙලා විද්‍යා බවට පත්වෙලා අවිජ්ජා පච්චයා සංඛාරා කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙන්නා වු සංඛාර හට ගැනීමට හේතු නැති වෙලා යනවා. එහෙනම් ” අවිජ්ජායත්වෙව අසේස විරාග නිරෝධෝ සංඛාරා නිරෝධා” කියන තත්ත්වයට පත්වෙනවා. අන්න ඒක තමයි ආර්ය මාර්ගය.
2. සංඛාර ( සංකාර )
අවිද්‍යාව හෙවත් ඇත්ත ඇති හැටියෙන් නොදකින පෘතජ්ජන ලෝක සත්ත්වයා මේ ලෝකය හරි වටිනා දෙයක් කියල හිතාගෙන ලෝකය සාර දේවල් වලින් පිරිලා කියල ආසාවෙන් හිත බැඳ ගන්නවා. එහෙම හිතාගෙන ලෝකයේ පැවැත්ම තමන්ට අවශ්‍යය විදියට යළි යළිත් ගොඩ නගාගෙන ඊට අනුකුලව ප්‍රිය මනාපයෙන් බැඳිල හිතන්න පටන් ගන්නවා, කියන්න පටන් ගන්නවා, කරන්න පටන් ගන්නවා. ඒ පැවැත්මට අයිති දේ මොනවාද? මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධම්ම කියන මේවා බොහෝ වටිනවයි කියල හිතගෙන ඒවයේ හිත් බැඳගෙන, ඒවා ලබාගන්න අවශ්‍යය මොනවාද, අන්න ඒවා ලබාගෙන ඒවා හොඳින් පවත්වාගෙන මන වඩන ආශ්වාද වැඩිම කාලයක් ලබන්න පුළුවන් මොන ආකාරයටද කියල හිතමින් ඒවා පසු පස හඹා යන්න පුරුදු වෙලා තියෙන එක තමයි සංඛාර වලට මුල. අවිද්‍යාවෙන් වැහිල තියෙනවා කිව්වේ ඒකයි.
මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවා සිතු පැතු ආකාරයෙන් ලැබෙන ඒවා නෙවෙයි. ඒවා ගොඩ නගාගෙන තමයි ආශ්වාද විඳින්න ඕන. ඒකට අපේ ගත සිත මෙහෙය වන්න ඕන. කාලය වැය කරන්න ඕන. ඒවා සඳහා නොයෙක් ආකාරයෙන් තරඟ වදින්න පොර කන්නත් ඕන වෙනවා. ඒවායේ දුර්ලභතාවය නිසාත්, පොරකන පිරිස වැඩී නිසාත්, ඒවා පිලිබඳ මහා තරඟයකට බහින්න සිද්ධ වෙනවා. මම, මගේ කියන ආත්ම දෘෂ්ටිය නිසා ඒවා පස්සෙ හඹා යන්න සිද්ධ වෙනවා. තරඟ කරන්න ඉන්නෙ එක් කෙනෙක් නෙවෙයි, බොහෝ අය එක්ක තරඟ කරන කොට තරඟය පොරයක් බවට පත්වෙනවා. ඒ වෙලාවෙදි ලෝක සත්ත්වයා නිගමන කිහිපයකට බහිනවා.
එකක් තමයි ඒවා සාධාරණව බෙදා හදාගෙන කමු කියන අදහස. ඊට විරුද්ධ පිරිසක්, එහෙම හරි යන්නෙ නැහැ. මට බලය තියෙනවා, හැකියාව තියෙනවා, ඒ ආශ්වාද ලබන්න පුළුවන් දේවල් තමා වටේ ගොඩ ගහගන්න බලාපොරොත්තු වෙනවා. සාධාරණව බෙදා හදාගෙන කමු කියන කොටස, යහපත් පැත්තට අවශ්‍යය දේවල්, ඒ කාම සම්පත් සමගියෙන් සමාදානයෙන් ලබා ගන්න කටයුතු කරන්න හිතනවා. එබඳු වන්නා වු වැඩ පිලිවෙලක් සඳහා හිතන කියන කරන කොට ඒවාට කියනවා පුඤ්ඤාභි සංඛාර කියල. ඊට විරුද්ධව ගැටෙමින් කරන හැම වැඩක්ම දුෂ්‍යය හිතකින් කරන දේවල් බවට පත් වෙනවා. එබඳු හිතකින් කියන්න, කරන්න, පටන් ගත්තාම ලෝකයාට විනාසයක් ඇති කරන දැවීමක්, තැවීමක්, ගැටීමක් සිද්ධ කරල ලෝක සත්ත්වයා වික්ෂීප්ත කරවන අයුරින් වෛරය, බය, ඇතිවන අයුරින් හිතින්, කයින්, වචනයෙන් යමක් කරන්න පටන් ගත්තම ඒවාට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියල. මේ ස්වභාව දෙකම දැකල, කොයි පැත්තෙන් ගියත් මේවයේ අල්ලන්න හරයක් නැහැ. සටන් කරන්න වෙනව, පොරකන්න වෙනව කියල. මේවා පැත්තකට දාලා මගේ පාඩුවේ ඉන්නවා කියන අදහසට අනුව හිතන්න කරන්න පටන් ගත්තාම ඒකට කියනව ආනෙඤ්ඤාභි සංඛාර කියල.
මේ විදිහට සංඛාරයි, කාරයි තෝර ගන්න ඕන. කාර කියන්නෙ අපේ ක්‍රියා කලාපය. යම් කිසි කෙනෙක් උපන්නොත් ඔහුට මරණය දක්වාම කිසියම් ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. අරිහතුන් වහන්සේ නමකටත් ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. නමුත් අරිහතුන් වහන්සේට අවිද්‍යාව නිසා හටගන්න සංඛාර ගොඩ නැගෙන්නෙ නෑ.
බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් සිතිවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් හේතු කරගෙන පාපයක් නැත්නම් වරදක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම්, ඒවා අත්හරින්නත් ඒවායින් වෙන් වෙලා කුසල් වැඩෙන පැත්තට යම් සිතිවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් ඇතිවෙනව නම් ඒවා කරන්නත් කියල. ( සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ, මනෝනිවාරන සුත්‍රය )
සංඛාර කියන වචනයේ “සං” කියන එකෙන් අදහස් වෙන්නෙ එකතුවක් සිද්ධවෙන ආකාරය. එකතුවක් නැති තැනක පැවැත්මක් දකින්න නැහැ. ඇස, කණ, නාසය, දිව, කය, මන කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකතුවක් ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන ඒවත් එකතුවකින් හැදිච්ච දේවල්. ඒ එකතුන් හා බැඳිල රැඳිල හිතන කියන කරන ක්‍රියාවන් යළි යළි සංඛාර හදන්න හේතුවා. ඒ අනුව මේ සංඛාර ගොඩ නගන කොට මේ දුක ගොඩනගන්න හෙවත් සසර පැවැත්ම ගොඩනගන්න හේතු වෙනවා. අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක්ම ගොඩනගන්න හේතු වෙනවා. ආර්යන් වහන්සේලාත් අරිහත්වයට පත්වෙන කල් සංඛාර කොටසක් වඩනවා. අරිහත්වයට පත්වෙන කල් වැඩිය යුතු සංඛාරවලට කියනවා, “කුසල මුල පච්චයා සංඛාර” කියල. අපි අත්හැරිය යුත්තේ අවිද්‍යා පච්චයා සංඛාර. ප්‍රඥාව පහල කරගෙන නිවන් අවබෝධ කරගන්න ප්‍රධාන ආධාරකයක් තමයි කුසල මුල ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාර.
කුසල මූලය කියන්නේ මොකක්ද? “අලෝභ කුසල මූල, අදෝසෝ කුසල මූල, අමෝහෝ කුසල මූල” අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් යම්කිසි කටයුත්තක් සිද්ධ වෙනවාද, ඒවා කුසල මූල ප්‍රත්‍යයෙන් හට ගන්න සංඛාර තේරුම් ගත්තා නම් අපි දැන් ගන්න ඕන, “කුසලස්ස උපසම්පදා” යනුවෙන් වැඩිය යුතු කුසලයක් තියෙනව කියල. ඒ කුසලය වඩන කොට වැඩෙන්නේ ආර්‍ය් මාර්ගය. එතකොට ලැබෙන ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? මෙතෙක් කල් දුක ගෙන දෙන ලෝකය කියල අල්ල ගත්ත යම් දෙයක් අත්ද, ඒ නිසා වැඩුන ඡන්ද රාගයක් ඇත්ද, ඒවා අත්හැරී නොඇලී මිදී යනවා.
මෙතනදි තමන්ටම තේරෙන්න පටන් ගන්නවා, වටිනවයි කියල මුළාවට පත් වෙලා අල්ලගෙන හිටියෙ දුක ගෙන දෙන දෙයක්මයි, ඒ අවස්ථාවෙ මම රාග ගින්නෙන් දැවුනා, ද්වේශ ගින්නෙන් දැවුනා, මෝහ ගින්නෙන් දැවුනා, මේ ආකාරයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන එකොළොස් ගින්නකින් දැවුනා, ඒ ගිනිවලින් දැන් මම නිවිලයි ඉන්නෙ, මම එබඳු දේ ඇසුරෙ නෙවෙයි ඉන්නෙ, අසාර බව දැනගෙන අත්හැරී නොඇලී මිදී ගියා, ඡන්ද රාගයෙන් එන එබඳු සිතිවිලි දැන් නැගෙන්නෙ නෑ. ඒ අනුව ඒ ගිනිවලින් මම මිදුනා කියල නිවන තමන්ටම අත්දකින්න පුළුවන්. තමන් නිවන් දැක්කද කියල කාගෙන්වත් අහන්න ඕන නෑ. පෙර තිබුණ ගින්න දැන් නෑ කියල තමන්ටම වැටහෙනවා. අවිද්‍යාවෙන් හට ගත් සංඛාර නිරෝධ වුනා නම් විඤ්ඤාණ නිරෝධයි, නාම රූප නිරෝධයි, සළායතන, ස්පර්ශ,වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති….. ආදී සියල්ල නිරෝධ වෙනවා කියලා පෙන්වපු න්‍යායට අනුව මෙතනින්ම නිවන් දැක්කා වෙනවා.
නිවන් දකින්න ඕන නම් මේ අනුව සංඛාර තේරුම් ගන්න ඕන. සංඛාර හට ගැනීමට හේතුව තේරුම් ගන්න ඕන.සංඛාර නිරෝධය තේරුම් ගන්න ඕන. සංඛාර නිරෝධය මාර්ගය තේරුම් ගන්න ඕන. සංඛාර හට ගැනීමේදී එහි අසාරත්වය අනන්ත වශයෙන් හරියාකාරව දැක්ක නම්, වටිනා දෙයක් ඒ තුල නෑ කියල දැක්ක නම්, සංඛාර නිරෝධය කොයි තරම් හොඳද කියල දැන් ගන්නවා. එතකොට නිවන පිලිබඳව හිත පිහිටුවා ගත්තා වෙනව. සංඛාර නිරෝධයක් ඇත්ද ඒ නිවනයි.
රාගක්ඛයෝ නිබ්බානං
දේවේශක්ඛයෝ නිබ්බානං
මෝහක්ඛයෝ නිබ්බානං
ආදී වශයෙන් නිවන පෙන්වල තියෙන්නෙ ඔය ආකාරයට. සංඛාර නිරෝධ කරන්න නම් සංඛාර අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දකින්න ඕන. යමක් කැමති සේ පවතින්නෙ නැත්නම්, ඒකෙන් වෙන්නෙ දුකක්. ඒකෙන් කවදාවත් සැනසුමක් ගෙන දෙන්න විදිහක් නෑ. අනන්ත අප්‍රමාණ සසර ගමනකදි කොච්චර හිතල ඇත්ද, කියල ඇත්ද, කරලා ඇත්ද? රාගය, ද්වේශය, මෝහය මුල් කරගෙන යම් පුද්ගලයෙක් හිතන්න, කියන්න, කරන්න පටන් ගත්ත නම්, දුකක් ගෙන දීලම කෙළවර වෙනව මිසක් සාරත්වයක් දකින්න වෙන්නෙ නෑ. යම් දවසක ඥානවන්තව මේක තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා, ඒක මුළාවක් නැත්නම් අවිද්‍යාව කියල දකින්න.
මේ අනුව හරයක් නැති දේවල් පසු පස්සෙ ඡන්ද රාගයෙන් යන්නෙ නෑ කියල තේරුම් ගත්තම, පංචකාම සම්පත් ලැබෙන පැත්තෙ යන්න හිතක් හට ගන්නෙ නෑ. එබඳු හිතකින් කරන ක්‍රියා කලාපයත් එතැනින් ඉවරයි. ඒ අයුරින් පුඤ්ඤාභි සංඛාර නිරෝධ වෙන දවසක් එනවා. ඒ වගේම යම් කිසි පවක් අසාධාරණයක් කරල ඒ පස්සෙ යන්න හිතක් කොහොමත් හට ගන්නෙ නෑ. එදාට අපුඤ්ඤාභි සංඛාරත් නිරෝධයි. එතකොට “පුඤ්ඤපාප පහීනස්ස” කියන තත්ත්වයට පත් වෙලා අරිහත් කියන්නා වු තත්ත්වයට පත්වෙනවා. මේ තමයි බුදු දහමේ පෙන්වන උත්තරීතර ප්‍රතිඵලය.
සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා
මම මගේ ආත්මය කියල හිතාගෙන අවිද්‍යාව නිසා කරපු සංඛාර අනිච්චයි. ඒවා අට්ඨියති හරායති ජිගුච්ජති කියල ප්‍රඥාවෙන් දකිනව නම්, කෙනෙක් දුක ඇතිකර ගත්ත සියලු බැඳීම් වලින් නිදහස් වෙනවා. මේ තමයි නිවන් මාර්ගය.
සංඛාරවල යථාර්ථය දැනගෙන, සංඛාර හැදෙන හැටි දැනගෙන, සංඛාර නිරෝධ කරන මාර්ගය මේ විදිහට වටහා ගත්ත නම්, මෙතනදි සංඛාර මුල් කරගෙන චතුරාර්ය සත්‍යය වටහා ගත්ත වෙනවා. මේ ආකාරයෙන් සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ කරන හැටි වටහා ගන්න ඕන. සංඛාර ඇති තැන විඤ්ඤාණ වැඩෙනවා. සංඛාර නැති තැන විඤ්ඤාණ නිරෝධ වෙනවා.
විඤ්ඤාණ
විඤ්ඤාණ කිව්වෙ මොකකටද ? අපි දැනගන්න ඕන, විඤ්ඤාණ ගොඩ නැගෙන්න සංඛාර බලපාන හැටි.
“පභස්සරභිදං භික්ඛවේ චිත්තං
ආරම්මන විජානන ලක්ඛනං චිත්තං”
කියල කහට ගැන්වීමෙන් තොර වුන මුලික චිත්ත ස්වභාවය පෙන්වා තියෙනවා. කෙනෙක් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කියන්න කරන්න හිතන්න පටන් ගන්නව නම් ඒ අනුව මෙහෙය වන මානසිකත්වය ක්‍රමයෙන් රාග කහට, මෝහ කහට, ද්වේශ කහට ගැන්වෙන්න පටන් ගන්නවා.
මේ චිත්ත කියන අවස්ථාව විඤ්ඤාණ ස්කන්ධයක් බවට පත්වෙන්නෙ අවස්ථා නවයක් තුල ඇතිවෙන කහට ගැන්වීමකින්. අභිධර්ම පිටකයේ විභංගප්‍රකරණයේ මේ විදිහට සඳහන් වෙනවා.
” චිත්ත මනෝ මානසං හදයං
පණ්ඩරං මනෝ මානායතනං
මනීන්ද්‍රියන් විඤ්ඤාණං – විඤ්ඤාණඛන්ධෝ ”
විඤ්ඤාණස්කන්ධයක් බවට පත්වෙනකල් කහට ගැන්වුනේ මොකකින්ද ? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන රාග, ද්වේශ, මෝහ මුල් කරගෙන හටගන්න මානසිකත්වය තුලින්. චිත්ත කියන තත්ත්වය මනෝ බවට පත් වුන ආකාරය අපි හොඳින් තේරුම් ගන්න ඕන. අරමුණක් දැනෙන ලක්ෂණයක් තියෙනවා. දැනගන්න බලාපොරොත්තුවක් නෑ. මේකයි සිත්වල ස්වභාවය. යමක් දැනෙනවා, ඒක අල්ල ගන්න බලාපොරොත්තුවක් නෑ. පේනවා. ඒත් බලන්න බලාපොරොත්තුවක් නෑ. ඇහෙනවා, අහ අහා ඒක ගොනු කරගන්න බලාපොරොත්තුවක් නෑ. ගඳ සුවඳ දැනෙනවා. ඒවා ආඝ්‍රාණය කරල හඹා යන්න බලාපොරොත්තුවක් නෑ. රස දැනෙනවා, රස පසුපස හඹා යන්න බලාපොරොත්තුවක් නෑ. ස්පර්ශ දැනෙනවා, ආස්වාද විඳිමින් ඒවා පසුපස යන බලාපොරොත්තුවක් නෑ. හිත් හට ගන්න බව දැනෙනවා, පංචකාම ආස්වාදයන් පසුපස හිත හිතා හඹා යන්න බලාපොරොත්තුවක් නෑ. මේ තමයි ” පබස්සරභිදං භික්ඛවේ චිත්තං ” කියන අවස්ථාව. අරිහත් තත්ත්වයට පත් වුන දවසට මේ චිත්ත කියන ස්වභාවය ඉතිරි වෙනවා. එතැනින් එහාට ආගන්තුක උපක්ලේශ හට ගන්නෙ නැතුව යනවා.
මේ චිත්ත කියන අරමුණු දැනෙන අවස්ථාවෙ ඉන්න කොට නොයෙක් දේවල් ඇහෙනවා. අවිද්‍යාව නිසා මේ ලෝකෙ වටිනා දෙයක් තියෙනව කියල පේන ලෝක සත්ත්වයාට අරමුණ දැනෙන මට්ටමේ ඉන්න බෑ. ඒක මොකක්ද කියලා දැනගන්න හිතෙනවා. දැනගෙන මේ අහවල් දේ කියල මනින්න හිතනවා. ලෝකෙ තියෙන දේවල්, ඇහෙන දේවල්, පේන දේවල් කියල. වෙන් කරල මැන ගන්න හිතනවා. මේ දේවල් මේ ආකාරයි, අහවල් දේ මේ ස්වභාවයයි. මේවා ලස්සනයි. මේවා කැතයි. මෙබඳු හැඩ ආකාරයි. මේ ආකාරයෙන් වෙන් කරල මනින්න පටන් ගත්තාම චිත්ත මනෝ කියන අවස්ථාවට ඇවිත් ඉතා සුළු කහටක් ගැන්වෙනවා.ඒ මනෝ කියන අවස්ථාව. ඉන්පසුව ඒවා වටිනවයි කියලා හිතාගෙන මනසින් ඒවා සමග එකතු වෙනවා. එතකොට කියනවා මානසං අවස්ථාවට කහට ගැන්වුනා කියල. ඊට පස්සෙ ඒවා දාල ඉන්න බෑ. ඒවා සමග හාද වෙන්න හිතනවා. ඒ අවස්ථාවෙ හදයං කියන තත්ත්වයට කහට ගැන්වෙනවා. හිතවත්කම් වැඩිවෙලා බැඳීම් රැඳීම් එනවා. එවිට පන්ඩරං කියන අවස්ථාවට හිත කහට ගැන්වෙනවා. ගත්ත අරමුණ ක්‍රියාත්මක කරන්න මනස ආයතනයක් කරගත්තම මනෝ මනායතනං වෙනවා. ඊට පස්සෙ යථා ස්වභාවයෙන් ඈත් වෙලා වරදක් කරලා හරි ජීවත් වෙන්න හිතෙනවා. එතකොට මනීන්ද්‍රයන් කියන තත්ත්වයට පත්වෙනවා. අවසානයට මොකක්ද වෙන්නෙ? දැනීම ගෝචර කරල තියෙන්නෙ වටිනා දෙයකට, නැත්නම් හරයක් ඇති දේකට නෙවෙයි, අසාර පැවැත්මක් වටිනවයි කියල අල්ලගත් මුළාවකටයි කියලා තේරුම් ගන්න බැරිවෙනවා. මෙතනදි විඤ්ඤාණ කියන අවස්ථාවට කහට ගැන්වෙනවා.
සංඛාර නිසා විඤ්ඤාණ හටගන්නෙත් මේ ආකාරයටමයි. විඤ්ඤාණ කියන්නෙ මොනවද? විඤ්ඤාණ හට ගැනීමට හේතුව මොකක්ද? විඤ්ඤාණ නිරෝධය මොකක්ද? විඤ්ඤාණ නිරෝධ කරන මාර්ගය මොකක්ද කියල දැනගත්ත නම් සම්මා දිට්ඨියට පත් වෙලා නිවන් මගට යොමු වෙනවා.
චිත්ත කියන අවස්ථාව මනෝ, මානසං, හදයං, පන්ඩරං, මනෝ මනායතනං, මනීන්ද්‍රයන් කියන අවස්ථාවලදි කහට ගැන්විලා විඤ්ඤාණ කියන තැනට පත්වෙලා, අතීත අනාගත වර්තමාන කියන තුන් කල්හි දැනීම් පොදි එකතු කරලා මනසෙ සනිටුහන් කරගෙන ඒ තුල බැඳිල රැඳිල ඉන්න කොට කියනවා විඤ්ඤාණ ස්කන්ධයක් හා බැඳිල ඉන්නව කියල.
විඤ්ඤාණ කියන්නෙ මොනවද? සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වෙනව කියන්නෙ මොකක්ද? චක්ඛු විඤ්ඤාණං – සෝත විඤ්ඤාණං – ඝාන විඤ්ඤාණං – ජිව්හා විඤ්ඤාණං – කාය විඤ්ඤාණං – මනෝ විඤ්ඤාණං – අයං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං කියල විඤ්ඤාණය කොටස් හයකට ප්‍රභේද කරල පෙන්වනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මේ ප්‍රභේද කරල වෙන් වෙන් වශයෙන් පෙන්නුවට විඤ්ඤාණවල ස්වභාවය එකයි කියල. එහෙනම් විඤ්ඤාණවල ස්වභාවය මොකක්ද?
1-චක්ඛුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
2-සෝතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං
3-ඝාණඤ්ච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං
4-ජිව්හඤ්ච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං
5-කායඤ්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං
6-මනඤ්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං
මේ තමයි විඤ්ඤාණ හට ගන්න ආකාරය. මෙතනදි වටහාගත යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි, නිවන් අවබෝධ කර ගන්න නිරෝධ කළ යුතු විඤ්ඤාණ මොකක්ද කියල අවබෝධ කර ගැනීම.
” අවිජ්ජා යත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ ”
මේ කියන ක්‍රමය තුලින් විඤ්ඤාණ නිරෝධ කළ යුතුයි කියල දකින්න ඕන. මොන විඤ්ඤාණයද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්න විඤ්ඤාණය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ සකස් වෙලා බැඳෙන හැදෙන පටිච්ච සමුප්පාද ක්‍රම හතරක් තියෙනවා.
අවිජ්ජා පච්චයා සංඛාරො – සංඛාර පච්චයා විඤ්ඤාණං
( මේ ප්‍රත්‍ය වෙලා බැඳෙන හැටි )
අවිජ්ජා පච්චයා සංඛාරො අවිජ්ජා හේතුකෝ
සංඛාර පච්චයා විඤ්ඤාණං – සංඛාර හේතුකං
( මේ හේතු වෙලා බැඳෙන හැටි )
අවිජ්ජා පච්චයා සංඛාරො අවිජ්ජා සම්පයුත්තා
සංඛාර පච්චයා විඤ්ඤාණං – සංඛාර සම්පයුත්තං
( මේ සමග යෙදෙන හැටි )
අවිජ්ජා පච්චයා සංඛාරො සංඛාර පච්චයාපි අවිජ්ජා
සංඛාර පච්චයා විඤ්ඤාණං – විඤ්ඤාණ පච්චයා’පි සංඛාරො
( මේ අන්‍යොන්‍ය ප්‍රත්‍යයෙන් සම්බන්ධ වන හැටි )
( විභංගප්‍රකරණය – පටිච්ච සමුප්පාද විභංගය )
මේ ආකාරයට හේතු, ප්‍රත්‍ය, සම්පයුක්ත, අඤ්ඤ මඤ්ඤ කියන සතර ආකාරයකින් විඤ්ඤාණය අවිද්‍යාව සමගත් සංඛාර සමගත් සම්බන්ධ වෙනවා. මේක ඉතා ගැඹුරු විග්‍රහයක්. සියුම්ව හිතල තේරුම් ගන්න ඕන. එහෙම නැතුව විඤ්ඤාණ කියන්නෙ හිතට කිව්වට හරියන්නෙ නෑ. විඤ්ඤාණය දුක් ගෙන දෙන නිසයි ඒ ගැන හොඳින් හොයල බලන්න ඕන. අවිද්‍යාව හේතු කොටගෙන හෝ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හෝ විඤ්ඤාණ ගොඩ නැගුනොත් අපට නවත්වන්න බෑ. විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සළායතනං ආදී වශයෙන් ප්‍රත්‍ය වෙලා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට පත්වෙනවා. අනාථ බවට පත් වෙනවා.
විඤ්ඤාණ නිරෝධ කරන්න පෙර විඤ්ඤාණවල ආදීනව දකින්න ඕන. යමක් වටිනවා කියල හිතේ තියෙනව නම්, ඒක විසි කරන්න හෝ ඉවත දාන්න කිව්වට කවදාවත් කරන්න බෑ. වටිනවා කියන දෘෂ්ටිය යම් හේතුවකින් ඉවත් වෙලා ගියා නම්, ඒක විසි කරන්න කවුරුවත් කියන්න ඕන නෑ. විසි කරනවාමයි. ඔය ගැන හිතන්න එපා කියන්න දෙයක් නෑ. හරයක් නැති නිසා හිතන්නෙ නෑ. යථාර්ථය තුලින් ඔය ස්වභාවයට පත් වෙලා විඤ්ඤාණ අසාරයි කියල වටහා ගත්තම අත්හැරීම ස්වභාවයක්. නොඇලීම මිදීම ස්වභාවයක්. නිවී සැනසී යාම ස්වභාවයක්. නිවන් අවබෝධ කර ගැනීම ස්වභාවයක්.
ඇහැට රූපය අරමුණු වෙලා ඒක හරි ප්‍රිය මනාප දෙයක් කියල හිතාගෙන ඇලුම් කරන හිතකින් ඒකෙ බැඳුනොත්, අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණයක් හට ගන්නවා. චක්ඛු විඤ්ඤාණය විපාක වශයෙන් හට ගත්තම, විපාක අවස්ථාවේ ඉන්නෙ නැතුව යළි යළිත් බලන කොට නැවත් නැවතත් චක්ඛු විඤ්ඤාණ හට ගන්නවා. පෙනීම එකක්. බැලීම තව එකක්. බලන්න හිතිලා අපි ඕනෑ කමින් ආසාවෙන් බලන්න ගියොත්, අවිද්‍යා සහගත චක්ඛු විඤ්ඤාණයක් හට ගන්නවා. ඒ විඤ්ඤාණය සසර ගමනට හේතු වෙන ශක්තියක් නිපදවෙනවා. මේ අනුව විඤ්ඤාණය ගොඩ නැගෙන කොට විපාක විඤ්ඤාණය එකක්, ඇස නිසා සංඛාරවලින් ගොඩ නගා ගන්න විඤ්ඤාණය තව එකක්.
” චක්ඛුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියල ගොඩ නගා ගන්නෙ, ඇස මුල් කරගත් සසර ගමනට මුල් වු අවිද්‍යා සහගත විඤ්ඤාණයක්. ” තිණ්ණං සංගති පස්සො ” මේ තුනේ එකතුව ස්පර්ශයයි. මෙතන සංග කියන්නෙ කෙළෙස් වලටයි. ” චක්ඛු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්ථේ සා තණ්හා උප්පජ්ජ මානා උප්පජ්ජති, එත්ථ නිවීසමානා නිවීසති, රූප ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්ථේ සා තණ්හා උප්පජ්ජ මානා උප්පජ්ජති එත්ථ නිවීසමානා නිවීසති, චක්ඛු විඤ්ඤාණං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්ථේ සා තණ්හා උප්පජ්ජ මානා උප්පජ්ජති, එත්ථ නිවීසමානා නිවීසති.
මේ ඇසේ, රූපයේ සහ චක්ඛු විඤ්ඤාණයේ සංගයයි. මේ සංග තුන එකතු වෙලා ස්පර්ශයක් හට ගන්නවා. සසර ගමනට හේතුවන සංඵස්ස කියන අවස්ථාව තමයි ඒ. ඒක යමකට යමක් ගැටීමෙන් ඇතිවන ස්පර්ශයක් නෙවෙයි. අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් බැඳිල හට ගන්නා වු චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණවලට කියනවා සංඛාර ප්‍රත්‍යයෙන් ඇතිවන විඤ්ඤාණ කියල.
විඤ්ඤාණය අවිද්‍යාවෙන් තොර වුනා නම් ඒක කුසල මුල ප්‍රත්‍යයෙන් හට ගන්න විඤ්ඤාණයක් වෙනවා. නැත්නම් විපාක විඤ්ඤාණයක් වෙනවා. මේ අනුව විඤ්ඤාණය, විඤ්ඤාණය හැටියට දැනගන්න ඕන. මේ විඤ්ඤාණය කැමති සේ පවතින එක්ක නෙවෙයි. ඒක අනිච්චයි. කැමති සේ පැවැත්මක් නැත්නම් ඒකෙන් හට ගන්නෙ දුකක්. නැත්නම් අසහනයක්. එබඳු විඤ්ඤාණවල සාරයක්, හරයක් නෑ. ඒක අනත්තයි. මේ විදිහට අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් විඤ්ඤාණය හරියටම දැනගත්තා නම්, විඤ්ඤාණය ධර්මානුකූලව දැක්කා වෙනවා.
අවිද්‍යා සහගතව විඤ්ඤාණය දකින කල් ලෝක සත්ත්වයා ඒ පෙනෙන දේවල් ඇහෙන දේවල් හරි වටිනවා කියල හිතනවා. දැනෙන ඇහෙන දේවල්වල ආස්වාදය භුක්ති විඳීම සඳහා බැඳිල රැඳිල ඉන්නව නම් ඒක තමයි පැවැත්ම ගෙනියන බලාපොරොත්තුව. විඤ්ඤාණය පිළිබඳව යථාර්ථය දැක්කට පස්සෙ, මෙබඳු හරයක් නැති විඤ්ඤාණ පස්සෙ, මොනවට යනවද, ඒවා වටිනාකමක් නැති වැඩකට නැති දේවල් කියන අදහස ආවම, ඒ පිළිබඳ ඡන්ද රාගයක් තිබුන නම් ඒ ඡන්ද රාගය ගිලිහිලා යන්න පටන් ගන්නවා. ඒ ඡන්ද රාගය දුරුවෙලා ගියා නම් සසර ගමනට හේතුවන, දුකට හේතු වන, පැවැත්මක් ගොඩ නගන්න හේතු වෙන විඤ්ඤාණ නිරෝධයි.
විඤ්ඤාණ නිරෝධ මාර්ගය මොකක්ද ? විඤ්ඤාණයක් යම් ආකාරයකින් හට ගත්ත නම් ඒ අවිද්‍යාව හා තෘෂ්ණාව නිසා. ඒකට හේතුව, ඇත්ත ඇති ආකාරයෙන් නොදැනීම. ඒ විදිහට විඤ්ඤාණ අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් ඒවායේ අසාරත්වය වටහා ගත්ත නම්, අසාරත්තේන අනත්තා කියල දැනගෙන ඒවා පසුපස හඹා යන මානසිකත්වයෙන් නිදහස් වෙනවා. එහෙම නිදහස් වුනා නම් අකම්ප්‍යයි. ඒ අනුව අකම්ප්‍ය වන්නා වු ආර්ය සමාධිය තුලින් ආර්ය ප්‍රඥාව පුර්ණ වෙලා අරිහත්වයට පත්වෙනවා.
විඤ්ඤාණ ආදීනව සහිතයි, විඤ්ඤාණ නිරෝධය ආනිසංස සහිතයි කියල මේ ටික දැනගත්ත මොහොතේ පටන් ඔහුට ආර්ය මාර්ගය වැඩෙන්න පටන් ගන්නවා. විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙන ශාන්තිය අත්දකින්න පටන් ගන්නවා. මේ පිළිබඳ නිතර සිහි කරන්න පටන් ගත්ත නම්, විඤ්ඤාණ පිළිබඳ ඡන්ද රාගය පහ වෙලා ඒ තුලින් ලැබෙන්නා වු ශාන්ත වු ප්‍රණීතවු නිවී සැනසීම අත් දකිනවා. මේකට කියනවා, විඤ්ඤාණයේ යථාර්ථය දැකල, විඤ්ඤාණය තුලින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් දකිනවා කියල.
ඇසෙන් රූපයක් බලන කොට ආස්වාදජනක හිතකින් හිතෙනව නම් යලි යලිත් ඒක බලන්න ඕන කියල, අන්න ඒකයි අවිද්‍යා සහගතව චක්ඛු විඤ්ඤාණය ගොඩ නැගීමේ හේතුව.
කනෙන් ශබ්දයක් අහන කොට ඒකෙ ආස්වාදයෙන් බැඳිල යලි යලි එබඳු ශබ්ද අහන්න ඕනෙ කියන මානසිකත්වය ගොඩ නැගෙනව නම් එතැන සෝත විඤ්ඤාණය ගොඩ නැගෙනවා.
නාසයට ගන්ධයක් එනකොට යලි යලිත් ඒක ආඝ්‍රහණය කළ යුතුයි කියන අදහස එනව නම්, ඡන්ද රාගයෙන් ඝාන විඤ්ඤාණය ගොඩ නැගෙනවා.
දිවට රසයක් දැනුනම ඒකට ප්‍රියමනාප වෙලා යලි යලිත් එවැනි රස පසුපස හඹා යනව නම්, දිව පිළිබඳ ඡන්ද රාගයෙන් බැඳිල ජිව්හා විඤ්ඤාණය ගොඩ නැගෙනවා.
කයට පහසක් දැනෙන කොට ඒ පහස ප්‍රියමනාප වශයෙන් අරගෙන යලි යලිත් එබඳු පහස ලබා ගන්න හදනව නම්, ඒ අවිද්‍යා සහගත ඡන්ද රාගයෙන් කාය විඤ්ඤාණය හට ගන්නවා.
මනස ඔය සියල්ල එකතු කරගෙන මනෝ රූප මවමින් ඒ පිළිබඳ ඡන්ද රාගයෙන් බැඳිල මනෝ විඤ්ඤාණය හට ගත්තොත්, සසර ගමනට හෙවත් පැවැත්මට හේතු වන විඤ්ඤාණය හට ගන්නවා. ඒ ඡන්ද රාගය දුරු කරන්න නම් ඒකෙ අසාරත්වය දකින්න ඕන. මේ අනුව යථාර්ථයෙන්ම විඤ්ඤාණයත්, විඤ්ඤාණවලට හේතුවත් විඤ්ඤාණ නිරෝධයත්, විඤ්ඤාණ නිරෝධ මාර්ගයත් මේ ආකාරයෙන් අවබෝධ කරගත්ත නම්, ඒකාන්තයෙන්ම නිවන් සාක්ෂාත් කර ගන්න හේතු වාසනාව ලැබෙනවා.
නාම රූප
නාම රූප කියන්නෙ මොනවද ?
නාම රූපවලට හේතුව මොකක්ද ?
නාම රූප නිරෝධය කියන්නෙ මොකක්ද ?
නාම රූප නිරෝධ කරන මාර්ගය මොකක්ද ?
මේ ආකාරයෙන් නාම රූප මුල් කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිවන් මග අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.
නාම රූප විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. හිත කියන්නෙ නාම, කය කියන්නෙ රූප වශයෙන් එක අවස්ථාවක විග්‍රහ වෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නාම ලෙසත්, ඒවාට උපාදාන වෙන අටවිසි රූපයෝ රූප කියලත් තව තැනක දැක්වෙනවා. ඒ වගේම යම් කිසි දෙයකට තියපු නමකටත් නාම කියනවා. සතර මහා භූතයන්ගෙන් හට ගත්, යම් රූපාකාර වන්නා වු පුද්ගලත්වයකට රූප කියනවා.
යම් රූපාකාරයකට නැත්නම් හැඩ තලයකට යමක් නැමී සිටිනව නම් ඒකත් නාමයක්. ඒ හැඩ තලයට නැමිල යම් කිසි ප්‍රත්‍යයකින් එසේ පවතින තුරු ඊට අනුරූපව පවතින රූපයට රූප කියනවා.
මේවා පටලවා ගත්තොත් අපිට පුළුවන් කමක් නැතිවෙනවා සත්‍යය, සත්‍යය හැටියටත් ධර්මය ධර්මය හැටියටත් වටහාගන්න. විඤ්ඤාණ පච්චයා නාම රූපං කියල හටගන්න සසර ගමන ඇති කරන එක්තරා නාම රූප කොටසක් තියෙනවා. අපි නිරෝධ කරන්න ඕන, අන්න ඒ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හට ගන්න නාම රූප. ඒ විදිහට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප නිරෝධ කළොත් ඒ හේතුවෙන් සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, නිරෝධ කර ගන්න හැකියාව ලැබෙනවා. ඒක පුර්ණ කර ගත්තොත් තමයි සසර දුකින් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නෙ. නැත්නම් උත්තරීතර මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නෙ.
අපි දකින්න ඕන, මේ නාම රූප වශයෙන් පෙන්නුවේ මොනවද කියල. ” විඤ්ඤාණයේ නාම රූපයෝ බැස ගනී. ” ඒ නාම රූප විඤ්ඤාණයට ඇතුලත් කරන්න පුළුවන්. එහෙනම් විඤ්ඤාණයක් තුල සකස් වෙන නාම රූප මොනවද කියලා අපි තෝරගන්න ඕන. විඤ්ඤාණය කිව්වෙ බලාපොරොත්තු සහගත මානසිකත්වයක්ද ? පංචකාම සම්පත්තිය මුල් කරගෙන ලෝක පැවැත්ම බලාපොරොත්තු වෙන මානසිකත්වයක්. පංච කාමය ලබාදෙන අවස්ථාවන් හරි වටිනවයි කියන හැඟීම ඇති වෙලා, වටිනවයි කියන්නා වු සංඥාවකින් යුක්තව ඒවා පසුපස හඹා යන මානසිකත්වයටයි විඤ්ඤාණ කිව්වෙ. ඒ ඒ මොහොතක ඇතිවන චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ. . . .ආදී සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නා හය ආකාරයක විඤ්ඤාණ තියෙනවා. ජිවත් වෙලා ඉන්න කාලය තුල ප්‍රවෘත්ති විපාක ගෙන දෙන, නැත්නම් පැවැත්ම ගෙන යාම සඳහා ඒ ඒ මොහොතක් පාසා ක්‍රියාත්මක වන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තමයි ඒ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හට ගන්නෙ.
පංච කාම ආස්වාද ගෙන දෙන යම් කිසි දෙයක් කෙරෙහි ප්‍රිය මනාප ස්වරූපයෙන් හැසිරෙන කොට ඒ හේතුවෙන් බලාපොරොත්තු මානසිකත්වයක්, ඒවා යළි යළි නැතුවම බැරි බවක් හට ගන්නවා.
මත්පැන් වලට හුරු වෙලා හිටියෙ නැති තරුණයෙක්, මත්පැන් වලට ඇබ්බැහි වෙලා හිටිය පිරිසකගෙ ඇසුරට වැටුන මුල් අවස්ථාවක, අකමැත්තෙන් හරි ඒ අයගෙ පෙළඹිවීම නිසා ඔහුට බොන්න සිද්ධ වෙනවා. පසුව ටිකින් ටික ඒකෙ ආස්වාදයට බැඳීමක් හැඟීමක් එන්න පටන් ගන්නවා. මේ විදිහට බීමත්කමට පත්වෙන්නෙ ඒකෙ ආස්වාදයක් තියෙන නිසා. ආස්වාදයක් නැත්නම් ලෝක සත්ත්වයා මේ ලෝකෙ සැරිසරනවද කියලා බුදු පියාණන් වහන්සේ අහනවා. ඒ ආස්වාදය ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තම ඒ තුලින් ගොඩ නැගෙන මානසිකත්වය තුලින් ක්‍රමයෙන් බීමත්කමට ඔහුගේ මනස ඇලුම් කරනවා. මේ විදිහට බීමට බැඳෙන නිසා කියනවා බේබදු කියල. දැන් ඔහුට ඉස්සර නොතිබුන බේබදු විඤ්ඤාණයක් පහල වෙනවා. නොබී ඉන්න බැරි හිතක් දැන් තියෙනවා. මේ වෙලාවට විඤ්ඤාණයට එක් දෙයක් බැහැ ගන්නවා. කලින් මත්පැන් හෝ එවැනි යහළුවන් සමග සම්බන්ධයක් තිබුනෙ නෑ. දැන් ඒ සියල්ල මනසට බැහැගෙන. මත්පැන් තියෙන ස්තාන, ඒවායේ හැඩ ආකාර, බීම වර්ග, ඒවායේ රස ස්වභාව, ඒවාට ගැළපෙන පිරිස්. මේ සියල්ල රූපාකාරයෙන් මනසෙ බැහැ ගන්නවා. ඒ ස්වභාවයට නම්‍යතාවයක් දක්වන ආකාරයකට මනස පත්වෙලා. මේ තමයි විඤ්ඤාණයේ බැහැපු නාම රූප. මේ ආකාරයෙන් විඤ්ඤාණයේ නාම රූප බැහැ ගන්නවා. මේ අනුසාරයෙන් රාගික දේවල්, ද්වේෂ සහගත දේවල්, මෝහ සහගත දේවල්වලට ලෝක සත්ත්වයා බැඳෙන ස්වභාවය අපි දකින්න ඕන. මේ අනුව ආස්වාදය හරි වටිනවයි කියන දෘෂ්ටියෙන් බැස ගන්නා වු එබඳු නාම රූප අවිද්‍යා සහගතයි. පටිච්ච සමුප්පාදයට අනුව සසර දුකට හේතු වන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හට ගන්නා නාම රූප කිව්වෙ මේවට.
ගත කියන්නෙ රූප, හිත කියන්නෙ නාම කිව්වට අරිහතුන් වහන්සේට පිරිනිවන් පාන මොහොත තෙක් හිතයි ගතයි තියෙනවා. හැබැයි මේ නාම රූප පිළිබඳ ඡන්ද රාගය අරිහත් ඵලයට පත්වෙනකොටම නිරෝධ වෙනවා.
මේ ආකාරයෙන් නාම රූපයන්ගෙන් නිදහස් වුනාම විඤ්ඤාණ උදාවෙන්නෙ නෑ. ඒ අවස්ථාවට පත්වෙලා, ලෝක අස්වාදයන් පිළිබඳ වැඩ පිළිවෙලවල් වැඩකට නෑ. ඒවා අසාරයි කියල යථාවබෝධයෙන් දැකල, එබඳු දේවල් කරන්න, කියන්න, හිතන්න තියෙන බලාපොරොත්තු අත ඇරිල ගියාම ඒ පිළිබඳ බලාපොරොත්තු වු මානසිකත්වය නැති වෙනවා. එතකොට ” ආරම්මන විජානන ලක්ඛනං චිත්තං “ කියන විවිධ අරමුණු දකින ලක්ෂණය ඉතුරු වෙනවා. අවිද්‍යාව නිසා මුළා සහගත මානසිකත්වයෙන් ලෝකය පිළිබඳව හිතේ බැහැ ගන්නා වු යම් ආකාර අදහස් ඇත්ද, මේ රූපකාර ඇත්ද, මේ නාම රූප තමයි නිරෝධ වෙන්නෙ.
මේ ආකාරයට ඒ නාම රූප තේරුම් ගන්න ඕන. ඒ නාම රූපවලට හේතුව, ඒවායේ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දැක්කෙ නැතුව ඒවා වටිනවා කියල ඒව පසුපස යාමයි කියල දැනගන්න ඕන. ඒ නාම රූප නිරෝධ කරන මාර්ගය නම් ඒ නාම රූපයන්ගේ ආදීනවත් ඒවා පිළිබඳ ඡන්ද රාගයෙන් නිදහස් වීමෙන් ලබන ආනිසංසත් දැකීමයි කියල අවබෝධ කරගන්න ඕන.
මේ විදිහට කරුණු තේරුම් ගත්තම අපට පැහැදිලිව පේන්න පටන් ගන්නවා, මේ ආකාර වු ස්වභාවයකට බැඳෙන්නෙ අවිද්‍යාව නිසා ගොඩනැගෙන්නා වු තෘෂ්ණාව හෙවත් ඡන්ද රාගය නිසයි කියල. මේ අනුව තමන්ටම තේරෙන්න පටන් ගන්නවා, මෙබඳු වන්නා වු පංචකාම ආස්වාදයන්ට බැඳීමේ ස්වභාවය නිසයි නාම රූපයන් යළි යළි ගොඩනැගෙන්නෙ, මේ නාම රූප යළි යළි ගොඩනැගීම නතර කරන්න නම් කවදාහරි ඇත්ත ඇති ආකාරයෙන් දැකල අසාර වන්නා වු, වෙහෙසකර දෙන්නා වු වැඩ පිළිවෙල හරයක් නෑ, කියල තේරුම් ගන්න ඕනෙ. අනන්ත සංසාරෙ ආවෙ ඔය සැනසිල්ල හොයාගෙන. ඔය නාම රූප ඇසුරු කිරීමෙන් මෙපමණ කලක් ලබපු සැනසිල්ලක් නැති බව එතකොට අත් දකිනවා. දැනුත් එවැනි සැනසිල්ලක් නැති බව අත් දකිනවා. මතුත් එවැනි සැනසිල්ලක් නැති බව නිගමනය කරනවා.
මෙහෙම තේරුම් ගත්ත දාට අතීත, වර්තමාන, අනාගත කියන තුන් කල්හි, නාම රූප සමග යම් සම්බන්ධතාවයක් ගොඩනැගිල තිබුණද ඒ ඡන්ද රාගය දුරු වෙනවා. දැන් ගොඩ නැගෙනවද ඒ ඡන්ද රාගයත් දුරු වෙනවා, මතු ගොඩ නගන්න බලාපොරොත්තු වන ඡන්ද රාගයත් දුරු වෙනවා . මේ ටික දුරු වුන දාට කියනවා නාම රූප නිරෝධ වුනා කියලා. මේ විදිහට නාම රූප නිරෝධ වුනාම සළායතන නිරෝධ වෙනවා. ” නාම රූප නිරෝධා සළායතන නිරෝධෝ ” වශයෙන් ආයතන හයක් නිරෝධ වෙනවා. එහෙනම් ස්පර්ශ නිරෝධයි. වේදනා තණ්හා, උපාදාන, භව, ජාති ජරා මරණ ශෝක පරිදේව සියල්ල නිරෝධයි.
ඒ නාම රූප නිරෝධ කරන මාර්ගය මොකක්ද ? ඒ නාම රූපයන්ගේ ආදීනව නිතර මෙනෙහි කරන්න ඕන. ඒ නාම රූප නිදහස් වීමෙන් ලබන ආනිසංස නිතර මෙනෙහි කරන්න ඕනෙ. එහෙනම් නාම රූපයන්ගේ යථාර්ථය දැකල, නාම රූපවලට හේතුව, නාම රූප නිරෝධය, නාම රූප නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය නාම රූප තුළින් දැකල නාම රූප නිරෝධ කිරීමෙන් නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. එබඳු වන්නා වු නාම රූප දැකල ඒ නාම රූපයන්ගෙන් නිදහස් වන ආකාරය මේ විදිහට තේරුම් ගත්ත නම් තම තමන්ටම අත්දැකලා නිවන තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා.
තමන්ගෙ මනස නාම රූපයන්ගෙන් නිදහස් වෙලාද ? කොතෙක් දුරට නාම රූපයන් මනසෙ බැහැගන්නවද ? ඒ කෙබඳු ඒවාද ? අයින් කරන්න තියෙන්නෙ මොනවද ? ඉතිරිවෙලා තියෙන නාම රූපවලට හේතුව මොකක්ද ? මේ ආකාරයෙන් තේරුම් අරගෙන කටයුතු කළා නම්, අපිට පුළුවන්කම ලැබෙනවා නාම රූප එකින් එක නිරෝධ කරගන්න. තම තමන් විසින්ම අත් දැකල තේරුම් අරගෙන ඒකෙන් මිදෙන මාර්ගය තේරුම් ගන්න ඕන. ඒකට කියනවා දහම් ගුරුවරයා වශයෙන් මේ පටිච්ච සමුප්පාදය තේරුම් අරගෙන ඒ තුලින් යථාවබෝධය ලැබිල නිවන් අවබෝධ කරගන්නව කියල. මේ ආකාරයෙන් තමන්ගෙ නුවණට වැටහෙන්න පටන්ගන්නව නම්, මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව 44 ක් ඥාන තුලින් කෙනෙකුට නිවන අවබෝධ කර ගන්න පුළුවන්.
සළායතන
සළායතන කියන්නෙ මොකක්ද ?
සළායතනවලට හේතුව මොකක්ද ?
සළායතන නිරෝධය කියන්නෙ මොකක්ද ?
සළායතන නිරෝධ කළ යුතු මාර්ගය මොකක්ද ?
මේ කියන කාරණා හතර හොඳින් අවබෝධ කරගත්ත නම් සළායතන මුල් කරගෙන චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙනවා.
චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන කියන ආයතන හයක් මුල් කරගෙන සළායතන හටගන්නවා. ඒ වගේම යුගල වශයෙන් එකට බැඳුනු දෙකක් එක් ආයතනයක් වශයෙන් අරගෙන තවත් විදිහකටත් ආයතන හයක් පෙන්වනවා.
චක්ඛායතන – රූපායතන
සෝතායතන – ශබ්දායතන
ඝාණායතන – ගන්ධායතන
ජිව්හායතන – රසායතන
කායායතන – පොට්ඨබ්බායතන
මනායතන – ධම්මායතන
ඇස, කන, නාසය, දිව, කය, මන ආයතන වශයෙන් ගත්තොත් සළායතන තෝර ගන්න බැරි වෙනවා. යමකප්‍රකරණයේ මේ විදිහට විග්‍රහ වෙනවා.
චක්ඛු චක්ඛායතන වේද? චක්ඛායතන චක්ඛු වේද ?
චක්ඛු චක්ඛු වේ. චක්ඛායතන නොවේ.
චක්ඛායතන චක්ඛායතන වේ. චක්ඛු නොවේ.
සෝත සෝතායතන වේද? සෝතායතන සෝත වේද ?
සෝත සෝත වේ. සෝතායතන නොවේ.
සෝතායතන සෝතායතන වේ. සෝත නොවේ.
ඝාණ ඝාණායතන වේද? ඝාණායතන ඝාණ වේද ?
ඝාණ ඝාණ වේ. ඝාණායතන නොවේ.
ඝාණායතන ඝාණායතන වේ. ඝාණ නොවේ.
ජිව්හා ජිව්හායතන වේද? ජිව්හායතන ජිව්හා වේද ?
ජිව්හා ජිව්හා වේ. ජිව්හායතන නොවේ.
ජිව්හායතන ජිව්හායතන වේ. ජිව්හා නොවේ.
එහෙම නම් ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රියන්ගේත් චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන, කියන ආයතනයන්ගේත් වෙනස මොකක්ද ? ඇස, කන, නාසය, දිව, කය කියන ඒවා රූප ධාතූන්ට අයිතියි. ඒවා සතර මහා භූතයන්ගෙන් උපන් දේවල්. එහෙනම් මේ කියන්නා වු ආයතන මොනවද ? හිත හා සම්බන්ධව අභ්‍යන්තරයෙන් උපදින සසර ගමනට හේතු වන සළායතන.
” නාම රූප පච්චයා සළායතනං
නාම රූප නිරෝධා සළායතන නිරෝධෝ ”
නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන හැදෙනවා. නාම රූප නිරෝධයෙන් සළායතන නිරෝධ වෙනවා. අපි දැනගන්න ඕන, හැදෙන සළායතන මොනවද, නිරෝධ වෙන සළායතන මොනවද කියල. අරිහත්වයට පත්වුනාම සළායතන නිරෝධයි. ඇස, කන, නාසය කියන දේවල් පේන්න තියෙනවා. සළායතන කිව්වෙ ඇස, කන, නාසය, දිව, කය, මන නෙවෙයි. එහෙනම් ආයතන කියන එක තේරුම් ගන්න ඕන.
අපේ පැරණි අය මේ ඇස, කන, නාසය, දිව, කය, මන ආදියෙන් හැදුන ශරීරයට ශරීර කූඩුව කියල කිව්වා. ඇයි මේකට ශරීර කූඩුව කියල කිව්වෙ ? සළායතන නිරෝධ කළොත් මේක කූඩුවක් විතරයි. වෙළඳපොලෙන් කූඩුවක් ගෙනැවිත් අපි ඒකට දානවා හා පැටියෙක්. දැන් මේකට කියනවා හා කූඩුවක් කියල. ඌ ඉවත් කරල ගිරවෙක් දැම්මම ගිරා කූඩුව කියනවා. මේ අනුව ඇතුලට දාල ඉන්න සතා අනුව කූඩුවේ නම වෙනස් වෙනවා.
ආයතන තෝරාගන්න තවත් නිදසුනක් බලමු. ගමේ නිවසක යම් කිසි ග්‍රාමීය බැංකුවක් පටන් ගන්නවා. ඒකෙ කෙරෙන වැඩ පිළිවෙල අනුව ඒකට කියනවා ග්‍රාමීය බැංකු ආයතනයක් කියල. ඒ නිවසෙම ඒ මුදල් කටයුතු ඉවත් කරල පශු වෛද්‍ය වැඩපිළිවෙලක් පටන් ගන්නවා. දැන් ඒක පශු වෛද්‍ය ආයතනයක්. නිවස තුළ කෙරුන වැඩපිළිවෙලේ වෙනස නිසයි මෙහෙම වුනේ.
එහෙම නම් ඇසක ආයතන හැදෙන්නෙ කොහොමද ? ඇස රාග සහගත වැඩපිළිවෙලකට යොදා ගත්තොත්, රාගයට මුල් වුන චක්ඛායතනයක් වෙනවා. බැඳීම අත් හරවන්න බෑ. ද්වේශයට පත්වෙලා ගැටෙන දේකට යොදා ගත්තොත්, ද්වේශය මුල් කරගත් අදහස් ඇස තුල බැස ගන්නවා. ඒ විදිහට කැමැත්තෙන් ලෝකයේ පැවැත්මට බැඳිල ඒ සඳහා ඇස ක්‍රියාත්මක කරන්න හිතුවොත්, ඇස ඒ කටයුතු සඳහා ආයතනයක් බවට පත්වෙනවා. මේ විදිහට ලෝකයේ පැවැත්මට අවශ්‍ය කටයුතු සඳහා ලෝකය වටිනවා කියල හිතුවෙ අවිද්‍යාවේ නිගමනයකින්. මේ විදිහට පංචකාම සම්පත්ති හොඳයි කියල ඒ පසු පස හඹා යන්න මේ ඇස, කන නාසය, දිව, කය, මන යොදා ගත්ත නම්, ඒවාට ඉන්ද්‍රිය වශයෙන් පවතින්න නිදහස නෑ. ඒවා යම් වැඩකට යොමු කරල යමක් එකතු කරගන්න අවශ්‍ය ස්ථාන බවට පත් කර ගත්ත නම් අයස්ථාන හෙවත් ආයතන බවට පත් වෙනවා.
ඒ විදිහට පංචකාම සම්පත්ති විඳින කොට ඒ ඉන්ද්‍රිය හය තුළ වැඩසටහන් හයක් ක්‍රියාත්මක වෙනවා. බලන වැඩසටහනක් ඇස තුල, අහන වැඩසටහනක් කන තුල, ආඝ්‍රාන කරන වැඩසටහනක් නාසය තුල, රස විඳීමේ වැඩසටහනක් දිව තුල, පහස විඳීමේ වැඩසටහනක් කය තුල, හිතන වැඩසටහනක් මන තුල. . . මේ ආකාරයෙන් වැඩසටහන් හයකට ස්ථාන හය ක්‍රියාත්මක කරවන කොට ආයතන හයක් ගොඩනැගෙනවා. ඉන්ද්‍රිය, ඉන්ද්‍රියන් හැටියට තියන්නෙ නැතුව ආයතන බවට පත් කර ගත්තා. මොකක් නිසාද ? අවිද්‍යාව නිසා ඡන්ද රාගයෙන් වෙලිල අත් ඇරල ඉන්න බෑ. නොඇලී මිදිල ඉන්න බෑ. මේ අනුව ඇස කියන මස් ගුලියවත්, කන කියන මස් ගුලියවත්, නෙවෙයි ආයතන කියන්නෙ. ඡන්ද රාගයෙන් බැඳිල හැදිල සකස් කර ගත්ත වැඩ පිළිවෙලටයි ආයතන කියන්නෙ. මේ අනුව අපට පේනවා, සළායතන නම් නිරෝධ කරන්න පුළුවන් කියල. මේ අනුව මොහොතක් මොහොතක් පාසා සළායතන නිරෝධ කරගෙන ගිහින් අරිහත්වයේදි සියලුම සළායතන නිරෝධ කරනවා.
ඇලෙන ගැටෙන දේවල් පිළිබඳ ආසාවෙන් පැවැත්ම හොඳයි කියල, අනිච්ච වු දුක්ඛ වු අනත්ත වු ඒ පැවැත්මට තිත තිව්වොත් ඒ බලාපොරොත්තු වන සැනසීම මායාවක් විතරයි. ඒක ඇසුරු කරන්න ගිහින් විඳින්නෙ දුකක්, ගින්නක්. කැඩෙන බිඳෙන විනාස වෙන දේ, කඩන බිඳින විනාස කරන දේ ඇසුරු කරගෙන ඒවායින් යහපතක් බලාපොරොත්තු වුනා නම්, ඒ වෙනුවට ලැබෙන්නෙ දුකක්, නැත්තම් අසහනයක්මයි. ආස්වාදයකින් මේ තත්ත්වය වැහෙන නිසා ඇස පේන්නෙ නැතුව යනවා. සත්‍යය වැටහෙන්නෙ නැතුව යනවා. ඒ අනුව සළායතන වැටහෙන්නෙ නැතුව යනවා. ඒවා පසුපස හඹා යන මානසිකත්වයක් ගොඩනැගෙනවා. අවිද්‍යාව මුල් කරගෙන සළායතන හට ගන්නේ මේ විදිහට.
” අවිද්‍යා පච්චයා සංඛාරා – අවිද්‍යා සම්පයුක්තා
සංඛාර පච්චයා විඤ්ඤාණං – සංඛාර සම්පයුක්තා
විඤ්ඤාණ පච්චයා නාමරූපං – විඤ්ඤාණ සම්පයුක්තා
නාමරූප පච්චයා සළායතනං – නාම රූප සම්පයුක්තා”
මේ අනුව සළායතනවල අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප කියන හතරම සමව යෙදිල තියෙනවා. යම් විදිහකින් අවිද්‍යාව නිරෝධ කරගත්ත නම් සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන සියල්ල නිරෝධයි.
සළායතන නිරෝධ කරන්න නම්, සළායතන කියන්නෙ මොනවද කියල මේ විදිහට දකින්න ඕන. සළායතනවලට හේතුව යථාර්ථය නොදැන ඒවා පිළිබඳ ඡන්ද රාගයෙන් බැඳීම බව දකින්න ඕන. සළායතනවල නිරෝධය දකින්න ඕන. සළායතන නිරෝධ කිරීමේ මාර්ගය වශයෙන්, ඒකෙන් අත්හැරී නොඇලී මිදීම සඳහා ඒකෙ ආදීනව දැකල අසාරත්වය වටහාගෙන ඒකෙන් මිදෙන්න ඕන.
ඒ අනුව සළායතන නිරෝධ කිරීමෙන් අත්වන නිවන ශාන්තයි ප්‍රණීතයි කියල දැකගත්ත නම් ඒ සඳහා අවශ්‍ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියල දැනගෙන ඒ මාර්ගය වඩන්න ඕන.
කිසිම අවස්ථාවක සළායතන කෙරෙහි බැඳීමේ රැඳීමේ අවශ්‍යතාවයක් නැත්නම්, මේ ආකාරයෙන් ඡන්ද රාගය දුරු වුනාද, සළායතනයන්ගේ බැඳීම එයින් කෙළවර වෙනවා. ඒ බැඳීම කෙළවර කරන්න නම් සළායතනයන්ගේ අසාර බව දකින්න ඕන. සළායතන සාරයි කියල හිතාගෙන හිටියොත් ඇස, කන, නාසය, දිව, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන දේ තුල හිත හසුරවන්න හිතෙනවා. එතකොට විවේක නිශ්‍රිත තත්ත්වයක් නෑ රාගිකව ඉන්නෙ. ඒ වගේම සැරිසරමින් ඉන්නෙ. නැත්නම් සංසර්ගයේ ඉන්නෙ. නිරෝධයක් හෙවත් වොස්සග්ග පරිණාමයක් නෑ.
බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාම කියන සතර ආකාරයෙන් මේ ආර්ය මග වඩන්න කියල.
ඵස්ස
මේ ආකාරයට,
ස්පර්ශය කියන්නෙ මොකක්ද ?
ස්පර්ශය හට ගන්නෙ කොහොමද ?
ස්පර්ශය නිරෝධය මොකක්ද ?
ස්පර්ශය නිරෝධ කරන මාර්ගය මොකක්ද ? කියන කාරණා හොඳින් තේරුම්ගත යුතුයි.
සසර දුකට හේතු වෙන යම් ස්පර්ශයක් ගොඩනැගෙනව නම්, ඒ කෙබඳු ස්පර්ශයක්ද කියල ධර්මානුකූලව තේරුම් ගත්ත දාට, මේ පටිච්ච සමුප්පාදය තුලින් දුක හට ගන්න ආකාරය දැකල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.
ලීයකට ලීයක් ගෑවෙන එකත් ස්පර්ශයක්. ඒ වගේ ඇහැකට රූපයක් පෙනෙන එකත් එක්තරා ස්පර්ශයක්. අපි දැන ගන්න ඕන, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශය මොකක්ද කියල. අවිද්‍යාව මුල් කරගෙන සසර ගමනට හේතු වෙන ස්පර්ශයක් ලැබෙනවා නම් ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා භව. . . ආදී වශයෙන් ඒක මතු ජාතියකට හෙවත් සසර ගමනට හේතුකාරක වෙනවා. ඒකට කියනවා සංඵස්ස කියල.
හේතු, ප්‍රත්‍ය, අඤ්ඤ මඤ්ඤ, සම්පයුක්ත කියන සතර ආකාර පට්ච්ච සමුප්පාද ක්‍රම රටාව තුලින් මේ ස්පර්ශය අවිද්‍යාව සමග සම්බන්ධ වෙන හැටි දකින්න පුළුවන්. ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් වශයෙන් ස්පර්ශ වෙනකොට ඊට අනුකූලව අපි මනසේ ස්පර්ශයක් ගොඩනගා ගන්නවා. ඒ විදිහට ගොඩ නගාගන්න සංස්පර්ශය අපි භුක්ති විඳිනවා.
යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නව නම්, ඒ මගේ පුතා කියල ස්පර්ශයක් හටගන්න පුළුවන්. මේ ආකාරයෙන් දියණියක්, ස්වාමිපුරුෂයෙක්, භාර්යාවක්. . . ආදී වශයෙන් පුද්ගලත්වය තුල තිබුණ මනුස්ස ස්වභාවය ඉක්මවල වෙනත් සංකල්පනාවකින් ඒක ස්පර්ශ කරනවා. බාහිරව පේන රූප මනුස්සයා හැටියට එක විදිහකටත්, ඔහු මෙබඳු කෙනෙක්, මෙබඳු නම් ගොත් ඇති කෙනෙක් හැටියට තවත් විදිහක ස්පර්ශයකිනුත් ඒ රූපය හදුනාගන්න පුළුවන්. මෙතනදි අපි ඇති කරගන්නවා මිත්‍ර ස්පර්ශය කියල එකක්. නැත්නම් මගේ ඥාතියෙක්, හිතවතෙක්, සතුරෙක්. . . ආදී වශයෙන් දෘෂ්ටියක් තුලින් ඇති වන්නා වු ස්පර්ශය නිසයි පුද්ගලයන් එසේ බැඳෙන්නෙ. එබඳු ස්පර්ශයකින් හට ගන්න වින්දනයක් නිසා ඒක මුල් කරගෙන අපි සසර ගමනට බැඳෙනවා. පැවැත්ම කරා ඇඳී බැඳී සිටින වින්දනයක් ඇති කරන්නෙ යම් ස්පර්ශයකින්ද ඒක අවිද්‍යා සහගත සංස්පර්ශයක්.
මේ කරුණ පුංචි උපමාවක් තුලින් විග්‍රහ කරල බලමු. පුංචි කාලෙ තමන්ගෙ දරුව දාල විදේශ ගත වෙච්ච අම්ම කෙනෙක් අවුරුදු අටක්, දහයක් පමණ ගත කරල ගමට එනවා. කලකින් තමන්ගෙ පුතාගෙ ස්වරූපය දැකගන්න පුළුවන්කමක් තිබුණෙ නැති නිසා, පුතාගෙ හැඩරුව හිතේ මවාගෙන යන අතරෙ දකිනවා පාසැලක් ඇරිල ළමයි දුවනවා පනිනවා දඟලනවා. මතකයේ ඉන්න පුතා දැක්කට ඇයට අඳුනගන්න බෑ. මෙතනදි එක ළමයෙක් අර අම්මගෙ ඇඟේ හැපිල වැටෙනවා. එතකොට ඒ ළමයට අර අම්ම බැන වදිනවා. මේ වෙලාවෙ කවුරුහරි ඇහුවොත්, ඔය තමන්ගෙ පුතා බව දන්නෙ නැත්ද කියල “ඒ මගේ පුතා” කියන හැඟීම ආපු ගමන් අර තරහ නැතිවෙලා විසාල සෙනෙහසක් ඇතිවෙනවා. ඒක ඇති වෙන්නෙ, මගේ පුතා කියන දෘෂ්ටියත් එක්ක. මේ තමයි දෘෂ්ටි ස්පර්ශයක් හට ගන්න හැටි. මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි. අවිද්‍යා සම්පයුක්තයි. මේ ස්පර්ශය තමයි සසර ගමනට හේතු වෙන්නෙ. ඇසට රූපයක් දැක්ක පළියට හරි, කනට ශබ්දයක් දිවට රසයක් වශයෙන් දැනුන පළියට හරි, ඒක සසර ගමනට හේතු වෙන්නෙ නෑ.
අවිද්‍යා සහගත ස්පර්ශවලට හේතුව මොකක්ද? අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා හට ගන්න ඡන්ද රාගයෙන් බැඳිල ඒවා හරි වටිනවා කියන දෘෂ්ටියට බැසීම තමයි මෙබඳු ස්පර්ශයක් යළි යළිත් පවත්වන්න හේතුව. ස්පර්ශයට හේතු වෙන ඡන්ද රාගය ඇයි පවතින්නෙ? ඒක අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක් කියල නොවැටහීම නිසා. ඒක හරියාකාරව වැටහුනා නම් තේරෙනවා, අනිච්ච වු දුක්ඛ වු අනත්ත වු මෙබඳු දේ ස්පර්ශ කරගෙන යනව නම් ඒකෙන් දුකක් දාහයක් අසහනයක් මිසක් හරයක් ලැබෙන්නෙ නෑ කියල. ඒකෙන් අත් හැරී නොඇලී මිදී ගියාම සැනසීමක් ලැබෙනව කියල දැක්ක නම්, එදාට දැනගන්නවා ඒ සංස්පර්ශ නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියල. දුකෙන් නිදහස් බව දැකල ඒක යළි යළි සිහි කරනකොට දුක් සහිත ආදීනව පැත්තෙන් තව තවත් වෙන් වෙනවා. ආනිසංස වශයෙන් දැකපු නිවනට හිත පිහිටනවා. නැත්නම් අකම්ප්‍යභාවයට පත්වෙනවා.
ඒ වගේම වැඩිය යුතු ස්පර්ශයක් තියෙනවා. කුසල මුල පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ ආකාරයට ඇවිත්, සළායතන පච්චයා ඵස්සො කියන ස්පර්ශය වැඩිය යුතුයි. ධර්මානුකූලව ඒ ස්පර්ශය වටහාගෙන ඒ අනුව කටයුතු කරගෙන ගියාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පුර්ණත්වයට පත්වෙනවා.
මේ ආකාරයට යම් මගක් ඇසුරු කරනකොට රාගක්ඛයට, ද්වේශක්ඛයට, මෝහක්ඛයට හේතුවෙනව නම්, ඒ සංස්පර්ශය නිරෝධ කරල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.
වේදනා
වේදනා කියන වචනය ගත්තම “ඵස්ස පච්චයා වේදනා” කියනකොට එතැන තියෙන්නෙ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙනවා කියන එක. විභංගප්‍රකරණයේ මේ වේදනා කොහොමද පෙන්වන්නෙ,
තත්ථ කතමා ඵස්ස පච්චයා වේදනා
චක්ඛු සංඵස්සජා වේදනා
සෝත සංඵස්සජා වේදනා
ඝාණ සංඵස්සජා වේදනා
ජිව්හා සංඵස්සජා වේදනා
කාය සංඵස්සජා වේදනා
මනෝ සංඵස්සජා වේදනා
අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා
මේ දැක්වෙන්නෙ සංස්පර්ශයෙන් හටගන්නා වේදනාවක්. අද අපි තේරුම් අරගෙන තියෙන වේදනා කියන වචනයත්, පටිච්ච සමුප්පාදයේ වේදනා කියල පෙන්වපු අර්ථයත් අතර ලොකු වෙනසක් තියෙනවා.
අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන මුළා සහගත මානසිකත්වය තුලින් නිච්චයි, සැපයි, අත්තයි කියන දෘෂ්ටියෙන් ලෝකය වෙත බැඳිල යම් ස්පර්ශයක් කරනවද, ඒකෙන් ලබන වින්දනය සීමාව ඉක්මවා ගිය විශේෂ වින්දනයක් බවට පත්වෙනවා. ඇහැට රූපයක් පේන කොට ඒක මන වඩන රූපයක්, හරි වටින රූපයක්, මට අයිති එකක්. . . ආදී නොයෙක් අදහස්වලින් දෘෂ්ටි ගත වෙලා තමයි ඒක දකින්නෙ. ඒකෙ යථා ස්වභාවය දකින්න දෘෂ්ටිගත මනසකින් බෑ. ඒ වගේම කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට ස්පර්ශයක් වගේ අරමුණක් ආවමත් ඒවා කෙරෙහි ඡන්ද රාගයෙන් බැඳිල ඒවා මමය, මාගේය, මගේ ආත්මය කියලා ඇසුරු කරන්න ගත්තම ඒකට කියන්නෙ ආත්ම දෘෂ්ටිය කියල.
උදාහරණයක් අරගෙන බලමු. රුපියල් දාහක නෝට්ටුවක් තියෙනවා. ඒක අපේ නෙවෙයි කියල අපි දන්නව නම්, ඒක සුළඟෙ ගියත් කවුරු හරි ඉරල දැම්මත් අපට ප්‍රශ්නයක් වෙනවද? නෑ. ඒත් මේ නෝට්ටුව මගේ කියල සම්බන්ධයක් තිබුණ නම්, ඒකට විශේෂ සැළකිල්ලක් දක්වනවා. ඒක දකින කොට දැකීමේ සීමාව ඉක්මවා ගිහින් ඒකත් එක්ක ඇලෙන හෝ ගැටෙන ස්වභාවයක් ඇතිවෙනවා. ඒ පසුපස හඹා යන මානසිකත්වයක් ඇතිවෙනවා. මේ නිසා ඇතිවන්නා වු වින්දනය, නැත්නම් දැනෙන ස්වභාවය හේතුවෙන් අපට ඇති වෙන්නෙ එක්කො ප්‍රියමනාපයක්, නැත්නම් අප්‍රිය අමනාපයක්.
මේ සංඵස්සජා වේදනාව තුන් ආකාරයකින් හට ගන්නවා. ඒ සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා වශයෙන්. සංස්පර්ශයෙන් හට ගන්න වේදනාවයි, ශරීරයේ ඇතිවෙන කැක්කුමක් ගෙඩියක් වගේ දෙයක් නිසා ඇති වෙන වේදනාවයි කියන්නෙ වේදනා දෙකක්. මේ සංඵස්සජා වේදනාව නිරෝධ කරන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේත් රහතුන් වහන්සේලාත් මේ වේදනාව නිරෝධ කළ උත්තමයන් වෙනවා. ඔළුවෙ කැක්කුම, ඇඟේ පතේ අමාරු, බඩේ කැක්කුම බුදු පියාණන් වහන්සේටත් තිබිල තියෙනවා. බොජ්ඣංග පිරිත්වල විග්‍රහ වෙලා තියෙනවා, රහතන් වහන්සේලා පවා තමන්ගේ වේදනාව ගැන කියපු ආකාරය.
” බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති”
” මේ වේදනාව හරි බලවත්. වැඩි වෙනව මිසක් අඩුවෙන බවක් පේන්නෙ නෑ.”
අවිද්‍යාවෙන් යුක්ත වෙලා ඇත්ත පේන්නෙ නැතුව, මේ ලෝකෙ නිච්චයි සැපයි අත්තයි කියන මුළා දෘෂ්ටියට පත්වෙලා ඒවා හරි වටිනවයි කියලා හිතාගත්ත පුද්ගලයා, යම් රූපයක් දැකල ඒක මන වඩන එකක් නම් ඒක මා සතු දෙයක් මගේ දෙයක් කියල ප්‍රියමනාපයක් ඇති කරගන්නවා.
මමය මගේය කියන ආත්ම දෘෂ්ටියෙන් යුක්තව වටිනා දෙයක් කියල ගත්තම ඒකෙ ඇලෙන ස්වභාවයක් තියෙනවා. සංස්පර්ශයන්ගෙන් ජනිත වන්නා වු වේදනාව සසර ගමනට හේතු වෙන්නෙ මේ නිසා. මේ අනුව පසුපස හඹා යන්න හිතෙනවා. ඒක අත් හරින්න හිතෙන්නෙ නෑ. මෙබඳු දේවල් මට තව තවත් ඕන කියල හිතෙනවා. මේ විදිහට මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස ආදිය අරමුණු කරනකොට ඒවායේ මධුර ස්වභාවයක් ප්‍රිය ස්වභාවයක් තියෙනව නම්, ඒක තමා විෂයෙහි පවත්වා ගන්න උත්සාහ කරනවා. මේ මානසිකත්වය නිසයි සසර ගමනට හේතුවන පසුතලය ගොඩ නැගෙන්නෙ. සංඵස්සජා වේදනාව දුරු කළාම ඒ වේදනාව නිසා ඇති වෙන සසර ගමනට හේතුවෙන සම්බන්ධතාවය දුරුවෙලා යනවා.
මේ අනුව අපි දකින්න ඕන වේදනාව කියන්නෙ මොකක්ද, ඒ වේදනාවට හේතුව මොකක්ද, ඒ වේදනා නිරෝධය කෙතරම් ශාන්තද ප්‍රණීතද, ඒකට මාර්ගය මොකක්ද කියල. මේ කාරණා හතර දැනගත්තම ඒ තැනැත්තාට පටිච්ච සමුප්පාදයේ ඥාන හතරක් පහළ වෙලා, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් වේදනා කියන්නෙ මොකක්ද? ඇලීමෙන් බැඳීමෙන් හරි වටිනවයි කියන දෘෂ්ටියෙන් අවිද්‍යා සහගතව ඇතිවන්නා වු සම්ඵස්සජා වේදනාවටයි වේදනා කිව්වෙ. ඒ වේදනාවට හේතුව මොකක්ද? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුක්තව වටිනවයි කියල ඒ තුල හඹා යන මානසිකත්වයක් ඇති කරගත්තම, ඒ ඇලෙන බැඳෙන ස්වභාවය තමයි මේ වේදනාව යළි යළිත් පවත්වන්න හේතුව. යම් දවසක මම, මගේ, මගේ ආත්මය වශයෙන් අල්ලගන්න හරයක් නෑ කියල දැක්කම ඇස, කන, නාසය, දිව, කය, මන සමග බැඳුනු සම්ඵස්සජා වේදනාව නැතුව යනවා. ඇහැට රූප පේනවා. සංස්පර්ශයක් නෑ. කනට ශබ්ද ඇහෙනවා, සංස්පර්ශයක් නෑ. දිවට රස දැනෙනවා, වටිනවයි කියල හටගන්න සංස්පර්ශයක් නෑ. නාසයට ගන්ධය දැනෙනවා. ඒ සමග බැඳුනු සංස්පර්ශයක් නෑ. මේ අනුව මේ හේතු නිරෝධ කළාම සංස්පර්ශය නිරෝධ වෙනවා කියල දකිනවා.
මොකක්ද ඒ හේතුව ? වටිනවයි කියල ගත්තෙ අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක්. කැමති සේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ආස්වාද මාත්‍රය විඳින්න ගියොත් උත්සාහයෙන් වීර්යයෙන් ඒවා පෝෂණය කරන්න ඕන. අපි කැමති සේ පවත්වන්න බැරි, නොයෙක් ආකාරයෙන් විපරිනාමයට පත්වන ඒ වේදනා භුක්තිය ලබා ගන්න දහසක් කම්කටොලු මැද්දෙ ඒ සඳහා අවශ්‍ය පරිසරය ගොඩ නගාගන්න වෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන මේ ආකාරයට පෝෂණය කරගන්න වෙනවා. තමන් කැමති සේ පවත්වන්න කොච්චර උත්සාහ කළත් ඒ විදිහට පවත්වන්න බැරි දෙයක්. ඒ විදිහට පවත්වන්න හදනව නම් ඒක මුළා සහගත උත්සාහයක් පමණක් වෙනවා. ඒක තේරුම් ගත්තෙ නැත්නම්, “මම මගේ” කියන දෘෂ්ටිය නිසා ඒකට කිසිම බාධකයක් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ. විශාල මානසික වික්ෂිප්ත භාවය්කින් යුක්තව ඒවා රැක ගන්න, පෝෂණය කරන්න කෙළවරක් නැති දුක් විඳිනවා. ආස්වාදයෙන් ඒ සියල්ල වැහෙනවා.
ඒක අසාර දෙයක් කියල වැටහුනා නම්, නැත්නම් ඒක අනිච්ච හැටියට, දුක්ඛ හැටියට, අනත්ත හැටියට, දැක්ක නම් ඒ පිළිබඳ ඇතිවෙලා තිබුණ ප්‍රියමනාප බව හිතෙන් බැහැර වෙලා යනවා. ඒක ධර්මතාවයක්. එහෙම වුනාම එතෙක් කල් ඒ තත්ත්වය ගොඩනගා ගන්න අපි කරපු උත්සාහය වීර්ය හරයක් නැති දෙයක් කියල දකින කොට තව දුරටත් ඒක රැක ගන්න කරන උත්සාහය නතර කරනවා. ප්‍රියයි මනාපයි කියල අල්ල ගත්ත දේ දුකට මුල් වුනා කියන යථාවබෝධය ලැබිල, ඒ හේතුව අත්හැරල දැම්ම නම් ඒ වේදනාව ගොඩනැගීමට හේතු නැතිවෙලා යනවා. ඒ අනුව නිදහස් වුනාම කොච්චර ශාන්තද ප්‍රණීතද කියන එක අවබෝධ වෙනවා. මේ යථාර්ථය දැකල වේදනාවේ ආදීනවත්, එයින් වෙන්වීමෙන් මිදීමෙන් ලබන නිවනේ ආනිසංසයත් නිතර මෙනෙහි කිරිම තමයි ආර්ය මාර්ගය කියන්නෙ. වේදනාව පිළිබඳව මේ සතර ආකාරයෙන් දැනගත්තම ඒ පිළිබඳ ඥාන හතරක් පහළ වෙලා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා.
තණ්හා
“තත්ථ කත්මෝ වේදනා පච්චයා තණ්හා” කියන තැන වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙනව කියන්නෙ මොකක්ද ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා අයං වුච්චති වේදනා පච්චයා තණ්හා කියන ආකාරයන් විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ විස්තර වෙනවා.
මේ ලෝකය නිච්චයි, සැපයි, අත්තයි කියන දෘෂ්ටියේ පිහිටල, මේ කෝකෙ තියෙන දේවල් හරි වටිනව කියල වින්දනයක් ලබන තැනැත්තාට යළි යළිත් ඒ වින්දනය ගොඩනගා ගන්න ඒවා පසුපස හඹා යන්න අවශ්‍ය වෙනවා. මේ අනුව මෙබඳු රූප යළි යළිත් මට බලන්න ඇත්නම්, මෙබඳු වටිනා ශබ්ද යළි යළිත් අහන්න ඇත්නම්, මේ වටිනා ගන්ධයන් යළි යළිත් ඇසුරු කරන්න ඇත්නම්, මෙබඳු වටිනා රස යළි යළිත් විඳින්න ඇත්නම්. . . ආදී වශයෙන් බලාපොරොත්තුවක් ඇලීමක් ඇති කර ගන්නවා. ඒ ඒ තැන් මේ ආකාරයෙන් අල්ල ගන්න ලක්ෂණයට තමයි කිව්වෙ තණ්හා කියල.
“යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී” සෙයියතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා” ආදී වශයෙනුත් මේ තණ්හාව විග්‍රහ වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේ තන්හි තන්හි හා වීම හෙවත් ඒ ඒ තැන හා වීම කියන ලක්ෂණය තමයි මේ තණ්හා කියන වචනයෙන් පෙන්නුවෙ. ඇයි මෙහෙම හා වෙන්නෙ? ඒ ඒ තැන හොඳයි කියන මුළාව නිසා. නිච්චයි, සැපයි, අත්තයි කියල හිතාගෙන ඉන්නෙ අනිච්ච වු දුක්ඛ වු අනත්ත වු දෙයක්. මේ ටික තේරුම් ගන්න බැරිව අවිද්‍යාවෙන් යුක්තව ඒවා හරි වටිනවයි කියල යළි යළිත් ඇසුරු කරන්න ඕන කියල ඇතිවෙන මානසිකත්වය නිසයි මේ තණ්හාව සසර ගමන ගොඩනගන්න හේතු වෙන්නෙ. මෙතනදි එක්තරා ශක්තියක්, නැත්නම් ධර්මතාවයක් ගොඩනැගෙනවා. චිත්ත ශක්තිය කිව්වෙත් කර්ම ශක්තිය කිව්වෙත් ඒකයි.
ඒ ඒ තැන හා වෙනවා කිව්වෙ මොකක්ද ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේවා බාහිර ලෝකයට අයිතියි. ඒවා ඇසුරු කරන්න ඇස,කන, නාසය, දිව, කය, මන ඕන වෙනවා. ඇස,කන, නාසය, දිව, කය, මන කියන මේ ටික එකතු කරල ” මම” කියන ගොඩක් ගහගෙන රූප, ශබ්ද, ගන්ධ, රස කියන ඒවා හරි වටිනවා ඒවා ඇසුරු කළ යුතුයි කියල “මගේ” කියන ලෝකයට එකතු කරගෙන “මමයි, මගෙයි, මගේ ආත්මය්යි” කියල දෘෂ්ටියක් හදාගන්නවා. එහෙම වුනාම ඒ තුල ජීවත් වෙන්න තව තවත් ගොඩගහ ගැනීම නිසා තව තවත් ඉදිරියට පැවැත්ම ගෙනියන්න ඕන කියල හැඟීමක් ඇති වෙනවා. මේ හැඟීම නිසා ඇසෙන් ඉවත් වෙන්න බෑ. යලි යළි ඇස ගොඩනගන්නා වු මානසිකත්වයක් ඇතිවෙනවා. රූපයන්ගෙන් ඉවත්වෙන්න බෑ. ඒ රූපයන් කරා හඹා ගොසින් ඒවා අල්ලගෙන හිටින මානසිකත්වයක් ගොඩ නැගෙනවා. ඒ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රියන් පවත්වන්න ඕන මානසිකත්වයක්මයි ඇති වෙන්නෙ. තව තවත් ඉදිරියට ජීවත් විය යුතුයි, ඒ ඒ තැන හරි වටිනවා, ඒ තැන් අත්හැරල යන්න බෑ. ඒ ඒ තැන්වලට හාවෙලා ඉන්න ඕන කියන හැඟීමක් ඇතිවෙනවා. මේක තමයි අවිද්‍යාව නිසා ඇතිවන්නාවු ඒ ඒ තන්හි හාවීම හෙවත් තණ්හාව.
සංඵස්සජා වේදනාවෙන් හට ගන්නා වු දෙයක් තමයි ඒක. අත්හරින්න බැරුව ඒකෙ ඇලෙන මානසිකත්වය. මේක එක්තරා ශක්ති විශේෂයක්. තණ්හාව දුරු කළොත් මතු මතුත් ඒවායේ ඇලිල බැඳිල ඉන්නා වු මානසිකත්වය දුරුවෙනවා.ඒ තුලින් ගොඩ නැගෙන්නා වු නොපෙනෙන ඒ ශක්ති විශේෂය ගොඩනැගීම නතර වෙනවා.
මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් විග්‍රහ වෙලා තියෙනවා. පංචකාම සම්පත්ති භුක්ති විඳීමේ ආස්වාදය මුල් කරගෙන ඒ ඒ තැන රැඳී බැඳී සිටීමේ ගති ලක්ෂණයක් හිතේ හට ගත්ත නම්, කාම යම් තැනකද, එතැන ඉක්මවන්න බැරි ස්වභාවයකට පත්වෙනවා. මේකට කියනවා කාම තන්හි හාවෙලා කාම තණ්හා වෙලා කියල.
ඒ කාම අත් ඇරල හිටියත් භව ඉක්මවන්න බෑ. කාමය සඳහා පමණක් නෙවෙයි ලෝක සත්ත්වයා ජීවත් වෙන්නෙ, කාමයන් අත්හැරලත් ජීවත් වෙන්න හිතනවා. ඒත් මොන මොනවා හරි දැනගන්න තේරුම් ගන්න තියෙනව නම් හොඳයි, පිරිසක් ඇසුරෙ ඉන්න තියෙනව නම් හොඳයි, කියන මෙබඳු වන්නා වු භව හේතුකොට ගෙන මේ වගේ ඉන්න තියෙනව නම්, හොඳයි, බ්‍රහ්මයෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි ඉන්න තියෙනව නම් හොඳයි, මෙබඳු තත්ව තානාන්තර වලින් වැජඹෙන්න තියෙනව නම් හොඳයි කියල මේ ආදී වන්නා වු භව තණ්හා කොටසක් තියෙනවා. රූප බලන්නවත්, ශබ්ද අහන්නවත්, ගඳ සුවඳ බලන්නවත්, රස බලන්නවත් ආදී කරුණුවලට නෙවෙයි. නමුත් හිත කහට ගන්වන්නා වු එක්තරා දෙයක් තමයි තමන් උසස් ලෙස ජීවත් වෙන්න ඕන, යම් යම් තත්ව තානාන්තර ඇතුව ජීවත් වෙන්න ඕන, මහේශාක්‍ය ලීලාවෙන් ජීවත් වෙන්න ඕන කියන මේ ආදී ගති ලක්ෂණ. මෙබඳු භවයන්ට එකතු වෙලා ඉන්න හිතුවම ඇති වෙන මානසිකත්වයෙන් භව තණ්හාව ගොඩ නැගෙනවා.
සසර ගමනක් නෑ, පින් පව් කියල දෙයක් නෑ, කියන මෙබඳු ගති ලක්ෂණයන් නිසා පුද්ගලයා තුල ඇති කරන්නා වු තණ්හාව විභව තණ්හාව හැටියටයි අද විග්‍රහ වෙලා තියෙන්නෙ. තමන් බලාපොරොත්තු වන්නා වු ස්වභාවයක් ඇත්නම් ඒ ස්වභාවය තමන්ට නැති නිසා ඇතිවන්නා වු දාහයෙන් කොහොම හරි මම මේ තත්ත්වය ගොඩනගා ගත යුතුයි කියන අදහස හටගන්නවා. අන්න ඒ වගේ නොලැබුන විවිධාකාර ස්වභාවයන් ලබාගැනීමේ තණ්හාවක් ඇතිවෙනවා. එබඳු අවස්ථාවන් මේ විභව තණ්හාව කියන කොටසට ගැනෙනවා.
මේ ආකාරයෙන් මෙබඳු තණ්හා මානසිකත්වය ගොඩනැගුනම වටිනා දෙයක් නිසා මට ඒක දාල යන්න බෑ, ඒකෙ බැඳිල රැඳිල ඉන්න ඕන කියන මානසිකත්වය තුලින් තමයි ලෝක සත්ත්වයාට පැවැත්මේ බලාපොරොත්තුව ඇති වෙන්නෙ. මේ නිසා ලෝක සත්ත්වයා කාමයන් අත්හැරල ගියත් භවයේ රැඳිල ඉන්නවා.
මෙතනදි අප දකින්න ඕන, තණ්හාව මොකක්ද, තණ්හාවට හේතුව මොකක්ද, තණ්හා නිරෝධය මොකක්ද, තණ්හා නිරෝධ මාර්ගය මොකක්ද කියලා. මේ කාරණා හතර තේරුම් ගත්ත නම් ඒ පුද්ගලයට යථාවබෝධය තුලින් ඥාණ හතරක් පහළ වෙනවා. මේ ඥාණ දර්ශන හතර පහළ වුනා නම්, තණ්හාව මුල් කරගෙන හටගත් මේ ඥාණ දර්ශනය තුලින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරල නිවන අවබෝධ කරගන්න හේතු වෙනවා.
” යෝ තස්සා යේව තණ්හාය
අසේස විරාග නිරෝධෝ
චාගෝ පටිනිස්සග්ගෝ
මුක්ති අනාලයෝ ”
මේ තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය. ඒ ඒ තැන ඇලෙන බැඳෙන මානසිකත්වය උදාවෙන්නෙ මේ ලෝකෙ නිච්චයි, සැපයි, අත්තයි කියන මේ මුළා දෘෂ්ටිය නිසා. ඒ මුලා දෘෂ්ටිය අත්හරින්න නම්, ඒ තණ්හාවෙන් අල්ලගන්න හේතු වුන දේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියල ධර්මානුකූලව දකින්න ඕන.
හරි වටිනා දේවල් කියල හිතාගෙන හිටිය ඇස, කන, නාසය, දිව, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ ලෝකයට අයත් දේවල් කැමති විදිහට පවත්වන්න පුළුවන් දේවල් නොවන නිසා ඒකාන්තයෙන්ම දුකක් ඇතිවෙනවා. තණ්හාවෙන් බැඳුන නිසාමයි ඒ වගේ දුකක් හට ගන්නෙ කියල දැක්කා නම්, අපට තේරුම්ගන්න පුළුවන් වෙනවා එබඳු දේ වැඩක් නෑ කියල. යම් දවසක මේ ආකාරයෙන් වැටහෙන්න පටන්ගත්ත නම්, ඒ දේවල් කෙරෙහි බැඳිල තිබිච්ච මානසිකත්වය නැවත නැවතත් උදා නොවන තත්ත්වයට පත්වෙන්න පටන් ගත්තම තණ්හාව නිරෝධ වෙන්න පටන් ගත්තා කියල කියනවා. මේ නිසා සිද්ධ වෙන්නෙ සසර ගමනට හේතුවන බැඳිම් සිඳී යාම. මේ අනුව තණ්හාවඛය කිරීමෙන් සියලු දුක් නිවෙනවා. නිවන අවබෝධ වෙනවා.
” තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති ”
” යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනන්තා ” යමක් අනිච්ච නම් ඒක දුකයි. යමක් අනිච්ච නම් දුක්ඛ නම් ඒක අනත්තයි කියල දකින්න ඕන. මොකක්ද අනත්ත කියන්නෙ ? “අසාරත්තේන අනත්තා ” යමක සාරත්වයක් නැත්තම් අනත්තා කියල විග්‍රහ වෙනවා. යමක් අල්ලගෙන හිටියට අපිට ලැබෙන සැපක් නෑ, ඒවා දුක, පෙලීම, වෙහෙස ගෙන දීල ගෙවිල යනවා, කෙළවර වෙනවා. මන වඩන රූපයක් අල්ලගෙන හිටියට ඒක එකාකාර පවතින එකක් නෙවෙයි. විපරිනාමයට, නැත්තම් කැමති සේ නැති ස්වභාවයට පත්වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නෙ ? අකමැති දේවල් එනවා, එනවට කැමති නෑ. කැමති දේවල් යනවා, යනවට කැමති නෑ. මේ විදිහට කැමති සේ පවත්වන්න බැරි බව හරි හැටි දැනගත්ත නම් අපි ඇත්ත දැක්ක වෙනවා. මේ යථාර්ථය දැක්ක නම් එතෙක් කරපු මුළා සහගත වැඩපිළිවෙල අත්හැරිල යනවා. මේ ආකාරයෙන් මානසික සුද්ධතාවයක් ඇති වෙන කොට රූප තණ්හාවට තිබුණු අවස්ථාවත්, ශබ්ද තණ්හාවට තිබුණු අවස්ථාවත්. . . මේ ආදී හය පොලක තණ්හාවන් ඇති වීමට තිබු අවස්ථාවන් පහ වෙනවා.
මේ ආකාරයෙන් තණ්හාව නිරෝධ වුනාම, ” ඒතං සංතං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බුපදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ” කියන ශාන්ත වු ප්‍රණීත වු නිවන දකිනවා. මේ අනුව තණ්හාවේ ආදීනවත් තණ්හාවෙන් නික්මීම හෙවත් නිරෝධය කෙතරම් ශාන්තද ප්‍රණීතද කියල නිවනේ ආනිසංස බලන්නත් පුරුදු වුනාම ආර්ය මාර්ගය වැඩිල උතුම් වු නිවන් සාක්ෂාත් කරන්න හැකි වෙනවා.
ආනිසංස කියන්නෙ නිශ්‍රය නොකරන, ඇසුරු නොකරන කියන ලෝකෝත්තර අදහස. මම කියල තණ්හාවෙන් අල්ල ගත්ත සියල්ල ඇසුරු නොකරන තත්ත්වයට පත්වුනාම ඒ තමයි නිවන. තණ්හාව නිරෝධ කරල ඒ උතුම් නිවනට පත්වීමට ලෝකෝත්තර වු අරි අටඟි මගම වැඩිය යුතුයි.
උපාදාන
ලෝක සත්ත්වයා මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් වටිනවා කියල ඒවායේ ඇලිලා ඉන්න එකටයි උපාදාන කිව්වේ.
මේ පංචකාම වස්තු හරි ප්‍රියයි මනාපයි කියන හැඟීම නිසා ඒවා පරිහරණයට අවශ්‍ය දේවල් ළඟා කරගෙන ඒවායේ බැඳෙන්න පටන් ගන්නවා. ඒවා තුළින් ඉවත් වෙලා යන්න බෑ. ඒකට තමයි කාම උපාදානයෙන් බැඳෙනවා කියන්නෙ.
මේ ස්වභාවය මට කොයි තරම් හොඳද ? මේ තත්ත්ව තානාන්තර කොයි තරම් හොඳද ? දෙවියෙක් වෙන්න ඇත්නම්, බ්‍රහ්මයෙක් වෙන්න ඇත්නම්, කොච්චර හොඳද. . . .ආදී වශයෙන් ලෝකයේ පැවැත්මට අවශ්‍ය වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම අතර සැරිසරන්න අවශ්‍ය ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේවා නිච්චයි, සැපයි, අත්තයි, මේවා කොයි තරම් වටිනවද කියන දෘෂ්ටිය නිසා සත්ත්වයා ලෝක පැවැත්මට බැඳෙනවා. දිට්ඨි උපාදානයෙන් බැඳෙනවා කියන්නෙ ඒකට. මේ ලෝක පැවැත්ම තුලම නොයෙක් වැඩ පිළිවෙලවල් අනුගමනය කරල උසස් තත්ත්වයට පත්වෙන්න ඕන කියන මුළා දෘෂ්ටිය නිසා සිල් වෘතවලට බැඳෙනවා. මේකට කියනවා සීලබ්බත උපාදානයෙන් බැඳෙනවා කියල.
ඒවා “මම” කියල “මගේ” කියල ” මගේ ආත්මය” කියල ආත්ම දෘෂ්ටියෙන් ඒවාට බැඳුනම අක්තවාද උපාදානය කියනවා. මේ සසර ගමනට හේතු වෙන සතර ආකාරයක උපාදානයන්.
උපාදානය කියන වචනය තවත් ආකාරයකට විග්‍රහ වෙනවා. වච්චගොත්ත පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, ඇවිලෙන ගින්නට උපාදානය මොකක්ද කියල. බුදු පියාණන් වහන්සේ පෙන්වනවා, ඇවිලෙන ගින්නට දර උපාදාන වෙනව කියල. ඉන්පසුව ඔහු අහනවා, උඩ යන ගින්නට උපාදාන වෙන්නෙ මොනවද කියල. වච්චගොත්ත, උඩ යන ගින්නට සුළඟ උපාදාන වෙනවා කියල බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. හිත සම්බන්ධ වෙන්නෙ නැතුව උපාදාන වන අවස්ථා දෙකක් ගැනයි මේ පෙන්වල තියෙන්නෙ.
පටිච්ච සමුප්පාදය තුල පෙන්වන මේ පදවල නිරුක්ති අර්ථයක් තියෙනවා. උපාදාන වෙනව කියන්නෙ මොකක්ද? උප කියනවා ආසන්නයේ කියන අදහසට. ආදාන වෙනවා කියන්නෙ ඇදෙනවා කියන කියන එකට. මේ අනුව උප ආදාන කියන්නෙ ආසන්නයට ඇදී සිටිනවා කියන අදහස. යමක් සිද්ධ වෙන කොට, ඒ ක්‍රියාවලියට ආසන්නම වශයෙන් ඇදී සිටිනවට කියනවා උපාදාන කියල. ඒ ආකාරයට මේ තණ්හාව මුල් කරගෙන යම් තැනක ඇලුනම තණ්හා පච්චයා උපාදානං කියන දේ සිද්ධ වෙනවා. මේ අනුව සසර ගමනට හේතුවන අත්‍යවශ්‍ය කාරණය සිද්ධ වෙන්නෙ මේ ආකාරයෙන් යම් තැනකට ආසන්නව ඇලිල බැඳිල සිටීම කියන උපාදානය නිසා. මේ විදිහට කාමය මුල් කරගෙන, භවය මුල් කරගෙන, සිල්වෘත මුල් කරගෙන සහ ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන ලෝක සත්ත්වයා සසර ගමනට හේතුවන්නා වු තැන්වල ආසන්නව බැඳෙනවා. නැත්තම් උපාදාන වෙනවා.
මේ උපාදානය තවත් විග්‍රහ කරල තේරුම් ගන්න ඕන. පංචස්කන්ධයත්, පංච උපාදානස්කන්ධයත් කියන්නෙ එකක්ද, නැත්තම් දෙකක්ද කියන කාරණය පිළිබඳ එක්තරා අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේම භික්ෂුන් වහන්සේලා අතර ප්‍රශ්නයක් මතුවුනා. ඇතැම් භික්ෂුන් වහන්සේලා කියනවා පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය වෙන්නෙත් කියලා. ධර්මය පිළිබඳ හසල දැනුමක් තිබුණ චිත්ත නමැති අනාගාමීව සිටි උපාසකතුමා විහාරයට පැමිණි අවස්ථාවක මේ කාරණය පිළිබඳව භික්ෂුන් වහන්සේලා ඔහුගෙන් විමසුවා. ඒ වෙලාවෙ චිත්ත ගෘහපතිතුමා මෙහෙම අහනවා. කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා. රැහැනක් අරගෙන මේ දෙන්නා ගැට ගැහුවම කියනවා ගොන්බාන කියල.
ඒ විදිහට පංචස්කන්ධයට ඡන්ද රාගයෙන් බැඳෙන කොට උපාදානය හට ගන්නෙ මොකක් අල්ලගෙනද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පහට බැඳිල ඒවා අල්ලගෙන. මේ ස්කන්ධ පහට ප්‍රිය මනාප වෙලා ඒවා නිච්චයි සැපයි අත්තයි කියන දෘෂ්ටියකින් බැඳුනම , ඒවා අත්හැරල යන්න බැරි මානසිකත්වයක් ගොඩ නැගෙනවා. රූප ඇසුරු කිරීමෙන් ඉවත්වෙන්න හිතෙන්නෙ නෑ. ලැබෙන වේදනාවෙන් ඈත්වෙලා ඉන්න හිතෙන්නෙ නෑ. සංඥාවන් පසුපස හඹායන්න හිතෙනවා. එබඳු සංඛාර ගොඩ නගමින් ඊට අනුකූලව කටයුතු කරනවා. එබඳු දේවල් ගොනු කරගත් මානසිකත්වයක් විඤ්ඤාණ වශයෙන් ගොඩනගා ගෙන ඒ තුල ඇලිල බැඳිල ඒ පැවැත්ම ගෙනියනවා. මේ ආකාරයෙන් ඉවත්වෙන්න බැරි විදිහට අල්ල ගන්නෙ නැත්නම් බැඳෙන ස්වභාවයට පත්වුනාම උපාදානයට පත්වුනා කියල කියනවා. මේ උපාදානය තමයි සසර ගමනට හේතුවෙන්නෙ. මේ ආකාරයට මේ ධර්ම මාර්ගය තේරුම් ගත්තා නම් උපාදානය උපාදානය හැටියට වටහ ගන්නවා. උපාදානයට හේතුව වටහ ගන්නවා. උපාදාන නිරෝධය නිසා ඇති වන්නා වු ශාන්ත වු ප්‍රණීත වු නිවන තේරුම් ගන්නවා. උපාදාන නිරෝධය කරන මාර්ගය වටහ ගන්නවා. මේ කරුණු හතර පිළිබඳ අවබෝධය පහළ වුනා නම් උපාදානය පිළිබඳ ඥාන හතරක් පහළ වුනා කියනවා.
රූප උපාදානස්කන්ධය කියන්නෙ මොකක්ද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ඨබ්බ රූප, ධම්ම රූප හෙවත් මනෝ රූප කියන මේ රූපස්කන්ධය නැත්නම් ගොඩවල්, යම් ආකාරයකින් ඔපවත් වෙලා වර්ණවත් වෙලා විවිධ හැඩතල සහිතව මනසේ විද්‍යමාන වෙනකොට, ඒවා ප්‍රියයි මනාපයි කියල ඇති වෙන හැඟීම නිසා රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් කරගන්නවා.
වේදනා උපාදානස්කන්ධය කියන්නෙ මොකක්ද? මේ රූපයෝ නිච්චයි සැපයි අත්තයි කියන දෘෂ්ටියෙන් අල්ලගෙන ඒවා ඇසුරු කරන්න ගියාම ඒ තුලින් වින්දනයක් ඇතිවෙනවා. ඒවා ප්‍රියයි මනාපයි යහපත් කියල ආස්වාද සහගත හැඟීමක් ගත්තොත් ඒක සැප වේදනාවක් වශයෙන් සිටිනවා. කටුක හැඟීමක් මතුවෙනව කියල දැනගත්තොත් දුක් වේදනාවක් ඇතිවෙනවා. ඒ දෙකටම මධ්‍යස්ථ දෙයක් කියල ගත්තොත් උපේක්ඛා වේදනාවක් වෙනවා. මේ ආකාරයෙන් සැපයි කියල ඒකට ඇලෙන්නෙත්, විරුද්ධ දෙයක් නම් ගැටෙන්නෙත් උපාදානය නිසාමයි, ඒ නිසා ඒ පසුපස හඹා ගිහින් ඒවා අත්හරින්න බැරුව එබඳු වේදනාවල ඇලීමක් හරි ගැටීමක් හරි වෙනව නම් ඒක තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නෙ.
මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ අවස්ථාවන්ට බැඳිල රැඳිල ඉන්න මානසිකත්වය ගොඩ නැගෙන්නෙ, ඇත්ත ඇති ආකාරයෙන් නොපෙනී ඒවා නිච්චයි සැපයි අත්තයි කියන දෘෂ්ටියෙන් බැඳිල ඒවා පිළිබඳ කල්පනා කරන නිසා. ඒ අනුව උපාදානයට හේතු වුනේ වටිනවයි කියන හැඟීම. ඒකෙ වටිනාකමක් නෑ කියල අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් ධර්මානුකූලව දැක්ක නම්, ඔහු තේරුම් ගන්නවා ඇලෙන්න බැඳෙන්න තරම් හරයක් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණවල නෑ කියල. මේ යථාවබෝධය ලැබුනම උපාදාන නිරෝධ වෙනවා. මේ තත්ත්වයට පත් වුනාම ඒ තැනැත්තා තුල සසර ගමනට හේතුවන බැඳීමක් තිබුණ නම් ඒක නැතුව යනවා. එහෙම උපාදාන නිරෝධ වුනාම භව නිරෝධයි. භව නිරෝධ වුනාම ජාති නිරෝධයි. ජාති නිරෝධ වුනාම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සියල්ල නිරෝධ වෙලා නිවන ශාන්තයි ප්‍රණීතයි කියල දකිනවා.
භව
අත්ථි කම්ම භවෝ අත්ථි උප්පත්ති භවෝ . . . ආදී වශයෙන් කර්ම භවයක් හා උප්පත්ති භවයක් තියෙනවා කියල ධර්මයේ විග්‍රහ වෙනවා. කර්ම භවය කියන්නෙ මොකක්ද? සත්ත්වයෙක් ජීවත් වෙලා ඉන්න කාලෙදි නොයෙක් පුණ්‍ය කර්ම කරනවා. ඒ වගේම පාප කර්ම කරනවා. පුණ්‍ය කර්ම නිසා පුණ්‍ය භවයන්ටත්, පාප කර්ම නිසා පාප භවයන්ටත් අවශ්‍ය ශක්තිය මනස තුල සම්පාදනය වෙනවා. මෙතනදි භව කියන වචනයෙන් පෙන්වන්නෙ නිර්මාණාත්මක ශක්තියක් බිහි වෙනවා කියන එක. නැත්නම් ජාතියක් බිහි කරන්න අවශ්‍ය මුල ශක්තියක් නිපදවනවා කියන එක. ජාති විවිධාකාරයි. විවිධාකාර ජාති නිෂ්පාදනය වෙන්නෙ ඊට අනුකූලව වු විවිධාකාර භව හේතු කරගෙන.
එහෙනම් කර්ම භවයෙන් සිද්ධ කරන්නෙ මොකක්ද? යම් පුද්ගලයෙක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තව කිසියම් පාප ධර්මයක් ඇසුරු කළාද, ඔහුට බලාපොරොත්තුවක් ඇති වෙනවා මතු මතුත් මේ තුල රැඳිය යුතුයි කියල. මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. . . ආදිය ආවට ඒ එකක්වත් රැඳිල ඉන්න ඒවා නෙවෙයි. ඒ සියල්ල හේතුවත් සමග ඇති වෙන ඵල ධර්ම . ආස්වාදයෙන් ඒවාට ඇලිල බැඳෙනවා. නමුත් ඒවා බැඳිල ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි බැඳෙන්න හදන කොට මොහොතක ආස්වාදයක් දීල ඒ අවස්ථාව ඉක්ම යනවා. ඒවා කැමති සේ පවත්වන්න බෑ. ගෙවිල යනවා. එහෙම ගෙවී ගියාම යළි යළිත් එබඳු අවස්ථාවන් ගොඩනගාගත යුතුයි කියන මානසිකත්වය ඉතුරු වෙනවා. මේ බලාපොරොත්තුව නිසා අපි නොදැනුවත්වම එක්තරා දෙයක් සිද්ධ වෙනවා. මතු මතුත් එබඳු දේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය ශක්ති විශේෂයක් ඒ මානසිකත්වය තුලින් නිදහස් වෙනවා.
යම් කිසි කර්මයක් කරනකොට ඒ කර්මය නිසා ඇතිවන්නා වු මතු නිර්මාණාත්මක ඇති කරවන ශක්ති විශේෂය ඊට අනුකූල තැනක පිහිටනවා. කාමයන් වටිනවා කියලා අවිද්
Sarathchandra says
This is help full to all human to stop the suffering from the pain. The person who love the matter pain will start from there, when the lovely matter lost pain will come, all pain creating in the mind. There are nothing about beauty or ugly this all in mind, there are nothing as km, or time or fence, these all human created. This floor belong to the earth, not to me.