“සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලිච පතීත නාමං
වන්දාමහං ථුපවරං මහග්ගං”
වාසනාවන්ත පින්වතුනි,
මේ ගාථාවෙන් කියවෙන්නෙ ස්වර්ණමාලී යන නමින් ප්‍රසිද්ධියට පත්වුණු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් නිධන් කොට තිබෙන ඒ උතුම් දාගැබ තුළ ධාතු ගර්‍භයේ බුද්ධ රශ්මියෙන් බැබළෙන බුදුරුවක් තිබෙනවා. ඒ උතුම් දාගැබ් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! කියලා.
ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු ගර්භය තුළ තිබෙන බුදුරුව පිළිබඳව සිංහල ථුපවංශයෙහි මේ විදිහට විස්තර කරල තියෙනවා. එනම් දුටුගැමුණු රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි ප්‍රමාණයෙන් යුතු බුද්ධත්වයට පත්වු ස්වරූපයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සත් රුවනින් යුතුව කරවා ඒ බුදුරුවෙහි ශ්‍රී පාදයේත් , ශ්‍රී හස්ථයේත් නියපොතු ද , ඇසේ සුදු පැහැති තැන්ද ජාතිස්පඨික මාණික්‍යයෙන් කරවු බවත් සිරි පතුල් , තොල් සඟල , ඇසෙහි රත් පැහැති තැන් වටිනා පබළු මාණික්‍යයන්ගෙන් කරවු බවත් ඒ බුදුරුවෙහි මැද පිහිටි ඌර්ණ රෝම ධාතුව රිදියෙන් කරවන ලද බවත් , ධාතු ගර්භය මැද කරවන ලද ඒ සත් රුවන්මය බුද්ධ ප්‍රතිමා වහන්සේට ඉහළින් සහම්පතී මහා බ්‍රහ්මයා මුතු කුඩයක් දරා සිටින ආකාරයත් රිදියෙන් කරවු බව සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ සිහිකරගෙන , ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු ගර්භය තුළ තැම්පත්ව තිබෙන සර්වඥ ධාතුන් වහන්සේලා සිහිකරගෙන , ස්වර්ණමාලී නම් උතුම් චෛත්‍යයට මම නමස්කාර කරනවා කියන අර්ථයයි රුවන්වැලි මහා සෑය වන්දනා කරන ගාථාවෙන් කියවෙන්නෙ.
රුවන්වැලි මහා සෑය කියලා කියන්නෙ මේ තුන් ලෝකය තුළම වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින පුජනීයම චෛත්‍යය යි. තව්තිසා දිව්‍ය ලෝකය තුළ සිළුමිණි මහා සෑය නමින් මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත්, බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේත් වැඩ සිටින පුජනීය චෛත්‍යයක් තිබෙනවා. බ්‍රහ්ම ලෝකය තුළ සලුමිණි මහා සෑය නමින් මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගලත්, බුදුරජාණන් වහන්සේගේ වම් අකු ධාතුන් වහන්සේත් වැඩ සිටින පුජනීය චෛත්‍යයක් තිබෙනවා. මනුෂ්‍ය ලෝකය තුළ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කරන ලද චෛත්‍යය සිය දහස් ගනණින් ඉදිකරල තිබෙනවා. නමුත් මේ තුන් ලෝකයේම වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින චෛත්‍යයක් තිබෙනවා නම් ඒ ස්වර්ණමාලී මහා සෑය නමින් හඳුන්වන දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද අනුරාධපුරයේ මහ මෙව්නා පුණ්‍ය භූමිය තුළ තිබෙන පුජනීය දාගැබයි.
සිව් බුදුවරු වැඩම කළ පින්බිම
ස්වර්ණමාලී චෛත්‍යය ඉදිකරපු පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුවරයන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද, සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් සිවු බුදුවරයන් වහන්සේලා විසින්ම පුජනීයත්වයට පත්කරන ලද උතුම්ම පුණ්‍ය භූමියක්.
රුවන්වැලි මහා සෑය ඉදිකරන පුණ්‍ය භූමිය පිළිබඳව මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට කිවු බව මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා. දවසක් මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුර මහමෙව්නා පුණ්‍ය භූමියේ වැඩ සිටිද්දි දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේව දකින්න සපුමල් වට්ටියකුත් අරගෙන මහමෙව්නා උයනට පැමිණියා. මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමා විසින් පිළිගැන් වු සපුමල් වට්ටිය රැගෙන අනාගතයේ රුවන්වැලි මහා සෑය ඉදිවෙන පුණ්‍ය භූමිය පිහිටි තැනට ගිහින් ඒ මල් පොළවට පුජා කළා. ඒත් සමඟම මහපොළව කම්පාවට පත්වෙලා පොළව සෙලවි ගියා.
එදා දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අහනවා ” ස්වාමීනී , ඇයි මේ සපුමල් මහපොළවේ විසුරුවා හරිද්දි මහපොළව කම්පාවට පත්වුනේ ” කියලා. මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට පැහැදිලි කළා ” මහරජ, මේ ස්ථානය කකුසඳ බුදුරජාණන් වහන්සේ හතලිස් දහසක් මහරහතන් වහන්සේලා සමඟ නිරෝධ සමාපත්තියට සමවැදි වැඩ සිටිය පුණ්‍ය භූමියක්. කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කොට තිස් දහසක් මහරහතන් වහන්සේලා සමඟ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිය පුණ්‍ය භූමියක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේද විසි දහසක් රහතන් වහන්සේලා සමඟ ලංකාවට වැඩම කොට සමාපත්තියෙන් වැඩ සිටිය පුණ්‍ය භූමියක්. ගෞතම බුදුරජාණන් වහන්සේ තුන් වැනි වර ලංකාවට වැඩම කල මොහොතේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ වැඩ සිටිය පුණ්‍ය භූමියක්.
මේ මහා භද්‍ර කල්පයේ පහල වු සිව් බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද මේ උතුම් පුණ්‍ය භූමිය මත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේල ද්‍රෝණයක් පමණ ධාතුන් නිධන් කරමින් එකසිය විසි රියන් උස ස්වර්ණමාලී නාමයෙන් ප්‍රකට වන පූජනීය චෛත්‍යයක් මේ පුණ්‍ය භූමිය මත ඉඳිවෙනව” කියලා අනාවැකිය පල කළා.
මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කල ඒ විස්තරය අහාගෙන හිටිය දේවානම්පියතිස්ස රජතුමට ඒ චෛත්‍යය ඉඳිකරන්න ආශාවක් ඇතිවුණා. “ස්වාමිණී, ඒ මහා ස්ථූපය මම ඉඳිකරවන්නම්” කියලා දේවානම්පියතිස්ස රජතුමාම ඉදිරිපත් වුණා. “මහරජ ඔබ විසින් කළයුතු බොහෝ පිංකම් තිබෙනවා.
ඒ මහා ස්ථූපය ඉදිකිරීම පිණිස පෙරුම් පුරාගෙන පැමිණෙන මහා පිංවන්ත කෙනෙක් අනාගතයේ ඔබේ මුණුබුරෙක් ලෙස ඉපදිලා මේ මහා ස්ථූපය කරවනවා” කියලා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමට පැහැදිලි කළා.
පින් බිමේ පිහිටවු සෙල් ටැඹ
එයින් සතුටට පත්වුණු රජතුමා ” අනේ ස්වාමීනී, මගේ මුණුබුරෙක් මේ චෛත්‍යය කරවන්නේ නම් එය මා කළා හා සමානයි” කියලා ඒ පින අනුමෝදන් වෙලා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ඒ සියලු විස්තර සෙල් ටැඹක කොටා අනාගතයේ චෛත්‍ය ඉදිවෙන පුණ්‍ය භූමිය මත ඒ සෙල් ටැඹ පිහිටෙව්වා. ඒ විතරක් නෙවෙයි රන්පත් තීරු කිහිපයක ඒ විස්තරය ලියා කරඬුවල බහා අනාගතයේ දුටුගැමුණු රජතුමන්හට ඒ විස්තර සොයාගෙන චෛත්‍ය ඉදිකිරීමේ පහසුව පිණිස රජගෙයිද තැම්පත් කළා. දුටුගැමුණු රජතුමන් එදා සොළීන් සමඟ යුද්ධ කොට යුද්ධයෙන් ජයග්‍රහණය ලබා අනුරාධපුර නගරය නිදහස් කර ගැනීමෙන් පසුව යුද්ධයේදි රජතුමන්හට උදව් උපකාර කළ පිරිසත් සමඟ ලක්ෂයක් කහවනු වියඳම් කොට බෝධි පුජාවක් පැවැත්වීම පිණිස මහමෙව්නා පුණ්‍ය භූමියට පැමිණියා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේහට පුද පුජාවන් සිදුකොට තමන් යුද්ධයෙන් නිදහස් කොටගත් මහමෙව්නා පුණ්‍ය භූමියේ ඇවිදයන විට එදා දේවානම්පියතිස්ස රජතුමා විසින් පිහිටවන ලද සෙල් ටැඹ දකින්නට ලැබුණා.
ඒ සෙල් ටැඹ කියවීමෙන් පසු දුටුගැමුණු රජතුමාට පුදුමාකාර සතුටක් ප්‍රීතියක් ඇතිවුණා. “මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනාගතය දෙස බලා මා ගැන දැක මේ පුණ්‍ය භූමියේ එකසිය විසි රියන් උස දාගැබක් කරවන්නේ යැයි සටහනක් තබා තිබෙනව නේද කියල” පුදුම සතුටක් ඇතිවුණා. ඒ සෙල් ටැඹ සටහන් කර තිබු ආකාරයට මුලින්ම මහා සංඝයාහට පොහොය කර්ම සිදුකිරීම සඳහා ලෝවාමහාපාය නමින් නව මහල් ප්‍රාසාදයක් කරවා සඟ සතුකොට පුජා කළා.
මහා චෛත්‍යයට ගඩොල් ලැබීම
ඉන්පසු ඒ සෙල් ටැඹේ සඳහන්ව තිබු මහා දාගැබ මා විසින් කරවමි යි යන මහා අධිෂ්ඨානයෙන් යුතුව රජතුමා මාලිගයට ගොස් ආහාර ගෙන යහනේ සැතපී මේ ආකාරයේ කල්පනාවක යෙදුනා. මේ රටේ වැසියන් මා සමඟ ගොස් සොළීන් සමඟ සටන්කොට යුද්ධය අවසන් වුවා පමණයි.
බොහෝ දෙනෙක් යුද්ධය නිසා දුකට පැමිණිලා සිටින්නෙ මම කොහොමද මේ මනුෂ්‍යයන්ට දුක් නොදී ධාර්මිෂ්ඨව මේ මහා දාගැබ ඉදි කිරීම පිණිස ගඩොල් සපයා ගන්නෙ. චෛත්‍යය ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්නෙ කියල සිතමින් සිටිද්දී දුටුගැමුණු රජතුමාගේ යහනේ ධවල ඡත්‍රයට අධිගෘහිත දේවතාවියක් රජතුමාගේ සිතුවිල්ල දැක දුටුගැමුණු රජතුමා මෙසේ සිතනවා යැයි දෙවියන්ට ඇසෙන ලෙස හඬනඟා ඝෝෂා කළා.
දෙවියන් අතර පැතිර ගියා ඒ ඝෝෂාව තව්තිසා දෙව්ලොව සිටි සක්‍ර දෙවියන්ටත් දැනගන්න ලැබුණා. සක්‍ර දෙවියන් විසින් දුටුගැමුණු රජතුමාගේ සිතිවිල්ල දැන විශ්මකර්ම දිව්‍ය ප්‍රත්‍රයා කැඳවා ” දරැව , ලංකාද්වීපයෙහි දුටුගැමුණු නමින් රජ කරන රජුන් දාගැබක් ඉදිකිරීම පිණිස ගඩොල් සපයා ගන්නෙ කෙසේදැයි සිතමින් පසුවෙනවා. නුඹ ගොස් අනුරාධපුරයට උතුරු දිශාවෙන් ගව් හතරක් පමණ දුරින් ගඩොල් ගොඩක් මවා පැමිණෙන්න ” යැයි සක්‍ර දෙවියන් විශ්මකර්ම දිව්‍ය ප්‍රත්‍රයාට පැවරුවා.
පසුදින අනුරාධපුරයට උතුරු දිශාවෙන් ගව් හතරක් පමණ දුරින් පිහිටි ගම්හීර නදිය නමින් එදා හැදින්වු ප්‍රදේශය තුළ වනාන්තරයක් පිරෙන්නම ගඩොල් ගොඩක් මවා විශ්මකර්ම දෙවියන් දෙව්ලොවට ගියා . එදා ගම්හීර නදිය කියලා හඳුන්වල තියෙන්නෙ අද අපි මල්වතු ඔය කියල හඳුන්වන ප්‍රදේශයටයි. පසුවදා උදෑසනින්ම බල්ලන් රැගෙන දඬයමේ ගිය වැද්දෙක් මේ ගඩොල් මවා තිබු ස්ථානය අසලින් යන විට ඒ අසල සිටි භූමාටු දෙවියෙක් වැද්දාට මේ ගඩොල් දක්වනු පිණිස තලගොයෙකුගේ වෙස් මවාගෙන ඔහු ඉදිරියෙන් දුවගෙන ගඩොල් ගොඩ පිහිටි ස්ථානයට දිවගියා.
පසුදින අනුරාධපුරයට උතුරු දිශාවෙන් ගව් හතරක් පමණ දුරින් පිහිටි ගම්හීර නදිය නමින් එදා හැදින්වු ප්‍රදේශය තුළ වනාන්තරයක් පිරෙන්නම ගඩොල් ගොඩක් මවා විශ්මකර්ම දෙවියන් දෙව්ලොවට ගියා . එදා ගම්හීර නදිය කියලා හඳුන්වල තියෙන්නෙ අද අපි මල්වතු ඔය කියල හඳුන්වන ප්‍රදේශයටයි. පසුවදා උදෑසනින්ම බල්ලන් රැගෙන දඬයමේ ගිය වැද්දෙක් මේ ගඩොල් මවා තිබු ස්ථානය අසලින් යන විට ඒ අසල සිටි භූමාටු දෙවියෙක් වැද්දාට මේ ගඩොල් දක්වනු පිණිස තලගොයෙකුගේ වෙස් මවාගෙන ඔහු ඉදිරියෙන් දුවගෙන ගඩොල් ගොඩ පිහිටි ස්ථානයට දිවගියා.
වැද්දා සමඟ දඬයමේ ගිය බල්ලන් ඔහු පස ලුහුබැඳ යන විට ගඩොල් ගොඩ පිහිටි ස්ථානය අසලදී ඒ තලගොයා අතුරුදහන් වීමත්, මහා වනාන්තරය පිරෙන්නට තිබෙන ගඩොල් ගොඩ දැකීමෙනුත් පුදුමයට පත්වුණු වැද්දා ” අපේ රජ්ජුරුවන් වහන්සේ චෛත්‍යයක් කරවීම පිණිස කටයුතු කරනවා . මා විසින් දැකපු මේ ගඩොල් පිළිබඳව රජතුමාව දැනුවත් කළොත් රජතුමා සතුටට පත්වි මට පඬුරු ලබාදෙයි” කියලා ඉක්මනින්ම මාලිගාවට ඇවිදින් රාජ පුරුෂයන්ගෙන් අවසර ගෙන දුටුගැමුණු රජතුමාව මුණගැසී තමන් දුටු දැනුවත් ගඩොල් පිළිබඳව රජතුමන්ට කරුණු සැල කළා.
ඒ අසා සතුටට පත් වු රජතුමා ඒ ගඩොල් දැකීමට මම ම යමි කියා රාජ පුරුෂයන් සමඟ ගොස් ඒ ගඩොල් දැක මහත් සතුටට පත්වී ඒ කරුණු පැවසු වැද්දාට බොහෝ සම්පත් දී ඒ ගඩොල් ගොඩ ආරක්ෂා කිරීම පිණිස ඒ වැද්දාම පත්කළා.
ඔන්න ඔය ආකාරයට තමයි රුවන්වැලි සෑ චෛත්‍යය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් දෙවියන් විසින් මවා දුන් ආකාරය ගැන මහාවංශය, ථුපවංශය ආදී ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන්නේ.
මහ පොළොවෙන් මතු වු සම්පත්
රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් විතරක් නෙවෙයි. මහා අසිරිමත් අකාරයට මේ මහ පොළොවෙන් රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදි වටිනා සම්පත් රැසක් පහළ වුණා. අනුරාධපුරයට ඊසාන දිගින් දොළොස් ගව්වක් පමණ දුරින් පිහිටි එදා අවුරුවිට කියල හඳුන්වපු ගමේ මිනිස්සු ගොවිතැන් කරන්න බීජ වපුරල වෙල් යායට ගිහින් බලද්දි රත්තරන් පැළ පොළොවෙන් මතුවෙලා. උසට නැගී රන් පැළ වියතක් පමණ උසින් යුතුවද, මිටි ප්‍රමාණයේ රන් පැළ අඟල් හතරක පමණ උසින් යුතුවද බීජ වැපිරීමෙන් පසුදින ගම්වැසියන්ට දකින්න ලැබුණා. ඒ අසිරිමත් සිදුවීමෙන් පුදුමයට පත්වුනු ගම්වැසියන් අපේ රජ්ජුරුවන් මහා දාගැබක් ඉදි කරන්න සුදානම් වෙනවා ඒ නිසයි මේ පොළොවෙන් රත්තරන් පැළ හටගත්තෙ කියලා පාත්තරේකට පුරවා රජමැදුරට ගිහින් රජ්ජුරුවන්ට පෙන්නුවා. ඒ දැක සතුටට පත් රජතුමා ගම්වාසින්ට සුදුසු ලෙස සම්පත් දී පොළොවෙන් හටගත් ඒ රන් පැළ රැකගැනීම පිණිස ගම්වාසින්වම පත්කළා. ඒ විතරක් නෙවෙයි ඊට ටික දවසකට පස්සේ අනුරාධපුරයට නැගෙනහිර දිශාවෙන් ගව් විසි අටක් පමණ දුරින් පිහිටි තඹවිටි කියන ගමේ ඔය ආකාරයටම පොළොවෙන් තඹ මතු වුනා. ඒ දැක පුදුමයට පත්වුන ගම්වැසියන් පාත්තරයක් පුරවා තඹ ගෙන ගොස් දුටුගැමුණු රජතුමන් හමු වී රජතුමාව දැනුවත් කළා. රජතුමා ඒ ගම්වැසියන්ටද සම්පත් දී තුටු පඩුරු ලබා දී ඒ තඹ අස්වැන්න රැකගැනීම පිණිස ඒ ගම්වැසියන්වම පත්කළා.
අනුරාධපුරයට ගිණිකොන දිශාවේ ගව් දාසයක් පමණ දුරින් සුමන නමින් හඳුන්වපු වැව අසල පොළොවෙන් බොහෝ වටිනා මැණික් වර්ග මතු වෙලා තිබුනා. පොළොවෙන් මතු වු ඒ මැණික් දැක පුදුමයට පත් වු ගම්වැසියන් පාත්තරයක් පුරවා මැණික් රැගෙන රජතුමන් හමු වී ඒ පිලිබඳ දැනුවත් කළා. මේ පුවත සැළ කළ ගම්වැසියන්ටද තුටු පඩුරු දී මැණික් උපන් ඒ භූමිය ආරක්ෂා කිරීම පිණිස ඒ ගම්වැසියන්වම පත්කළා. ඒ විතරක් නොවෙයි අනුරාධපුරයට දකුණු දිශාවෙන් ගව් තිස්දෙකක් පමණ දුරින් පිහිටි එදා ඇම්තොට නමින් හඳුන්වපු ප්‍රදේශයේ ගල් ලෙනකින් රිදී මතුවුනා.
අනුරාධපුරයට බටහිර දිශාවෙන් ගව් විසිඅටක් පමණ දුරින් පිහිටි උරුවෙල් නමින් හඳුන්වපු ගමේ මිනිසුන් මුහුදු යෑම පිණිස වෙරලට ගිය විට මහා සාගරය තුල තිබෙන ව්ටිනා මැණික් ව්‍රග වන මුතු, පබලු ආදී වටිනා මණික්‍ය වර්ග මහා සාගරයෙන් වෙරලට ගොඩගසා ඇති බව මාලු අල්ලන්නට යෑම පිණිස පිටත්ව ගිය ගම්වැසියන්ට දකින්න ලැබුනා. මේ ආකාරයට චෛත්‍ය කර්මාන්තය සඳහා අවශ්‍යය වන මැණික් වර්ග බොහෝමයක්ම මහ පොළොවෙන් එදා මතු වුණා.
රුවන්වැලි මහාසෑයේ ධාතු ගර්භය තුල සිව් කොණේ තබා ඇති මිරිස් ගල් තරම් විශාලත්වයෙන් යුත් ආලෝකය විහිදෙන මාණික්‍ය හතරක් පිලිබඳව බොහෝ දෙනෙක් අහලා තියෙනවා. ඒ මැණික් ගල් හතර මතුවුණේ අනුරාධපුරයට වයඹ කොනින් විසිඅට ගව්වක් පමණ දුරින් පිහිටී එදා පෙළවාපී නමින් හඳුන්වපු ගම්මානයෙහි වැවක් ආශ්‍රිතවයි.
එදා ඒ ප්‍රදේශයෙහි දඬයමේ ගිය වැද්දෙක් පොළොවෙන් මතුව තිබු ඒ විශාල මාණික්‍ය රත්න හතර දැක එය ඔසවාගෙන මාලිගාවට ගෙනයාමට බැරිතරම් විශාල නිසා වැලි වලින් වසා නගරයට පැමිණ දුටුගැමුණු රජතුමන්ව දැනුවත් කළා.
රජතුමන් ඒ මැණික් ගල් හතර මතු වු ප්‍රදේශයට ගොස් එය දැක මහත් සතුටට පත් වී ඒ ගැන පැවසු වැද්දාටත් තුටු පඬුරු දී චෛත්‍යයේ තැම්පත් කිරීම සඳහා ඒ විශාල මාණික්‍යයන් මාලිගයට ගෙන්වා ගත්තා. රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් ලැබුණු ආකාරය ගැනත්, රන්, රීදි, තඹ, මුතු, මැණික් ආදි වටිනා සම්පත් ලැබු ආකාරය ගැනත් විමසගෙන යද්දි මේ මහා ස්ථුපය ඉදිකිරීම පිණිස දෙවියන් කොයිතරම් උදව් උපකාර කළාද කියල අපට පෙනෙනවා.
දුටුගැමුණු රජතුමා පොළොවෙන් මතු වු රන්, රීදි, මුතු, මැණික් ආදී මේ සියලු සම්පත් මාලිගයට ගෙන්වා චෛත්‍යය කර්මාන්තයට යෙදවීම පිණිස භාණ්ඩාගාරයේ තැම්පත් කළා. මේ මහා පුජනීය චෛත්‍යය එනම් ස්වර්ණමාලී මහා සෑය ඉදිකිරීම පිණිස රජතුමා බිම සකස් කිරීම ආරම්භ කළේ වෙසක් පුර පසළොස්වක පුන් පොහෝදා විසා නැකතින් යුතුවයි.
විමානයෙන් බැස ගිය දෙව් දුව
රුවන්වැලි මහා සෑය හඳුන්වන නම් ගණනාවක්ම තියෙනවා. රුවන්වැලි මහා සෑය, හේමමාලී මහා සෑය, රත්නමාලී මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය ආදී නම් වලින් මේ මහා ස්ථුපය නොයෙක් ග්‍රන්ථවල හඳුන්වා තිබෙනවා. ස්වර්ණමාලී මහා සෑය කියන නම යෙදුන ආකාරය පිළිබඳ ලස්සන කථාවක් ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ මහා ස්ථුපය ඉදිකරන්න සුදානම් වෙද්දි ඒ භූමිය තුළ රන් තෙළඹු ගසක් තිබිල තියෙනවා.
චෛත්‍යය ඉදිකරන්න නම් මේ ගස කපා ඉවත් කරන්න ඕන. නමුත් මේ ගස විමාන කරගෙන දිව්‍යාංගනාවක් වෘක්ෂ දේවතාවියක් හැටියට වාසය කළා. රජතුමා මේ බව දැනගෙන ඒ රන් තෙළඹු ගස ළඟට ගිහින් තමන් මේ භූමියේ චෛත්‍යයක් ඉදිකිරීමට සුදානමින් සිටින නිසා මේ ගස කපා ඉවත් කරන බවත්, වෙනත් විමානයක් සොයා රන් තෙළඹු ගසින් ඉවත් වෙලා යන්න කියලා ඉල්ලීමක් කළා. දිව්‍යාංගනාව ඒ විමානය අතහැර යන්න අකමැති වුණා.
රජතුමා කිහිපවතාවක්ම ඒ ඉල්ලීම කළා. චෛත්‍යය ඉදිකිරීමට බිම සකස් කරන්න සුදානම් වෙලා දුටුගැමුණු රජතුමා ආයෙමත් වතාවක් රන් තෙළඹු ගස ළඟට ගිහින් ඉල්ලීමක් කළා. ” කරන්න දෙයක් නැහැ . මේ භූමිය මත මහා ස්ථුපයක් ඉදිකරනවා. ඒ වෙනුවෙන් මේ ගස කපා ඉවත් කරන්න වෙනවා “කියලා. ඒ වෙලේ මේ දිව්‍යාංගනාව රජතුමා ඉදිරියේ පෙනී සිටිමින් ඉල්ලීමක් කළා.
“රජතුමනී, මම මේ විමානය අතහැර වෙනත් දිශාවකට යන්නම්.හැබැයි මේ භූමිය තුල ඉඳිකරන ඒ මහා ස්ථූපයට මගේ නම යොදන්න” කියලා. රජතුමා ඇහුවා “ඔබේ නම මොකක්ද” කියලා. “රජතුමනී, මගේ නම ස්වර්ණමාලී” කියලා ඒ දිව්‍යාංගනාව පිලිතුරු දුන්නා. අන්න ඒ නිසා මේ මහා ස්ථූපය ඉඳි කිරීම පිණිස ඒ භූමියේ පිහිටි රන් තෙලඹු ගසේ විමානයෙන් බැස ගිය ඒ දිව්‍යාංගනාව සිහිවෙන්න ස්වර්ණමාලී කියන නම මේ මහා ස්ථූපයට යෙදු බව සඳහන් වෙලා තියෙනවා.
චෛත්‍යය ඉඳිකිරීම පිණිස පොළොවේ සැකසුම……….
ස්වර්ණමාලී මහා චෛත්‍යය ඉඳි කිරීම පිණිස ඒ ගස ඉවත් කරලා පොළොව සකස් කරපු ආකාරය හරිම ආශ්චර්යමත් විදියට ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඒ භූමියේ පොළොව සකස් කළේ මේ ආකාරයටයි. පතුලට විශාල ගල් කුට්ටි අතුරා ඒ මත හුණුගල් දමා ඇතුන් ලවා පාගවා පොළොවේ යටම තට්ටුව සකස් කළා. ඊට උඩින් කිරිමැටි තට්ටුවක් යොදා ඒ මත ගඩොල් තට්ටුවක් ඇතිරුවා. ඊට ඉහලින් තද ගල් බොරලු තට්ටුවක් එලා වෙඬරු මැටි තට්ටුවක් උඩින් යෙදුවා. ඒ මත යකඩ දැල් බැස්මක් යෙදු බවත් සඳහන් වෙල තියෙනවා. යකඩ දැල් බැස්මට ඉහලින් බොරලු ගල් තට්ටුවක්, පළිඟු ගල් තට්ටුවක්, කලු ගල් තට්ටුවක්, නවනීල මැටි තට්ටුවක් ආදී වශයෙන් අතුර රසදිය මිශ්‍ර කොට සැකසු ගිවුලු මැලියම් තට්ටුවක් ඉහලින් අතුරා ඊට ඉහලින් අඟල් අටකින් පමණ ඝනකමින් යුත් ලෝහ තහඩු යෙදුවා. ඒ ලෝහ තහඩුවට ඉහලින් තල තෙල් වලින් තෙමන ලද රන් සිරියෙල් තැවරූ අඟල් හතක පමණ ඝනකමින් යුතු රීදි තහඩු වැස්මක් යොදා අත්තිවාරම සකස් කළ බව සඳහන් වෙලා තියෙනවා.
මේ මහා ස්ථුපය ඉදිකිරීම පිණිස මහ පොළොවෙන් මතුවුන රිදී, තඹ ආදී ලෝහ වර්ග වලින් සකස් කරන ලද අඟල් හතක, අටක ප්‍රමාණයෙන් යුතු තහඩු යකඩ දැල් ආදිය රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට ප්‍රථම පොළොව සකස් කිරීමේදී අඩිතාලමට යෙදු බව මේ කරුණු වලින් ඉතාම පැහැදිලි වෙනවා. මේ මහා ස්ථුපයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මඟුල් උළු තබන දිනයේදී එනම් චෛත්‍යයේ සැලැස්මට අනුව මුල්ගල තබන දවසේදී නොයෙක් රටවල වැඩසිටි මහරහතන් වහන්සේලා ලක්ෂගණනින් අහසින් මේ උතුම් පුණ්‍ය භූමියට වැඩම කළ බව සඳහන් වෙලා තියෙනවා.
රහතන් වහන්සේලාගෙන් පිරී ගිය පින්බිම…….
මේ තරම් මහරහතන් වහන්සේලා ප්‍රමාණයක් ලංකාව රැස්වුණු වෙනත් අවස්ථාක් ගැන අහන්න ලැබෙන්නේම නැහැ. සමහර විටක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර කළ අධිෂ්ඨානයකට අනුව රුවන්වැලි මහාසෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබන මොහිතේදී ඒ වන විට ලෝකයේ සෑම ප්‍රදේශයකම වැඩ සිටි මහරහතන් වහන්සේලා මහමෙව්නා පුණ්‍ය භූමිය වෙත වැඩම කිරීම සිදුවුණා වෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කළ සුභ මොහොතට වැඩම කළ මහරහතන් වහන්සේලා පිළිබඳ සඳහන් වෙලා තිබෙන්නෙ මේ ආකාරයටයි.අද අපි පර්සියාව කියල හඳුන්වන රට එදා හඳුන්වල තිබෙන්නෙ පල්ලවභොග්ග කියන නමින්. ඒ රටේ සිටන් මහා දේව මහරහතන් වහන්සේ සමඟ හාරලක්ෂ හැටදහසක් පමණ මහරහතන් වහන්සේලා වැඩම කරල තියෙනවා. ගන්ධාර දේශයේ සිට මේ පුණ්‍ය උත්සවය උදෙසා උත්තිණ්ණ මහරහතන් වහන්සේ සමඟ දෙලක්ෂ අසු දහසක් පමණ රහතන් වහන්සේලා වැඩම කරල තියෙනවා. දඹදිව පැලලුප් නුවර අශෝකාරාමයේ වැඩසිටි මිත්තිණ්ණ මහරහතන් වහන්සේගේ නායකත්වයෙන් යුතුව එක්ලක්ෂ හැටදහසක පමණ මහරහතන් වහන්සේලා වැඩම කොට තිබෙනවා. දඹදිව කෝසල මහා විහාරයේ වැඩ සිටි සුරිය ගුප්ත මහරහතන් වහන්සේ සමඟ අනුහය දහසක මහරහතන් වහන්සේලා මේ පුණ්‍ය උත්සවයට වැඩම කළ බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි , රජගහ නුවරින් ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේගේ නායකත්වයෙන් යුතුව මහරහතන් වහන්සේලා අසුදහසක ප්‍රමාණයකුත්, වින්ධ්‍යා වනයෙන් උත්තර මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව මහරහතන් වහන්සේලා අසුදහසකුත් වනවාසීභෝග නම් විහාරයේ වැඩ සිටි චන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තවත් මහරහතන් වහන්සේලා අසුදහසක ප්‍රමාණයකුත්, රුවන්වැලි මහා සෑයේ මුල් ගල තබන පුණ්‍ය උත්සවයට වැඩම කළ බව සඳහන් වෙලා තියෙනවා. ඒ වන විට සැවැත්නුවර ජේතවනාරාමයේ නායකත්වය දරමින් වැඩ සිටි පියදස්සී මහරහතන් වහන්සේ සමඟින් මහරහතන් වහන්සේලා හැට දහසක් මේ උතුම් පුණ්‍ය උත්සවයට වැඩම කළා. උදේනි නුවර වැඩ සිටි මහා ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ සමඟින් මහරහතන් වහන්සේලා හතලිස් දහසක් මේ උතුම් පුණ්‍ය උත්සවයට වැඩමකොට තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි දඹදිව කොසඹෑ නුවර ඝෝෂිතරාමයේ වැඩ සිටි ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ සමඟින් තිස් දහසක් පමණ මහරහතන් වහන්සේලාද වර්ථමානයේ ග්‍රීසිය නමින් හදුන්වන අතීතයේ යෝන් රට අලසන්ද්‍රා ප්‍රදේශයේ වැඩ සිටි යෝනක ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ සමඟින් තිස් දහසක් පමණ මහරහතන් වහන්සේලාද, මහාබෝධි මණ්ඩල නම් විහාරයේ වැඩ සිටි චිත්තගුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන කොටගත් මහරහතන් වහන්සේලා තිස් දහසක් පමණ ප්‍රමාණයක්ද මේ මා ස්ථූපයේ මුල්ගල තබන පුණ්‍ය උත්සවයට වැඩම කළා බව සඳහන් වෙලා තියෙනවා.විශාලා මහනුවර වැඩ සිටි බුද්ධරඛිත මහරහතන් වහන්සේ සමඟ මහරහතන් වහන්සේලා දහ අට දහසක් පමණ පිරිසක් සහ බරණැස ඉසිපතන විහාරයේ වැඩසිටි ධම්මසේන මහරහතන් වහන්සේ සමඟ රහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයකුත් වැඩම කළ බව සඳහන් වෙලා තියෙනවා. ඇත්තෙන්ම රුවන්වැලි මහා සෑයට මුල්ගල තබන ඒ උතුම් දිනයේදී මුළු අනුරාධපුර නගරයම මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී යන්නට ඇති . දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට සුදානම් වෙද්දි මේ කාරණය පිළිබඳ එදා ලෝකය පුරාම ආරංචි පැතිරිලා යන්නට ඇති. ඒ ඒ රටවලින් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන පැමිණි සංඝ සන්නිපාතය දිහා බලද්දි පුදුම අභිමානයක් හිතට ඇතිවෙනවා. සෘද්ධි බල සම්පන්න මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කරපු බවයි ථුපවංශයේ සඳහන් වෙලා තියෙන්නෙ.
චෛත්‍යයේ සීමාව ලකුණු කිරීම
එදා දුටුගැමුණු රජතුමා මුළු අනුරාධපුර නගරයේම කොඩි සේසත් නංවලා ඉතාම අලංකාර ලෙස සරසවල පංච තූර්ය නාද සහිතව පෙරහැරින් මේ ස්ථුපය වෙත පැමිණිලා මහරහතන් වහන්සේලාගේ ආශිර්වාද මධ්‍යයේ මංගල සම්මත වු අමාත්‍ය පුත්‍රයෙකු ලවා රිදීයෙන සකස් කරන ලද් විශේෂිත දණ්ඩකින් චෛත්‍යයේ වට ප්‍රමාණය ලකුණු කිරීමට පටන් ගත්තා. එතන වැඩ සිටිය සිද්ධාර්ත නම් මහරහතන් වහන්සේ ඉදිරිපත් වී ඒ ලකුණු කරගෙන ගිය සීමාව වෙනස් කළා.
සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේට මෙවැනි සිතුවිල්ලක් ඉපදුනා. දුටුගැමුණු රජතුමා මේ තරම් විශාල ප්‍රමාණයකින් මේ දාගබ ඉදිකරන්න සුදානම් වුනොත් එහි වැඩ බොහෝ ප්‍රමාණයක් අවසන් කරන්නත් පෙර ඔහු මිය යන්නේය. ඒ විතරක් නෙවෙයි, මෙතරම් විශාල චෛත්‍යයක් අනාගතයේ පරිහරණය කරමින් පවත්වා ගැනීමට පවා නොහැකි වන්නේය. ඒ නිසා මා විසින් අනාගතය දෙස බලා චෛත්‍ය ඉදිවිය යුතු සීමාව පෙන්වා දිය යුතු යැයි සිතා ” රජතුමනි, මා ගියා වු මාර්ගය වටා දාගැබ ඉදිකරන්න ” යැයි පවසා සිද්ධාර්ථ තෙරුන් වහන්සේ චෛත්‍ය ඉදිවිය යුතු සීමාව වටා ගමන් කළ අතර ඒ පසුපසින් පැමිණි අමාත්‍යවරයා ඒ සීමාව ලකුණු කොට චෛත්‍ය ඉදිකළ යුතු සීමාව පිහිටවීය.
චෛත්‍ය සීමාව ලකුණු කිරීමෙන් පසුව දුටුගැමුණු රජතුමා විසින් ඒ ලකුණු කළ සීමාව මත රන් කළ අටක්, රිදී කළ අටක් තිබ්බවා නොයෙක් ආකාරයෙන් අලංකාර ලෙස සරසන ලද පුන්කලස් තබා රන්, ගඩොල් අටක් තබා ඒ වටා රිදීයෙන් සකසන ලද ගඩොල් තබා උත්‍රසල නැකතින් චෛත්‍ය කර්මාන්තය ආරම්භ කරවිය. මේ මහා ස්ථුපය සඳහා මංගල ගඩොල් පොළොව මත පිහිටවනවාත් සමඟම මහපොළොව කම්පාවට පත්විය. ඒ උතුම් පුණ්‍ය කටයුත්ත අවසානයේදී පියදස්සී නම් මහරහතන් වහන්සේ විසින් දුටුගැමුණු රජතුමන් ඇතුලු රැස්ව සිටි පිරිසට ඒ උතුම් පුණ්‍ය භූමිය මතදී දේශනා කරන ලද ධර්මය අසා බොහෝ දෙනෙක් මාර්ගඵ අවබෝධ කළ බව ථුපවංශයෙහි සඳහන්ව ඇත.
මෙලෙස ආරම්භ කරන ලද චෛත්‍ය කර්මාන්තයේ පේශා වලලු තුන ඉදිකිරීම සඳහා ගඩොල් දස කෝටියක් වැය විය. චෛත්‍යය බැදීමට අවශ්‍ය ගඩොල් පවා අනුරාධපුර නගරයට උතුරුදිග ගවු හතරක් පමණ දුර පිහිටි මල්වතු ඔය ආශ්‍රිත මහා වනාන්තරයේ සිට චෛත්‍යය ඉදිකරන භූමිය කරා රැගෙන ආ ආකාරය පිළිබඳවද අසිරිමත් සිදුවිමක් ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ව ඇත.
දෙවියන්ගෙන් ලැබුණු සහය
එනම් චෛත්‍ය කර්මාන්තය ආරම්භ කළ රජතුමා එදින රාත්‍රී සිරි යහනෙහි සැතපී මෙවැනි සිතුවිල්ලක් සිතමින් සිටියේය. මේ මහා චෛත්‍ය ඉදිකිරීම පිණිස අවශ්‍ය ගඩොල් චෛත්‍ය ඉදිවන භූමිය වෙත ගෙන්වා ගන්නේ කෙසේද්? මිනිසුන්ට දුක් නොදී චෛත්‍ය බදින ස්ථානය වෙත ගඩොල් රැගෙන එන්නේ කෙසේදැයි රජතුමාගේ සිතෙහි ඇති වු සිතුවිල්ල දුටු දේවතාවන් දිනෙන් දින චෛත්‍ය ඉදිකිරීමට සෑහෙන ප්‍රමාණයේ ගඩොල් චෛත්‍ය අසලින් ගෙනත් තැබු බවත් මේ සිදුවීම දැක විමතියට පත් වු මිනිසුන් ඒ බව දුටුගැමුණු රජතුමාට දැන්වු බවත් රාත්‍රී කාලයෙහි දේවතාවෝ දේවානුභාවයෙන් චෛත්‍යය අසලට ගඩොල් රැගෙනවිත් තැබු බවත් ථුපවංශයේ සඳහන්ව තිබේ.
ඇත්තෙන්ම රුවන්වැලි මහා සෑය ඉදිකරපු ආකාරය ගැන අධ්‍යයනය කරගෙන යද්දී මේ චෛත්‍ය ඉදිකරන්න දෙවියන් පවා කොයිතරම් උපකාර කළාද කියලා මේ කරුණු අනුව හොඳින්ම පෙනෙනවා. ඊළඟ කාරණය තමයි දුටුගැමුණු රජතුමා මේ චෛත්‍යය ඉදිකරන්න සුදානම් වෙලා රට පුරාම අඬබෙර කරුවන් යවල උළු වඩුවන් පන්සියයක් විතර රැස් කළා. උළු වඩුවන් කියල එදා හඳුන්වල තියෙන්නෙ ගොඩනැගිලි කර්මාන්තයට දක්ෂ ශිල්පීන්ටයි. ඒ ඒ උළු වඩුවන්ව වෙන වෙනම කැඳවල රජතුමාගේ අදහස ඔවුන්ට ඉදිරිපත් කරල මේ චෛත්‍යය ඉදිකළ යුත්තේ කොයි ආකාරයටද කියල ඔවුන්ගෙන් විමසුවා. ඒ එක් එක් ශිල්පීන් තමන් හිතාගෙන ඉන්න ආකාරය රජතුමාට පැහැදිලි කළා. නමුත් ඒ කිසිම සැලසුමක් කෙරෙහි රජතුමාගේ සිතේ පැහැදීමක් ඇතිවුනේ නැහැ. ඒ අතර සිටි එක තරුණ උළු වඩුවෙක් රජතුමාට චෛත්‍ය ඉදිකළ යුතු ආකාරය පැහැදිලි කරද්දි ඒ ඇසු කරුණු අනුව රජතුමා සතුටට පත්වෙලා “දරුව, ඔබ ඔය කියන කාරණා අනුව මේ චෛත්‍යයේ හැඩරුව කොයි වගේද කියල” ඇහුවා.
අන්න ඒ මොහොතේ පුදුම සහගත දෙයක් සිදුවුණා. විශ්මකර්ම දෙවියන් ඒ උළු වඩුවාගේ ශරීරයට ඇතුලු වෙලා රන් තලියක් ගෙන්වාගෙන ඒ රන් තලියට ජලය පුරවා ඊට පස්සේ අතින් ජලය ගෙන ඒ රන් තලියේ පිරුණු තැන් මත ගැසුවා. එතකොටම ලොකු දිය බුබුලක් පැන නැග්ගා. ඒ තරුණ උළු වඩුවා මේ දිය බුබුල රජතුමාට පෙන්වල ” රජතුමනි, මේ දිය බුබුලේ ආකාරයට චෛත්‍යය ඉදිකරමි” කියල පෙන්නුවා.
ඇත්තෙන්ම දිය බුබුල කියල කියන්නෙ ඉක්මනින්ම හටගෙන නැතිවෙලා යන දෙයක්. අනිත්‍යතාවයේ සලකුණක්. බුම්බුලාකාර නමින් හඳුන්වපු මේ දිය බුබුලේ හැඩය දැකල ඉමහත් සතුටට පත්වෙලා ඒ උළු වඩුවාට නොයෙක් තෑගි භෝග, වටිනා වස්තුව පිරිනැමුවා. ඒ හැඩයෙන් චෛත්‍යය ඉදිකරන්න රජතුමා තීරණය කළා.
නව වරක් ගිලා බැසි පේශාව
මේ චෛත්‍යය ඉදිකරගෙන යද්දි නව වතාවක්ම පේශා වළලු තුන පොළොවට ගිලා බැසපු බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඒ කාරණය පවා සිදුවෙලා තියෙන්නෙ මහරහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයන්ට අනුව මේ මහා ස්ථුපය බොහෝ කාලයක් පැවතීම පිණිස චෛත්‍යයේ අත්තිවාරම ශක්තිමත් කිරීමටයි.
මේ කාරණය ගැන සඳහන් වෙන්නෙ මෙන්න මේ ආකාරයටයි. චෛත්‍යයේ පේශා වළලු තුන ඉදිකිරීම පිණිස ගඩොල් දස කෝටියක් පමණ වැය වුනා. මේ මහා ස්ථුපය ඉදිවන පුණ්‍ය භූමියට පැමිණි රජතුමා චෛත්‍යයේ පේශා වළලු තුන බැද අවසන් කොට ඇති ආකාරය දැකල සතුටට පත්වුනා.
පසු දා උදෑසන ම චෛත්‍ය කර්මාන්තය පිණිස පැමිණි වඩුවන් පුදුම සහගත සිදුවීමක් දුටුවා. එනම් ගඩොල් දස කෝටියකින් බැඳ අවසන් කළ පේශා වළලු තුන පොළව මට්ටමටම ගිලා බැස ඇති බවයි. ඔවුන් පුදුමයට පත්වෙලා රජතුමාට මේ බව දැනුම් දුන්නා. දුටුගැමුණු රජතුමා, චෛත්‍යය ඉදිකරන පුණ්‍ය භූමියට පැමිණිලා ඒ සිදුවීම බලා ආයෙමත් පේශා වළලු තුන ඉදිරි කරන්න උපදෙස් දුන්නා. ඒ ගිලා බැසපු පේශා වළලු මත ආයෙමත් ගඩොල් දස කෝටියකින් පේශා වළලු තුනක් ඉදිකළා. දෙවෙනි වතාවට ඉදිකළ පේශා වළලු තුනත් කලින් වතාවේ සේම පොළොව මට්ටමට ගිලා බැස්සා. මේ විදිහට නව වාරයක්ම චෛත්‍යයේ පේශා වළලු තුන පොළොවට ගිලා බැසපු බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා.
නවවෙනි වතාවෙත් චෛත්‍යයේ පේශා වළලු තුන පොළොවට ගිලා බැස්සට පස්සේ රජතුමාට හිතුනා මගේ දුර්වලතාවයක් නිසා ද? මේ චෛත්‍යය පොළොවට ගිලා බසින්නේ කියලා රාජපුරුෂයන් කැඳවල අනුරාධපුර නගරයේ වැඩ සිටි මහා සංඝයා වහන්සේලාට පණිවුඩ යවලා මහරහතන් වහන්සේලා සමඟ වැඩ සිටි භික්ෂූන් අසූ දහසක් දෙනා රැස් කළා.
අසූ දහසක් භික්ෂූන් වහන්සේලා හට සුවඳ මල්, බෙහෙත් පිරිකර ආදී පූජා ද්‍රව්‍යයන් පිළිගන්වා එකත් පසෙක සිට මේ විදිහට කරුණු දැක්වූවා. “ස්වාමිනි මා විසින් ඉදිකරනු ලබන මේ මහා චෛත්‍යයේ පේශා වළලු තුන බැඳ අවසන් වනවාත් සමඟම නව වාරයක්ම පොළොවට ගිලා බැස්සා. එසේ සිදුවන්නේ මගේ ජීවිතයට හෝ මා විසින් ඉදිකරනු ලබන මේ මහා චෛත්‍යයට අන්තරායක් ඇති නිසාද? ඒ පිළිබඳ ඔබ වහන්සේලා මා දැනුවත් කරන සේක්වා” යැයි මහා සංඝයාගෙන් රජතුමා ඉල්ලීමක් කරා.
චෛත්‍යයෙහි අත්තිවාරම ශක්තිමත් කළ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය
මහා සංඝයා විසින් රජතුමාට මේ ආකාරයට කරුණු දැක්වූවා. රජතුමනි, මේ ඉදිකරන චෛත්‍යයට හෝ රජතුමාගේ ජීවිතයට කිසිදු අනතුරක් නැහැ. අනාගතයෙහි අන්‍ය තීර්ථකයන්ගෙන් මේ චෛත්‍යයට සිදුවිය හැකි උපද්‍රවයන් වැළැක්වීම පිණිසත් මේ චෛත්‍යය බොහෝ කාලයක් ස්ථිරව පැවැත්වීම පිණිසත් මෙහි අත්තිවාරම ශක්තිමත් කළ යුතු නිසා සෘර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා විසින් අධිෂ්ඨාන කොට චෛත්‍යයේ පේශා වළලු තුන නව වතාවක්ම ගිලා බැස්වූ බව රජතුමාට දන්වා සිටියා.
මේ සිදුවීම දැනගත් රජතුමා පුදුම සතුටින් මහා සංඝයාට වන්දනා මාන කළා. චෛත්‍යයෙහි අත්තිවාරම අවශ්‍ය ප්‍රමාණයෙන් ශක්තිමත්ව තිබෙන බව සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා රජතුමාට දන්වා යලිත් පොළොවට ගිලා බැස්සවීමක් අවශ්‍ය නැති බවත්, යලි චෛත්‍යය කර්මාන්තය ආරම්භ කරන ලෙසත් උපදෙස් දුන්නා. ඒ අනුව ආයෙමත් වතාවක් ගඩොල් දස කෝටියකින් මේ මහා චෛත්‍යයේ පේශා වළලු තුන ඉදිකළා. මේ සිදුවීම දිහා බලද්දි අපට ඉතාමත්ම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේසා විශාල ස්වර්ණමාලී මහා චෛත්‍යය පිහිටල තියෙන්නෙ මහරහතන් වහන්සේලා විසින් සෘද්ධි බලයෙන් පොළොවට ගිලා බස්සවන ලද ගඩොල් අනු කෝටියක ශක්තිමත් අත්තිවාරමක් මතයි කියල. පේශා වළලු තුන ඉදිකිරීමෙන් පසුව ආරම්භ කළේ ධාතු ගර්භය ඉදිකිරීමයි. අසු රියනක් දිග, අසු රියනක් උස, අසු රියනක් පළල සමචතුරස්‍රාකාර ධාතු ගර්භය තුළ රන්, රිදී, මුතු, මැණික්, පබළු ආදී වටිනා ලෝහා වර්ග, මාණික්‍ය වර්ග භාවිතා කරමින් අති දක්ෂ නිර්මාණකරුවන් ලවා ධාතු ගර්භය සැකසුවා.
ධාතු ගර්භය සැකසුම……
ස්වර්ණමාලී මහා චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි අලංකාරවත් සැකසුම පිළිබඳ ථුපවංශය ආදී ග්‍රන්ථ බොහෝමයකම සිත්ගන්නා සුළු තොරතුරු රාශියක් සඳහන් වෙලා තියෙනවා. දුටුගැමුණු රජතුමා ධාතු ගර්භය මධ්‍යයේ ඉතා අලංකාරවත් වු බෝධීන් වහන්සේ නමක් සත් රුවනින් කරවා ධාතු ගර්භය මධ්‍යයෙහි කරවු ඒ බෝධීන් වහන්සේගේ උස රියන් දහ අටක්, සතර දිශාවටම රියන් දහ අට බැගින් දිග අතු විහිදී ගිය ආකාරයේ ඉතා අලංකාරවත් ලෙස ඒ බෝධීන් වහන්සේ කරවුවා. ඒ බෝධීන් වහන්සේගේ මුල් පබළුමය මාණික්‍යයන්ගෙන්ද, කඳ රිදීයෙන්ද පිටත සිවිය රත්තරනින්ද බෝධීන් වහන්සේගේ බෝ පත්‍ර ඉන්ද්‍ර නීල මාණික්‍යයන්ගෙන්ද අලංකාරවත් කරවා ඒ බෝධීන් වහන්සේගේ මුදුනෙහි සුදු වියනක් බැඳ ඒ වියනෙහි කෙළවර මුත් අමුණා රන් දම්වැල් ඉතා අලංකාරවත් ලෙස එල්ලෙන පරිදි සකස් කරවා මේ ආකාරයෙන් අලංකාරවත් ලෙස සකස් කළ ධාතු ගර්භය මධ්‍යයේ බෝධීන් වහන්සේගේ කඳෙහි මුල මුතු, මැණික් ආදී වටිනා මාණික්‍ය වර්ග අතුරා සුවඳ පැන් පිරවු රන්,රිදී ආදී කළ තබා බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි උස ප්‍රමාණයෙන් යුතුව බුද්ධත්වයට පත්වු ස්වරූපයෙන් වැඩ සිටින බුදු රුවක් කරවුවා.
රුවන්වැලි මහා සෑය වන්දනා කරන ගාථාවේ පවා සඳහන් වෙලා තියෙන්නෙ ධාතු ගර්භය මැද වැඩ සිටින ඒ බුදුරුව පිළිබඳවයි. කොයිතරම් වටිනා ආකාරයකට ඒ බුදුරුව නිර්මාණය කොට ඇද්දැයි කිවහොත් ඒ බුදුරුවහි ශ්‍රී හස්ථයන්ගේ පිහිටි නියපොතුද, ශ්‍රී පාදයන්ගේ පිහිටි නියපොතුද, ඇසෙහි සුදු පැහැති තැන්ද ජාතිස්ඵටික මාණික්‍යයන්ගෙන් කරවා සිරිපතුලෙහි රත් පැහැති තැන්ද, තොල් සඟලද, ඇසෙහි රත් පැහැති තැන්ද පබළු මාණික්‍යයන්ගෙන් කරවුවා.
ඒ විතරක් නොවෙයි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හිස මුදුනෙහි පිහිටි කෙස්ද, ඇහි බැම තුළ පිහිටි රෝම කූපයන්ද ආදී තැන් ඉන්ද්‍රනීල මාණික්‍යයන්ගෙන් කරවා ඒ බුද්ධ ප්‍රතිමාවෙහි නළල මැද පිහිටි ඌර්ණ රෝම ධාතු රිදීයෙන් කරවා ඇති බවත් එම බුද්ධ ප්‍රතිමා වහන්සේට රිදී කුඩයක් දරා සිටින සහම්පති මහා බ්‍රහ්මයාගේ රුවක්ද කරවා ඇති බවත් සඳහන්ව තිබේ. මීට අමතරව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුන මොහොතේදී දෙවියන් බොහෝ දෙව්ලොව දෙවියන් පිරිවරාගෙන ජයතුරාසක පිඹ පිඹා සතුටුවුන ආකාරයද, පංචසික දෙවියන් බෙලුව පණ්ඩු නම් වීනාව වාදනය කරමින් සතුටින් තූර්ය නාද කළ ආකාරයද, නොයෙක් නාගයන් නාග මානවිකාවන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේට ස්තුති ඝෝෂා කළ මහකෙළ නම් නාග රාජයාද, දහසක් අත් මවා නොයෙකුත් ආයුධ ගෙන ගිරිමේඛලා නම් ඇතු පිට හිඳ දස බිම්බරක් සෙනඟ සමඟ පැමිණි වසවත්ති මාරයා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුන පසුව පැරදී පලායන ආකාරයද, ඉතා අලංකාරවත් ලෙස ධාතු ගර්භය තුළ සකස් කරවුවා.
මීට අමතරව ධාතු ගර්භය තුළ නොයෙක් මැණික් ඔබ්බවා සකස් කරන ලද රිදී යහනක් කරවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී සත් සතිය ගත කළ ආකාරය එනම් අනිමිසලෝචන පුජාව සිදුකළ ආකාරය, රුවන් සක්මනේ ගමන් කළ ආකාරය, රුවන් ගෙය තුළ වැඩ සිටිමින් අභිධර්මය මෙනෙහි කළ ආකාරය, අජපාල නුගරුක මුල වැඩ සිටි ආකාරය, මුචලින්ද නාග දරණයෙහි සිටි ආකාරය, මුචලින්ද නාග දරණයෙහි වැඩ සිටි ආකාරය, අජපාල කිරිපලු රුක මුල වැඩ සිටියදී තපස්සු භල්ලුක වෙළඳ සොහොයුරන් විලඳ මීපිඬු සහිත දන් පුජා කළ ආකාරය, ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ආකාරයද රනින් කරවුවා.
මේ ආකාරයට බුද්ධ චරිතයෙහි විශේෂිත සිදුවීම් රැසක් රන්, රිදී, මුතු, මැණික් ආදී ද්‍රව්‍ය වලින් කරවා ඇති බව රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය ගැන සඳහන්වන තැන ථුපවංශය ආදී ග්‍රන්ථවල සඳහන්ව ඇත. තවද පස්වග භික්ෂුන්හට දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළ ආකාරය, යසකුල පුත්‍රයා ඇතුලු පනස්පස් දෙනෙකුගේ මහණ වීම, භද්ද වග්ගිය කුමාරවරුන් තිස් දෙනාගේ මහණ වීම, උරුවෙල් කාශ්‍යප ආදී තුන් බෑ ජටිලයන් දහසක් තාපසවරුන්ගේ මහණ වීම, බිම්බිසාර රජතුමන්හට ධර්මය දේශනා කිරීම, වේළුවනාරාමය සඟ සතුකොට පුජා කිරීම, අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාද, අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාද පන්සියක් මහරහතන් වහන්සේලාද පිරිවරා වැඩ සිටින ආකාරයද ධාතු ගර්භයෙහි සත් රුවනින් නිමවා ඇති බව සඳහන්ව තිබේ.
ඊට අමතරව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කළ ආකාරයද, ශාක්‍යවංශික ඥාතින්ගේ මානය දුරු කළ ආකාරයද, බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක සුද්ධෝදන රජතුමන් වන්දනා කරමින් සිටින ආකාරයද, රාහුල කුමරුන්ගේ මහණ කිරීමද, නන්ද කුමරුන්ගේ මහණ වීමද, ජේතවන උයන සඟ සතුකොට පිළිගැන්වීමද, ගන්ධබ්බ නම් රුක්ඛ මූලය අසල යමක මහා ප්‍රාතිහාර්යය පෑ ආකාරයද, තව්තිසා ඩෙව්ලොවට වැඩම කොට අභිධර්මය දේශනා කළ ආකාරයද, දේවෝරෝහණ නම් ප්‍රාතිහාර්යය සිදුකරමින් සංකස්ස පුණ්‍ය භූමියට වැඩම කළ ආකාරයද, ධාතු ගර්භය තුල සත් රුවණින් සකස් කර ඇති බව සඳහන් වේ.
එපමණක් නොව ආලවක ධමනය, අංගුලිමාල ධමනය, බකබ්‍රහ්ම ධමනය, සච්චක ධමනය, මහා සමය සුත්‍රය, රාහුලෝවාද සුත්‍රය, මංගල සුත්‍රය ආදි සුත්‍ර දේශණාවන් දේශණා කළ ආකාරයද, සත් රුවණින් යුතුව ධාතු ගර්භය තුල කරවා ඇති බවත් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැර පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කළ ආකාරයත්, සුඛර මද්දව සහිත අවසන් දානය පිලිගත් ආකාරයත්, අවසන් වරට පැන් වැළඳු ආකාරයත් කුසිනාරානුවර සාල වනෝද්‍යානයේදී සල් ගස් දෙකක් අතර උතුරට හිස ලා පිරිනිවන් පෑ ආකාරයත්, ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් ආකාරය ආදී බොහෝ සිදුවීම් සත් රුවණින් කරවා ධාතු ගර්භය වටා අලංකාරවත් ලෙස සකස් කළ බවත්, පන්සිය පණස් ජාතක සිදුවීම්වල වෙස්සන්තර ජාතකය ආදී විශේෂිත ජාතකයන් පිළිඳවද සත් රුවණින් කරවා ඇති බවත් සඳහන්ය.
ඇත්තෙන්ම ධාතු ගර්භය පිළිඳව සඳහන් වෙන මේ තොරතුරු සිහිකරද්දී ස්වර්ණමාලී මහා චෛත්‍යයේ ධාතු ගර්භය කොයිතරම් අලංකාරවත්ද කියලා කෙනෙකුට සිතේ මවා ගන්න පුලුවන්. අසූ රියනක් දිග, උස සහ පළලින් යුතු සමචතුරස්‍රාකාර විශාල ධාතු ගර්භයක් තුල බුද්ධ චරිතයේහි සෑම සිදුවීමක්ම රන්, රිදී, මුතු, මැණික් ආදී මාණික්‍යයන්ගෙන් යුතුව සත් රුවණින් කරවා දුටුගැමුණු රජතුමා විසින් කොයිතරම් අලංකාරවත් ලෙස උපදෙස් දෙමින් සකස් කර ඇද්ද යන්න මේ තොරතුරු වලින් මනාව පැහැදිලි වෙනවා. මීට අමතරව ධාතු ගර්භය තුළ තිස් දෙකක් වූ දිව්‍ය පුත්‍රයන්ද, ලියවැට පහන් ගෙන සිටින දිව්‍යාංගනාවන්ද, අටවිසි යක්ෂ සේණාධිපතිවරුන්ද, දොහොත් මුදුන් තබා වදනා කරගෙන සිටින දෙවියන්දරන්ද, මල් රන් කළ ගෙන සිටින දෙවියන්ද, නටන දේවතාවන්ද, බෙර ගසන දේවතාවන්ද, හිරු මඬළ, සඳ මඬළ ගෙන සිටින දේවතාවන්ද, රන් පියුම්, රිදී පියුම් ගෙන සිටින දේවතාවන්ද, මුතු කුඩ දරා සිටින දේවතාවන්ද, පහන්, පාත්‍ර, සුවඳ මල් හිස දරා සිටින දේවතාවන්ද ආදී සියල්ලම දුටුගැමුණු රජතුමා විසින් ධාතු ගර්භය තුළ සත් රුවණින් කරවා ඇති බවත් සඳහන්ය. මේ ආකාරයට අලංකාරවත් ලෙස සැකසු ධාඅතු ගර්භයේහි සතර කොන මහත් විශාල ප්‍රමාණයෙන් යුතු මැණික් ගල සතරක් තබවා ඒ වටා රන්, රිදී, මුතු, මැණික්, පබලු, වීදුරු යන වටිනා මණික්‍ය වර්ග වෙන වෙනම තබා නොයෙකුත් පූජා භාණ්ඩ තැන්පත් කළ බව සඳහන්ය.
රහතන් වහන්සේලාහට පැවරුණු සර්වඥ ධාතු රැගෙන ඒමේ කාර්යය
මේ ආකාරයට අලංකාරවත් ලෙස සකස් කරනු ලැබු ධාතු ගර්භයෙහි නිර්මාණ කටයුතු අවසන් කළ දුටුගැමුණු රජතුමා මහා විහාරයට ගොස් මහා සංඝයාහට ඒ බව දැන්වීම පිණිස මහා සංඝයාට රැස්වන ලෙස ආරාධනා කරවීය. දුටුගැමුණු රජතුමාගේ ඒ ආරාධනය මත මහරහතන් වහන්සේලාද සමඟ තිස් දහසක් භික්ෂුන් වහන්සේලා රැස්වුහ.
මහා සංඝයාහට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් වන්දනා මාන කළ දුටුගැමුණු රජතුමා ” ස්වාමිනී, මම ධාතු ගර්භයෙහි කළයුතු සියල්ල නිර්මාණය කොට අවසන් වුයෙමි. හෙට ඇසළ මස මැදින් පුන් පොහෝ දිනයෙහි උත්‍රසළ නැකතින් ධාතුන් වහන්සේලා තැම්පත් කිරීම පිණිස සියළු කටයුතු සුදානම්ය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ඇති තැනකින් ගෙන එනු මැනව” යැයි මහා සංඝයාහට භාරකොට දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුර නගරය කොඩි සේසත් නංවා සැරසීම් ආදී කටයුතු සුදානම් කරවීය.
හෙට දවසෙහි ධාතූ නිධන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා ගෙන ඒමට සමත් සෘද්ධි බල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් සොයාගැනීම පිණිස මහා සංඝයා රැස් වී ඒ පිළිබඳ සාකච්ඡා කොට දහසය හැවිරිදි වයසින් යුතුව වැඩ සිටි සෝනුත්තර නම් සාමණේර මහරහතන් වහන්සේගේ සෘද්ධිමය හැකියාව දුටු භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ කැඳවා “සෝනුත්තර සාමණේර හිමියනි, දුටුගැමුණු රජතුමා ධාතූ ගර්භයෙහි කටයුතු අවසන් කරවා ධාතුන් වහන්සේලා රැගෙන ඒම පිණිස මහා සංඝයාහට භාර කළේය. ඒ නිසා ධාතූන් වහන්සේලා රැගෙන ඒම මහා සංඝයා විසින් ඔබ වහන්සේට පවරන්නේය” යැයි පවසා මහරහතන් වහන්සේලා විසින් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තර සහිතව බුද්ධ අධිෂ්ඨානයන් පිළිබඳවද රුවන්වැලි සෑයේ පිහිටන සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන් කැඳවා කළ විස්තරයද දිවැසින් බලා සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේහට උපදෙස් ලබා දී ධාතූන් වහන්සේලා රැගෙන ඒම භාර කළහ.
රුවන්වැලි මහා සෑයට උරුම වු ද්‍රෝණයක් සර්වඥ ධාතු
බුදුරජාණන් වහන්සේ එදා කුසිනාරා නුවර මළ්ල රජදරුවන්ගේ උපවර්ථන නම් සාළ වනෝද්‍යානයේදී සල් ගස් දෙකක් අතර උතුරට හිස ලා සිංහ සෙයියාවෙන් සිට සක්‍ර දෙවියන් කැඳවා මෙවැනි විස්තරයක් කළා. “සක් දෙවිඳුනි, මාගේ පිරිනිවන් පෑමෙන් පසුව ද්‍රෝණ අටක් පමණ වන ධාතුන් වහන්සේලා අතරින් එක් ද්‍රෝණයක් කෝලිය රජදරුවන් විසින් මහත් ගෞරවයෙන් යුතුව පුද පුජා පවත්වනු ලබයි.
ඒ ධාතු ද්‍රෝණය අනාගතයෙහි ලංකාද්වීපයෙහි ඉදිවන රුවන්වැලි නම් දාගැබක් තුළ පිහිටන්නේය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් බුදු මුවින්ම සක්‍ර දෙවියන්හට දේශනා කළ බව ථුපවංශය ආදී ග්‍රන්ථ ගණනාවකම සඳහන් වෙලා තියෙනවා. එදා කුසිනාරා නුවර සාළ වනෝද්‍යානයේදී සර්වඥ ධාතුන් වහන්සේලා විසිරී පවතීවා යැයි අධිෂ්ඨාන කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාල පසු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිඳු කපු පුළුන් පටල පන්සියයකින්ද, සිනිඳු සළු පන්සියයකින්ද ඔතා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුළ තැන්පත් කොට සක්විති රජ කෙනෙකුගේ ශරීරයක් ආදාහනය කරන පරිද්දෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළා.
ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව රන් දෙන විවර කළ විට බුද්ධ අධිෂ්ඨානය මත බිඳී විසිරි ගිය සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් මැදිහත් වී ධාතුන් වහන්සේලා ලබාගැනීම පිණිස පැමිණි රජවරුන් අට දෙනෙකු හට එක් ද්‍රෝණය බැගින් සමසේ බෙදාදුන්නා. රාමග්‍රාම නගරයෙන් පැමිණි කෝලිය රජ දරුවන්ට ලබාදුන් සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණය රන් කරඬුවක තැන්පත් කොට ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව රැගෙන ගොස් තම රාජ්‍යයෙහි ගංඟා නම් ගඟ අසල ගං ඉවුරෙහි රමණිය භූමියක චෛත්‍යයක් ඉදිකොට ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණය එහි තැන්පත් කළා.
නාග ලෝකයට ගිය සර්වඥ ධාතු කරඬුව
වසර ගණනාවක් කෝලිය රජ දරුවන් විසින් තම රාජ්‍යයෙහි ඉදිකළ මේ චෛත්‍යයට වන්දනා මාන කරමින් සිටි අතර මහා ගං වතුරකින් ගං ඉවුරෙහි ඉඳිකොට තිබු චෛත්‍යය බිඳී ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් රන් කරඬුව ගංඟා නම් ගඟ දිගේ ගසාගෙන ගොස් මහා සාගරයට පැමිණියා. මහා සාගරය තුළ රන්වන් පාටට දිලිසෙමින් රෂ්මි ධාරාවන් විහිදෙමින් පාවෙන ඒ කරඬුව දුටු මාංජෙරික නම් නාග භවනෙහි නාගයන් ඒ ධාතු කරඬුව පිළිබඳව මහාකෙළ නම් නාග රජ්ජුරුවන්ව දැනුවත් කළා.
ඒ පිළිබඳ අසා සතුටට පත් මහාකෙළ නම් නා රජු නාග භවනෙහි සිටි නාගයන් පිරිවරා ගොස් මහත් සේ පුද සත්කාර කොට නා රජුගේ හිසෙහි තබාගෙන ගොස් සත් රුවනින් දාගැබක් කරවා නාග ලෝකය තුළ ඉදිකළ එම දාගැබෙහි ධාතු කරඬුව තැන්පත් කළා.
නාගයන් විසින් මහා සාගරය තුළ තිබෙන වටිනා මුතු මැණික්, පබළු ආදී ඉන්ද්‍ර නීල මාණික්‍යයන්ගෙන් ඒ චෛත්‍යය අලංකාරවත් කොට ඉමහත් ශ්‍රද්ධා ගෞරවයකින් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලාට බොහෝ කාලයක් පුද පුජාවන් පැවැත්තුවා. රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීම පිණිස රැගෙන පැමිණියේ මාංජරික නම් නාග භවනෙහි නාගයන් විසින් ගෙන ගිය ඒ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාව කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනාවෙන් පසු අනාගතයෙහි අන්‍ය තීර්ථකයන්ගෙන් ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයන්ට හානි සිදුවන බව දැක ඊට පෙර අජාසත්ත රජතුමා ලවා ඒ ඒ රජවරුන්ට බෙදා දුන් ද්‍රෝණ අටෙන් රාමග්‍රාම නගරයේ කෝලිය රජදරුවන්ට ලබාදුන් ධාතුන් වහන්සේලා ද්‍රෝණය හැර අනෙක් රජදරුවන්ට ලබාදුන් ද්‍රෝණ හතම යලි ගෙන පොළව තුළ ධාතු නිධානයක් සිදුකළා.
අන්න ඒ අවස්ථාවේදී අජාසත්ත රජතුමා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් විමසුවා ” ස්වාමීනී, රාමග්‍රාම නගරයෙහි කෝලිය රජදරුවන්ට ලබාදුන් ධාතුන් වහන්සේලා ද්‍රෝණය නොගෙනෙන්නෙ කුමක් නිසාද? ” කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතය දෙස බලා රජතුමාව දැනුවත් කලා රජතුමනි, රාමග්‍රාමයෙහි කෝලිය රජදරුවන්ට ලබාදුන් ධාතුන් වහන්සේලාට අන්‍ය තීර්ථකයන්ගෙන් අනතුරක් වන්නෙ නැත. ඒ ධාතු ද්‍රෝණය අනාගතයෙහි ලංකාද්වීපයෙහි රුවන්වැලි නම් දාගැබක පිහිටන්නෙ ” යැයි වදාළා.
ඒ විතරක් නෙවෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත්ත රජතුමන් සමඟ එක් වී කළ ධාතු නිධානය එයින් අවුරුදු දෙසිය හතලිස් ගණනකට පසුව පහළවුන ධර්මාශෝක රජතුමා විසින් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පිට අසුහාර දහසක් වෙහෙර විහාර කරවා එහි ධාතු තැන්පත් කිරීම පිණිස පොළොවෙහි තැන්පත් ධාතුන් වහන්සේලා දෙවියන්ගේද උපකාර පරිදි ඉදිකළ වාලසංඝටක යන්ත්‍රය ක්‍රියා විරහිත කරවා අඟුලු හැර එය විවර කර බැලුවා. එවිට ද්‍රෝණ හතක් පමණක් ධාතුන් වහන්සේලා ඇති බව දැක මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇතුලු මහරහතන් වහන්සේලාගෙන් මෙසේ විමසුවා.” බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් තිබිය යුතුයි නේද? ස්වාමීනි අනෙක් ද්‍රෝණය කොහේද කියලා.
එවිට සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා විසින් ධර්මාශෝක රජතුමාව දැනුවත් කළා ” රජතුමනි, කෝලිය රජදරුවන් ධාතුන් වහන්සේලා තැන්පත් කොට බැදි චෛත්‍යය මහා ගංවතුරකින් බිඳී ධාතු කරඬුව ගසාගෙන ගොස් මහා සාගරයට පැමිණි විට එය දුටු මාංජෙරික නම් නාග භවනෙහි නාගයන් මහකෙළ නම් නා රජු සමඟ පැමිණ ඒ ධාතු කරඬුව ගෙන ගොස් නාග භවනෙහි තැන්පත් කොට පුද පුජාවන් පවත්වනවා යැයි රජතුමාව දැනුවත් කළා.
එය ඇසු ධර්මාශෝක රජතුමා මහරහතන් වහන්සේලාට වන්දනා කොට “ස්වාමීනි, නාග භවන දක්වාම මගේ රාජ ආඥාව පවතිනව නාග ලෝකයේ තිබෙන ඒ ධාතුන් වහන්සේලාව මම ගෙන්වා ගන්නම්” කියල සංඝයාගෙන් අවසර ඉල්ලුවා. එවිට මහරහතන් වහන්සේලා රජතුමනි, නාග ලෝකයෙහි තිබෙන ඒ ධාතුන් වහන්සේලා අනාගතයෙහි ලංකාද්වීපයෙහි පහළවන දුටුගැමුණු නම් රජකෙනෙක් රුවන්වැලි නමින් දාගැබක් ඉදිකොට ඒ ධාතුන් වහන්සේලා ඒ දාගැබෙහි පිහිටවනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර ඒ බව දේශනා කළා. එම නිසා නාග ලෝකයෙහි තිබෙන ඒ ධාතු ද්‍රෝණය ගෙන ඒම නොකළ යුතුයැයි රජතුමාව දැනුවත් කළා. රාමග්‍රාම නගරයෙහි කෝලිය රජදරුවන්ට ලැබුන ද්‍රෝණය පිළිබඳව ඒ සියලු විස්තර අනුරාධපුර මහා විහාරයෙහි වැඩ සිටි මහරහතන් වහන්සේලා විසින් සෝනුත්තර නම් සෘද්ධිබල සම්පන්න සාමණේර මහරහතන් වහන්සේට පවසා සෝනුත්තරයනි, නුඹ වහන්සේ මාංජෙරික නම් නාග භවනට ගොස් මහකෙළ නම් නා රජුන් හමු වී මේ කරුණු පවසා හෙට දවසේ දුටුගැමුණු රජතුමා විසින් සිදුකිරීමට සුදානම් කළ ධාතු නිධානය සඳහා නාග ලෝකයෙහි තිබෙන ධාතුන් වහන්සේලා රැගෙන එන්න යැයි පැවරුවා.
ධාතු නිධානය වෙනුවෙන් නගරය සැරසීම
දුටුගැමුණු රජතුමා නගරයට ගොස් අඬබෙරකරුවන් රැස්කරවා “නුඹලා ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා ගොස් අඬබෙර ගසා හෙට දවසේ දුටුගැමුණු මහ රජතුමන් ඉදිකළ දාගැබෙහි ධාතු නිධානය සිදුවන්නේය. පිරිසිදු වස්ත්‍රාභරණයෙන් සැරසී සුවඳ මල් ආදිය රැගෙන දාගැබ් මලුවට රැස්වන්න යැයි මිනිසුන්ව දැනුවත් කරන මෙන් පවසා බෙරකරුවන් පිටත්කර යැව්වා.
රාජ අණින් යුතු අනුරාධපුර නගරය කොඩි සේසත් නංවා පාරවල් මත සුදු වැලි අතුරා අලංකාරවත් ලෙස සැරසුවා. සක්‍ර දෙවියන්ද, විශ්මකර්ම දෙවියන් කැඳවා මෙසේ නියෝග කළ. “හෙට දවසේ දුටුගැමුණු රජතුමන් විසින් ලංකාද්වීපය තුළ ඉදිකරනු ලබන මහා දාගැබෙහි ධාතු නිධානය සිදුවෙයි. නුඹ ගොස් සියලු ලංකාද්වීපයම විශේෂ කොට සරසවයි” දේව සම්මතයෙන් යුතුව නියෝග කළා. ඇත්තෙන්ම සක්‍ර දෙවියන්ගේ අණසක පරිදි විශ්මකර්ම දෙවියන් විසින් මුලු ලංකාද්වීපයම සැරසු ආකාරය හරිම රමණීයයි. ඒ පිළිබඳව ඉතාමත්ම ලස්සන විස්තරයක් සඳහන් වෙනවා. හැබැයි දෙවියන් විසින් කරපු මේ සැරසීම සාමාන්‍ය මනුෂ්‍යයන්ට පෙනෙන ආකාරයේ සැරසීමක් නොවෙයි. ධාතු නිධානෝත්ස්වයට පැමිණෙන දෙවියන් බ්‍රහ්මයන් ආදි අහසෙහි පිරී ඉතිරියන ඔවුනොවුන්ට පෙනෙන ආකාරයේ සැරසීමක් තමයි දෙවියන් කළේ.
විශ්මකර්ම දෙවියන් මුලු ලංකාද්වීපයෙහිම වල ගොඩැලි පර්වත ආදී සියල්ල අතුරුදහන් කරවා බෙර ඇසක් සේ සමසේ පෙනෙන ආකාරයට සලස්වා රිදී පාටින් යුතු සුදු වැලි අතුරවා පස් පියුමෙන් සරසා මුලු ලංකාද්වීපයම වටකොට තිරයක් ඇඳ තිබෙන ආකාරයෙනුත් සලස්වා සුධර්මා දිව්‍ය සභාව සේ අලංකාරවත් ලෙස සැරසුවා.
මහ මුහුදෙහි රළ සිඳී එකම මට්ටමෙහි ජලය නිසොල්මන්ව තිබෙන ආකාරය දක්වා ලංකාද්වීපය වටා මුහුදෙහි පස් පියුම් හටගෙන පිපී ඇති ආකාරය පෙනෙන්නට සැලසුවා. හැබැයි දෙවියන් විසින් කරන ලද මේ සැරසිලි සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට සෘද්ධියෙන් දකින්න පුලුවන් දෙවියන් බ්‍රහ්මයන්ට අහසෙහි සිට බලන විට මුලු ලංකාවම පෙනෙන්නෙ එවැනි ආකාරයටයි. නමුත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට පියවි ඇසින් ඒ සැරසිලි දකින්න බැහැ. සාමාන්‍ය මනුෂ්‍යයන් දකින්නෙ රාජ අණින් යුතුව සරසවන ලද මිනිසුන් කළ නගර සැරසිලි පමණයි.
රජතුමන් සිදුකළ නගර සැරසිලි
ධාතුන් වහන්සේලා නිධන් කරන ඒ උතුම් පුණ්‍යෝත්සවය වෙනුවෙන් දුටුගැමුණු රජතුමන් රාජ නියෝගයෙන් සිදුකළ සැරසිලි පවා ඉතා අලංකාරවත් ලෙස සිදුවුන බව සඳහන් වෙලා තියෙනවා. නුවරවැසියන් ලවා කුණු කසල ඉවත්කරවා සුදු වැලි අතුරවා නොයෙක් ආකාර වර්ණයෙන් දිලිසෙන ධජ, පතාක නංවා මඟ දෙපස පුන්කලස් තබා කෙහෙල් තොරණ්, මල් තොරණ්, පිළී තොරණ්, ආදී නොයෙක් වර්ණවත් සැරසිලි තොරණ් ඉදිකරවා ධාතු නිධානොත්සවයට රැස්වන නගරවාසී දුප්පත් මිනිසුන්හට රිසි සේ අනුභව කිරීම පිණිස නොයෙක් ආහාර වර්ග, කැවුම්, මී පැණි, උක් පැණි, කෙසෙල් වර්ග ආදී ආහාරපාන වර්ග, සුවඳ කැවිලි වර්ග, බුලත් පුවක් ආදී සෑම දෙයක්ම නගරයට ඇතුලුවන සතරවාහල් දොරටු අසල තැබීමට සැලැස්සුවා.
පසුදින උදෑසනින්ම අවදිවුන දුටුගැමුණු රජතුමා සුවඳ පැන් කළ දාසයකින් නා රන් පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී අශ්වයන් හතර දෙනෙකු යොදා සරසන ලද අශ්ව රථයක නැගී ඒ රථයට ඉදිරියෙන් සරසන ලද කඩොල් ඇතු පෙරටු කොට රන් කරඬුවක් කඩොල් ඇතුගේ හිස මත පිහිටුවා ඊට ඉහළින් මුතු කුඩයක් සේ අලංකාරවත් ධවල ඡත්‍රයත් පිහිටුවා මනාලෙස වස්ත්‍රාභරණයෙන් සරසවන ලද දහසය දහසක් පමණ කාන්තාවන්, බිසෝවරුන් පිරිවරා පෙරහැරින් මාළිගාවේ සිට නගරයට නික්මුනා.
අලංකාරවත් ඒ පෙරහැරෙහි දුටුගැමුණු රජතුමන්ට මහා ශක්තියක් වු දස මහා යෝධයන් සමඟ එකොළොස් දහස් එකසියයක් පමණ ශක්ති සම්පන්න සිව්රඟ සේනාවත්, රාජරාජ මහාමාත්‍යවරුනුත්, දුටුගැමුණු රජතුමන් පෙරටු කොට නික්මුනා. ඒ පසුපසින් නොයෙක් මල්, දඬුවැට පහන්, පංච වර්ණයන්ගෙන් යුතු ධජ පතාකයන් රැගත් පිරිසද, පංචතූර්ය නාද සහිතව පෙරහැරෙහි ගමන් කළා.
ධාතු ගෙන ඒමට නාග ලෝකයට වැඩම කළ සෘද්ධිමත් ගමන
පිරිවෙනෙහි වැඩ සිටි සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ දුටුගැමුණු රජතුමා පෙරහැරෙන් නික්මුන ශබ්ද ඝෝෂාව අසා ධාතුන් වහන්සේලා නාග ලෝකයෙන් රැගෙන ඒම පිණිස අවසර ලැබු අභිඤ්ඤාපාදක කොට හතරවැනි ධ්‍යානයට සමවැදී දියකාවෙකු දිය කිමිද යන්නා සේ මහ පොළව පලාගෙන පොළොවෙහි කිමිද ගොස් මාංජරික නම් නාග භවනෙහි මහ කෙළ නම් නාග රජ්ජුරුවන් ඉදිරියේ පෙනී සිටියා.
මහ කෙළ නම් නාග රජ්ජුරුවන් සාමණේර මහරහතන් වහන්සේව දැක වාඩි වී සිටි ආසනයෙන් නැගී සාමණේර රහතන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කොට සුවඳ පැන්වලින් පා සෝදවා ස්වාමිනී, කොහේ සිටන් අපගේ නාග භවනට වැඩම කළේදැයි විමසුවා” “නා රජතුමනි, ලංකාද්වීපයෙහි සිට මෙහි පැමිණියෙමි යැයි සෝනුත්තර සාමණේරයන් වහන්සේ නාග රජ්ජුරුවන්ට පවසා ලක්දිව රජකම්
කරන දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්වැලි නම් දාගැබක් කරවා ධාතු නිධානය කිරීමට සුදානම්ව සිටින බවත් ඒ සඳහා ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ කාර්යය මහා සංඝයා හට පැවරූ බවත් , අනුරාධපුර මහා විහාරයෙහි වැඩ සිටි තිස් දහසක් පමණ භික්ෂුන් වහන්සේලාගේ අවසරය පිට රුවන්වැලි දාගැබ් වහන්සේ තුළ තැන්පත් කිරීම පිණිස මහ කෙළ නම් නා රජුන් සමීපයෙහි තිබෙන ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා රැගෙන යාමට පැමිණි බවත්” සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ විසින් නා රජ්ජුරුවන්ට සිහිපත් කළා. සෝනුත්තර සාමණේරයන් වහන්සේගේ පැමිණීමේ හේතුව අසා සිටි මහ කෙළ නම් නා රජුන් ඉමහත් ශෝකයට පත්වුනා.
අපි ධාතුන් වහන්සේලාට පුද සත්කාර කොට මේ දුගතියෙන් මිදී දිව්‍ය සැප සම්පත් අනුභව කිරීමේ අදහසින් පුද පුජාවන් සිදුකරනවා. සෝනුත්තර සාමණේරයන් වහන්සේ මහා සෘද්ධිබල සම්පන්නයි. මේ ධාතුන් වහන්සේලා රැගෙන ගියොත් අපට ඒ අවස්ථාව අහිමි වෙනව නේද කියල සිතමින් දුකට පත්වුනා.
නා රජු ධාතු සැඟවීම…..
ධාතුන් වහන්සේලා ලබා නොදීමට උපක්‍රමයක් කල්පනා කළ මහ කෙළ නම් නා රජුන් ඒ අසල සිටි වාසුලදත්ත නම් තම බෑණාවන නාගයෙකුට ධාතු කරඬුව රැගෙන සැඟවෙන ලෙස සංඥාවක් කළා. ඒ සංඥාව වටහාගත් වාසුලදත්ත නම් නාගයාධාතු කරඬුව ගෙන මහා මේරූ පර්වතය පාමුලට ගොස් විශාල නාග වේශයක් මවාගෙන ධාතු කරඬුව සඟවාගෙන සිටියා. මහ කෙළ නම් නාග රාජයා තම බෑණාවන වාසුලදත්ත නාගයා විසින් ධාතුන් වහන්සේලා සඟවා ඇති බව දැන සාමණේර මහරහතන් වහන්සේව රවටන අදහසින් ” ස්වාමීනි, මා ළඟ ධාතුන් වහන්සේලා නැහැ. ඔබ වහන්සේ මේ නාග භවනෙහි ධාතුන් වහන්සේලා සෙවිමෙන් ප්‍රයෝජනයක් නැහැ.
ඒ බව ආපසු ගොස් මහා සංඝයාට දන්වා වෙනත් තැනකින් ධාතුන් වහන්සේලාව ලබාගෙන ධාතු නිධානය සිදුකරන්න යැයි පැවසුවා. එවිට සෝනුත්තර නම් සාමණේර මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා විසින් තමාට පැවරූ ආකාරයෙන්ම කෝලිය රජදරුවන්ට ලැබුණු ධාතුන් වහන්සේලා නාග ලෝකයට පැමිණි ආකාරයත්, නාග ලෝකයෙහි තිබෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණය රුවන්වැලි මහා සෑයෙහි පිහිටවන බව පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ පවා සක්‍ර දෙවියන් කැඳවා දේශනා කළ ආකාරයත් කරුණු ගෙනහැර නා රජ්ජුරුවන්ට දක්වා ඉක්මනින්ම ” ධාතුන් වහන්සේලාව ලබාදෙන්න යැයි නා රජ්ජුරුවන්ගෙන් ඉල්ලීමක් කළා.”
එය අසා සිටි මහකෙළ නම් නා රජුන් තවත් උපායක් කල්පනා කොට ධාතුන් වහන්සේලා සහිත කරඬුව තැන්පත් කොට තිබු ස්ථානයට කැඳවා සෝනුත්තර සාමණේරයිනි, ධාතුන් වහන්සේලා තිබු සත්රුවන්මය දාගැබ මෙයයි. නමුත් එහි ධාතුන් වහන්සේලා නැත. මම ඔබ වහන්සේට ධාතුන් වහන්සේලා ලබාදෙන්නෙ කෙසේදැයි දෙවැනි වතාවෙත් නා රජුන් සෝනුත්තර සාමණේරයන් වහන්සේට පැවසුවා. සාමණේර මහරහතන් වහන්සේ තුන්වෙනි වතාවෙත් නාග රජ්ජුරුවන්ට කරුණු දක්වා “දුටුගැමුණු මහරජතුමන් අද ධාතු නිධානය සිදුකරනව ඒ පිණිස සියල්ල සංවිධානය කොට අවසානයි. ඒ නිසා වහාම ධාතුන් වහන්සේලා ලබාදෙන්න ” යැයි ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී මහකෙළ නම් නා රජුන් සාමණේරයන් වහන්සේට මෙසේ පැවසුවා. “ස්වාමීනී, ඔබ වහන්සේ මා දාගැබෙහි ධාතුන් වහන්සේලා නොමැති බව හොඳින්ම දුටුවා.
එසේ දැක දැකත් ධාතුන් වහන්සේලා ලබාදෙන්න යැයි නැවත නැවතත් ඉල්ලනව. ඔබ වහන්සේ මා යටතේ ධාතුන් වහන්සේලා තිබෙනු දුටුවා නම් එය රැගෙන වැඩම කරන්න” යැයි පැවසුවා. තුන්වැනි අවස්ථාවේදි නාග රජ්ජුරුවන් ඒ ආකාරයට පැවසුවේ තම බෑණා විසින් ධාතුන් වහන්සේලා සඟවාගෙන සිටින ආකාරය සෝනුත්තර සාමණේරයන් වහන්සේට සොයාගත නොහැකි යැයි කල්පනා කළ නිසයි.
ධාතු කරඬුව රැගෙන ඒම
මහකෙළ නම් නා රජුගේ අවසරය ලැබු සෝනුත්තර සාමණේරයන් වහන්සේ සෘද්ධියෙන් සියුම් අතක් මවා වාසුලදත්ත නම් නාගයාගේ මුඛයට ඒ අත දමා සඟවාගෙන සිටි ධාතු කරඬුව රැගෙන පොළොවෙන් කිමිද යලිත් තමන් වහන්සේ වැඩ සිටි මහමෙව්නා පුණ්‍ය භූමියේ පුද පිරිවෙන අසලින් මතුවුනා. සෝනුත්තර සාමණේරයන් වහන්සේ නාග ලෝකයෙන් යලි ලංකාද්වීපයට වැඩම කළ පසු තම උපක්‍රමය සාර්ථක වුවායැයි සතුටු වුන මහකෙළ නම් නාග රාජයා මෙහෙකාර නාගයෙකුට කථාකොට ධාතු කරඬුව සඟවාගෙන සිටි ” වාසුලදත්ත නම් නාගයාට කරඬුව රැගෙන යලි නාග ලෝකයෙහි චෛත්‍යය තුළ තැන්පත් කිරීම පිණිස පැමිණෙන්න” යැයි පණිවිඩයක් දන්වා යැව්වා. එවිට තම කුස තුළ සඟවාගෙන සිටි ධාතු කරඬුව නොමැති බව දුටු වාසුලදත්ත නාගයා හිසෙහි අත් ගසමින්, හඬමින් වැලපෙමින් නාරජුඅසලට පැමිණ ධාතු කරඬුව නැති බව පැවසුවේය. ඒ විලාපය අසා නා රජ්ජුරුවන් අසලට රැස්වුන මාංජරික නාග භවනෙහි සියළු නාගයන් හඬමින්, වැලපෙමින්, සෝනුත්තර මහරහතන් වහන්සේ වැඩ සිටි පුද පිරිවෙන අසලට රැස් වී මේ ආකාරයට කරුණු කියමින් වැලපෙන්නට වුනා.
නාග විලාපය
සියළු සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් සම්බුද්ධත්වයට පත් වු බුදුරජාණන් වහන්සේ සසර දුක නිමාකිරීමට දහම් දෙසුවේ මිනිසුන්ටමද? නිවන් සුවය හිමිවුයේ මිනිසුන්ටමද? බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුයේ මිනිසුන්ටමද?
ඒ ධර්මය අමාවක් වුයේ මිනිසුන්ටමද? මහා සඟරුවන දුක් දොම්නස් නැතිකරන්නෙ මිනිසුන්ගේමද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් විසිරුන ධාතුන් වහන්සේලා අයිති මිනිසුට පමණද?
බුදුරජාණන් වහන්සේගේ ධාතු වන්දනා මාන කොට සතර අපායෙන් මිදී සුගතිගාමී වියයුත්තෙ මිනිසුන් පමණද? බුද්ධත්වයට පත්වීම පිණිස වැඩම කළ ගමනේදී කිරිපිඬු වළඳා උඩු ගං බලා ගඟේ පා කර හැරි පාත්‍රය ර්ගෙන ගොස් වැඳුම් පිඳුම් කළේ අපගේ කුලයට අයත් නාග භවනක නොවේද? සම්මා සම්බුද්ධත්වයට පත් වී හයවන සතියේදී ඇද හැලුන මහා වැස්සෙන් නොතෙමී වැඩ සිටීම පිණිස වටා බැඳි ආසනයක් මෙන් දරණ ගසා මුතු කුඩයක් මෙන් පෙන ගොබය විහිඳුවා සිටියේ අප කුලයෙහි නාගයෙක් නොවේද?
බුද්ධත්වයට පත්වුන මොහොතේදී දහසක් තුඩු මවාගෙන බුදුන් වහන්සේට වන්දි බට්ටයෙකු සේ ස්තුති ඝෝෂාවන් පැවැත්වුයේ අප කුලයෙහි නාගයන් නොවේද? කියමින් මාංජරික නම් නාග භවනෙහි නාගයන් මහා සංඝයා මැද නොයෙක් ආකාරයෙන් කරුණු කියමින් හඬා වැලපෙන්නට වුනා. එසේ හඬා වැලපී මහා සංඝයාගෙන් මේ ආකාරයෙන්ද විමසුවෝය.
” ස්වාමීනී, බොහෝ කාලයක් මේ ධාතුන් වහන්සේලා අප නාග භවනේ තබා අප වැඳුම් පිඳුම් කළේ අපට පිනක් තිබු නිසා නොවේද? අපට එකදු ධාතුන් වහන්සේ නමක්වත් ලබානොදී සියල්ල රැගෙන ආවේ ධාතුන් වන්දනා කොට අප සුගතිගාමී වීම වලක්වන්න” ද කියමින් නාගයන් මහා සංඝයා ඉදිරියේ හඬා වැලපෙන්නට ද වුනා.
නාගයන්ගේ විලාපය අසා නාගයන්ට අනුග්‍රහ කළ යුතු යැයි තීරණය කළ මහා සංඝයා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා අතරින් ස්වල්පයක් සර්වඥ ධාතු ගෙන කරඬුවක තබා නාගයන්හට ලබාදුන්නා.
එයින් මහත් සතුටට පත් නාගයන් ඉමහත් ගෞරවයෙන් යුතුව ඒ ධාතුන් වහන්සේලා නාග භවනට රැගෙන ගොස් ඒ දාගැබෙහි ධාතු තැන්පත් කොට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පුද පූජාවන් සිදුකළ බව ථුපවංශය ආදී ග්‍රන්ථවල ඉතා විස්තර සහිතවම සඳහන් වෙලා තිබෙනවා.
දෙවියන් මැවු රුවන් මණ්ඩපය
නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා රැගෙන පැමිණි ආකාරය දුටු සක්‍ර දෙවියන් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා ” දරුව , ඔබ ගොස් සාමණේර මහරහතන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙන පොළොව පලාගෙන පැමිණි තැන සත්රුවනින් අලංකාරවත් මණ්ඩපයක් මවා පැමිණෙව ” යැයි සම්මත කොට පිටත් කළා.
ඒ අනුව විශ්මකර්ම දෙවියන් ක්ෂණයකින් සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේ ගෙන පොළොවෙන් මතුවුන තැන සත්රුවනින් යුතු මණ්ඩපයක් මවා ඒ මණ්ඩපය මත මෑණික් වලින් කරන ලද ආසනයක් මවා රන් කරඬුවක් ගෙන අහසින් පැමිණි සක්‍ර දෙවියන් ඒ මණ්ඩපය මත කරඬුව තබා සෝනුත්තර මහරහතන් වහන්සේ විසින් රැගෙන පැමිණි ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව රැගෙන සක්‍ර දෙවියන් රැගෙන ආ රන් කරඬුව තුළ තැම්පත් කළා.
මේ ආකාරයට දෙවියන් විසින් මවන ලද සත් රුවන් මණ්ඩපය මත රන් කරඬුවක ධාතුන් වහන්සේලා පිහිටවනවාත් සමඟම සහම්පතී මහා බ්‍රහ්මයා ඉහළ අහසේ සිට ධවල ඡත්‍රය දරාගෙන වැඩ සිටියා. සන්තුසිත නම් දිව්‍ය පුත්‍රයා වල් විදුනාව රැගෙන පැමිණ ධාතු කරඬුවට පවන් සලමින් සිටියා. සුයාම දෙවියන් රන් තල්වැට ගෙන අහසෙහි පැමිණ සිටියා. සක්‍ර දෙවියන් ජයතුරාසක පිඹිමින් දෙවියන් පිරිවරා අහසෙහි ජය ඝෝෂාවන් පවත්වමින් සිටියා.
ඒ අතර සතරවරම් දෙව් මහ රජවරුන් කඩු අතින් ගෙන සතර දිශාවෙහි සිට දෙලක්ෂ අසූදහසක් යක්ෂයන් හා අටවිසි යක්ෂ සේනාධිපතිවරුන් පිරිවරාගෙන පැමිණ ධාතුන් වහන්සේලාට ආරක්ෂාව සලසන පරිද්දෙන් රැකවල්ලා සිටි බවත්, තිස් දෙකක් වු දිව්‍ය පුත්‍රයන් රන් කරඬු අතින් ගෙන පරසතු මදාරා ආදී මල් රැගෙන තිස් දෙකක් දිව්‍ය කුමාරිකාවන් සමඟ අහසෙහි සිටි බවත්, තිස් දෙකක් දිව්‍ය කුමාරිකාවන්ගේ අතේ දඬුවැට පහන් දරා සිටි අතර පංචසිඛ දෙවියන් අහසෙහි සිට වේළුවපණ්ඩු වීණාව වාදනය කරමින් බොහෝ දෙවි දේවතාවන් සමඟ බුදු ගුණ කියමින් ධාතුන් වහන්සේලාට පුද පූජා කළ බවත්, තමන්ට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා නාග ලෝකයෙහි තැන්පත් කොට යලි පැමිණි මහකෙළ නම් නාරජුන් නාගයන් පිරිවරාගෙන නොයෙක් ස්තුති ඝෝෂාවන් පවත්වමින් ධාතුන් වහන්සේලාට වන්දනාමාන සිදුකළ ආකාරයත් ඉතා අසිරිමත් ලෙස සඳහන්ව තිබේ.
දුටුගැමුණු රජතුමන්ගේ පැමිණීම
පංචතූර්ය නාද සහිත පෙරහැරකින් පැමිණි දුටුගැමුණු රජතුමා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දෙවියන් විසින් මවන ලද සත් රුවන්මය මණ්ඩපය අසලට පැමිණ තම හිස මත රැගෙන පැමිණි කරඬුවද ඒ මණ්ඩපය මත තැබීය. ලක්ෂ ගණනක් මහරහතන් වහන්සේලා මේ උතුම් පුණ්‍යෝත්සවයට රැස්ව සිටි අතර උන්වහන්සේලා ඉතා මිහිරි හඬින් පිරිත් සජ්ජඣායනා කරන්නට විය. සුවඳ මලින්ද, සුවඳ පුජාවන්ගෙන්ද ධාතුන් වහන්සේලාට පුජා පැවැත්වු දුටුගැමුණු රජතුමා පසඟ පිහිටුවා ධාතුන් වහන්සේලාට වන්දනා කොට පිරිත් ධර්මයන් ශ්‍රවණය කරමින් ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව දෑස් දල්වාගෙන ඒ මොහොතේදී සිදුවන අසිරිමත් සිදුවීම් පිළිබඳ බල බලා වන්දනා කරමින් සිටියේය.
අහසෙහි ධවල ඡත්‍රය පමණක් පෙනේ. එය දරා සිටින මහා බ්‍රහ්ම දෙවියන් නොපෙනේ. තල්වැට, වල් විඳුනාව අහසෙහි පෙනේ. නමුත් එය දරා සිටින දෙවියන් නොපෙනේ. අහසෙහි සිට දෙවියන් ගසන දිව්‍ය බෙර ශබ්දයද, දිව්‍ය ගීතිකාවන්ද ඇසේ දෙවියන් නොපෙනේ. මේ ආශ්චර්යය දුටු රජතුමා ඉන්ද්‍ර ගුප්ත මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසීය. ස්වාමීණී, දෙවියන් දිව්‍ය වු ඡත්‍රයකින් ධාතුන් වහන්සේලාට පුජා පවත්වයි. මාද මා සතු මනුෂ්‍ය ඡත්‍රයෙන් පුජා පවත්වමි" කියාඅවසර ගෙන දුටුගැමුණු රජතුමන් සතු රන් සේසතක් ධාතුන් වහන්සේට පුජා කොට පංචතූර්ය නාදයන්ගෙන් පුජා පවත්වා මේ ලංකාද්වීප රාජ්‍යම ධාතුන් වහන්සේට පුජාකරමි ! පුජාවේවා ! කියමින් ලංකා රාජ්‍ය තුන්වරක්ම ධාතුන් වහන්සේලාහට පුජා කළේය.
යමා මහ පෙළහර......
දෙවි දේවතාවුන්ද, මිනිසුන්ද අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලාට පුද පූජාවන් සිදුකරද්දි මහරහතන් වහන්සේලාගේ උපදෙස් අනුව ධාතු කරඬුව තම හිස මත තබාගත් දුටුගැමුණු රජතුමා මහරහතන් වහන්සේලා පිරිවරා චෛත්‍ය මලුවට වැඩම කොට රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා තුන්වරක් ධාතු කරඬුව හිස මත තබාගෙන පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භය තුළට ඇතුලු වී සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කිරීම පිණිස ධාතු ගර්භය තුළ සකස් කළ රිදී යහන මත ධාතු කරඬුව තබමී යැයි සිතනවාත් සමඟම අසිරිමත් ප්‍රාතිහාරයක් සිදුවිය.
එනම් දුටුගැමුණු රජතුමාගේ හිසෙහි පිහිටි ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව අහසට පැන නැගී කරඬුවෙන් විවර වුන ධාතුන් වහන්සේලාගෙන් මැවුනු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු ජිවමාන බුදුරජාණන් වහන්සේගේ ස්වරුපයේ බුදුරුවක් බුද්ධ රශ්මි ධාරාවන් විහිදවමින් අහසෙහි වැඩ සිට බුදුවරයන් වහන්සේ නමකට පමණක් කළහැකි අසිරිමත් ප්‍රාතිහාරයක් වන යමා මහා පෙළහර පෑමක් සිදුවිය.
අසිරිමත් බුද්ධ අධිෂ්ඨාන.....
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්ථන සාළ වනෝද්‍යානය තුළ පිරිනිවන් පෑමට මොහොතකට පෙර සිදුකළ බුද්ධ අධිෂ්ඨානයන් පහක් පිළිබඳව ධර්මයෙහි සඳහන්ව තිබේ.
එනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධිය ලක්දිවට වැඩම කරවීම පිණිස "ධර්මාශෝක මහරජතුමා රන් කටාරමක් රැගෙන මහා බෝධිය අසලට පැමිණි මොහොතේදී දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ තමා විසින්ම වෙන් වී අහසට පැනනැග මුල් විහිදුවාගෙන රන් කටාරම මත පිහිටවා" යන්න පළමු අධිෂ්ඨානය විය.
" රන් කටාරම මත පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීයේ බෝ පත්‍ර අතරින් සවණක් ඝන බුද්ධ රශ්මි ආලෝක ධාරාවන් විහිදේවා " යන්න දෙවැනි අධිෂ්ඨානය විය. බෝධීන් වහන්සේ පිහිටි රන් කටාරම අහසට පැනනැගී අහසෙහි වලා ගැබ අතර දෙව් බඹුන්ගේ වන්දනා මාන ලබමින් සතියක් පුරා පවතීවා" යන්න තුන්වන අධිෂ්ඨානය විය. තථාගත බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ශ්‍රී දේහයේ ඉතිරිවන විශාලතම ධාතුන් වහන්සේලා අතර නොබිඳී නොවිසිරී ඉතිරිවන දකුණු අකු ධාතුන් වහන්සේ ලක්දිව අනුරාධපුර නගරයෙහි ථුපාරාම නම් දාගැබක් තුළ පිහිටුවන මොහොතේදී දකුණු අකු ධාතුන් වහන්සේ කරඬුවෙන් මිදී අහසට පැනනැගී බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා !" යන්න හතරවන බුද්ධ අධිෂ්ඨානය විය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර සිදුකළ පස්වන බුද්ධ අධිෂ්ඨානය නම් "මාගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් ලක්දිව දුටුගැමුණු නම් රජ කෙනෙකු විසින් ඉදිකරනු ලබන රුවන්වැලි නම් චෛත්‍යයෙහි තැම්පත් කිරීමට සුදානම් වන මොහොතේදී ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා කරඬුවෙන් මිදී අහසට පැනනැගී බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා !" යන්නය.
එදා දුටුගැමුණු රජතුමන් විසින් රුවන්වැලි මහා සෑයෙහි ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට සූදානම් වු මොහොතේදී ඒ උතුම් බුද්ධ අධිෂ්ඨානය මත ධාතු කරඬුව අහසට පැනනැගී බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවිය.
ඒ උතුම් ප්‍රාතිහාරය දැක දුටුගැමුණු රජතුමන් ඇතුලු රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිස සතුටින් උද්දාමයට පත්විය. සර්වඥ ධාතුන් වහන්සේලාගේ අසිරිමත් ප්‍රාතිහාරය දුටු බොහෝ පිරිසක් ධර්මය මෙනෙහි කොට සෝවන්, සකදාගාමී, අනාගාමී, අරහත් ආදි මාර්ග ඵලයන්ට පැමිණී බව ඉතිහාස ග්‍රන්ථයන්ගේ සඳහන්ව ඇත.
පන්දහසක් පවතින පෙළහරක මහිම.....
බුදුරජාණන් වහන්සේ ජිවමානව වැඩ සිටියදී අන්‍ය තීර්තකයන්ගේ මානය දුරු කිරීම පිණිස ගන්ද්බ්බ රුක්ඛ මූලය අසලදි අහසට පැනනැගී අහසෙහි ගිනිදැල් විහිදුවමින් ජල දහරාවන් විහිදුවමින් සිදුකළ යමා මහ පෙළහර අයුරින්ම බුද්ධ අධිෂ්ඨානය මත සර්වඥ ධාතුන් වහන්සේලා තුළින්ද බුදුරුවක් මැවී යමක මහා ප්‍රාතිහාර්යය සිදුවිය. එසේ ප්‍රාතිහාරය සිදු වී අවසන් වු පසු බුදුරුව අහසෙහි අතුරුදහන් වී ද්‍රෝණයක් පමණ වන සර්වඥ ධාතුන් වහන්සේලා රන් කරඬුවෙහි තිබු අයුරින්ම පිහිටා ධාතුන් වහන්සේලා සහිත රන් කරඬුව දුටුගැමුණු රජතුමන්ගේ හිස මත පිහිටියේය. එවිට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයකින් ප්‍රීතියකින් පිනා ගිය දුටුගැමුණු රජතුමන් ධාතුන් වහන්සේලා සහිත කරඬුව රිදී යහන මත තබා කරඬුව විවර කොට මෙසේ අධිෂ්ඨානයක් කළේය. අවුරුදු පන්දහසක් කල් මේ ධාතුන් වහන්සේලාහට කිසිදු උපද්‍රවයක් සිදුනොවේවා! සියලු සත්වයන්ගේම හිත සුව පිණිස මේ ධාතු ගර්භය තුළ වැඩ සිටින සේක්වා! බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර සල් ගස් දෙකක් අතර උතුරු දිශාවට හිස ලා බටහිරට මුහුණලා සිංහ සෙයියාවෙන් පිරිනිවන් පෑමට වැඩ සිටි ඉරියව්වෙන් මේ ධාතුන් වහන්සේලා රිදීයෙන් සකස් කළ මේ උතුම් යහන මත පිහිටන සේක්වා! යනුවෙන් දුටුගැමුණු රජතුමන් අධිෂ්ඨාන කරනවාත් සමඟම කරඬුවෙන් මිදුන ධාතුන් වහන්සේලා ධාතු ගර්භය තුළ සකස් කළ රිදී යහන මත උතුරට හිස ලා පිරිනිවන් පෑ ඉරියව්වෙන් සකස්ව පිහිටියහ.
ඇසළ මස පුර පසළොස්වක පුන් පොහෝ දින උතුරුසළ නැකතින් ධාතුන් වහන්සේලා පිහිටවනවාත් සමඟම මහ පොළව කම්පා වී අහසෙයි අකලට මල් වැස්සක් ඇද හැලෙන්නට විය. දස දහසක් ලෝක ධාතු පුරා විහිදි යන ආලෝක ධාරාවන් විහිදෙන්නට විය. මේ ආශ්චර්ය දුටු රජතුමන් තමා පැළඳ සිටි ආභරණ ගලවා ධාතුන් වහන්සේලාට පුජාකොට ලංකා රාජ්‍යය සත් දවසක් ධාතුන් වහන්සේලාට පුජා කළේය. දුටුගැමුණු රජතුමන් සමඟ පැමිණි දොළොස් දහසක් පමණ බිසෝවරුන්ද, රාජ රාජ මහාමාත්‍යවරුන්ද, දස මහ යෝධයන්ද, බොහෝ මිනිසුන්ද තමන් පැලඳ සිටි ආභරණ ගලවා ධාතු ගර්භයට පුජා කළ බව සඳහන් වේ.
ධාතු තැන්පත් කිරීමෙන් පසු මහ රහතන් වහන්සේලා විසින් තුන්යම් රාත්‍රියක් මුළුල්ලෙහි ධාතු ගර්භය වටා වැඩ සිටිමින් රජතුමන්ගේ ආරාධනයෙන් යුතුව පිරිත් සජ්ඣායනා කරන්නටවිය. එසේ තුන්යම් රාත්‍රියක් පුරා පිරිත් සජ්ඣායනා කොට අවසන් වු පසු දින හතක් ලංකාවාසී මිනිසුන්හට ධාතු ගර්භය වන්දනා මාන කිරීමට අවස්ථාව ලබාදි ධාතු ගර්භය වසන ලදි. ධාතු ගර්භය වසන මොහොතේදි මහරහතන් වහන්සේලා චෛත්‍ය මලුවට රැස් වී මෙවන් අධිෂ්ඨානයක් සිදුකළ බව සඳහන්ය. එනම් දුටුගැමුණු රජතුමන් විසින් ධාතු ගර්භය තුළ ගැල්වු හුණු අවුරුදු පන්දහසක් යන තෙක් වියළි නොයේවා! ධාතු ගර්භය තුළ පුජාකළ මල් පර නොවේවා! ඇවිලෙන සුවඳ තෙල් පහන් නොනිමේවා! ධාතු ගර්භය තුළ තැම්පත් කළ කිසිඳු පූජා භාණ්ඩයක් මාරයාට හෝ සොළවා ලිය හැකි නොවේවා! යැයි අධිෂ්ඨානයක් සිදුකළ බව සඳහන්ය.
දුටුගැමුණු රජු රෝගාතුර වීම......
දුටුගැමුණු රජතුමන් විසින් මේ ආකාරයට ධාතුන් වහන්සේලා තැම්පත් කොට ධාතු ගර්භය වසා චෛත්‍යයෙහි බඳ බුම්බුලාකාර ස්වරූපයෙන් සකස් කරවා දේවතා කොටුව, හතරැස් කොටුව ආදී චෛත්‍යයෙහි කොටස් නිමවනවාත් සමඟම රජතුමන් රෝගාතුර විය. දිනෙන් දින රෝගය උත්සන්න වී මරණාසන්න වන බව වටහාගත් දුටුගැමුණු රජතුමන් දිගාමඩුල්ලේ සිටි තම සොහොයුරාවන තිස්ස කුමරුන් අනුරාධපුරයට ගෙන්වා ගෙන රාජ්‍ය කටයුතු ඔහුට පවරා දී මෙවන් ඉල්ලීමක් කළේය. එනම් "මා මිය යන්නට පෙර මේ මහා චෛත්‍යයෙහි කළයුතු සියලු කර්මාන්තයන් ඉක්මනින්ම නිමවා එය මා ඇසට දැකීමට සලස්වන්න " යැයි තිස්ස කුමරුගෙන් ඉල්ලීමක් කළේය. දුටුගැමුණු රජතුමන් මිය යෑමට පෙර උපක්‍රමයකින් හෝ චෛත්‍යයේ කටයුතු අවසන්ව ඇති බව පෙන්වා සිත සතුටු කිරීමට සිතූ තිස්ස කුමරුන් භාණ්ඩාගාරයෙන් රෙදි ගෙන ඒවා සෝදවාහුණු පැහැයෙන් යුතුව සකස් කරවා සන්නාලියන් ලවා මස්සවා ලී වඩුවන් ලවා දෑවයෙන් කොත් කැරැල්ල ඒ ස්වරූපයෙන්ම සකස් කරවා ලීයෙන් සකස් කළ කොත් කැරැල්ල වටා සුදු පිළියම් කළ රෙදි ඔතා චෛත්‍යය කර්මාන්තයෙහි ඉතිරි වැඩ සියල්ලම අවසන්ව ඇති ආකාරය පෙනෙන අයුරින් සකස් කරවා කොත් පළඳවා මුදුනෙහි සේසතක් පිහිටවා දුටුගැමුණු රජතුමන් වෙත ගොස් "ස්වාමීනී, මා විසින් චෛත්‍යයෙහි කළයුතු සියලු කර්මාන්ත අවසන් කරන ලදැයි" දැන්විය. ඒ අසා සතුටට පත් දුටුගැමුණු රජතුමන් මෙසේ පැවසුවේය. "චෛත්‍යය කර්මාන්තය අවසන් වී නම් එය මා ඇසින් දැකගැනීම පිණිස චෛත්‍යය මළුව වෙත මා ඔසවාගෙන යන්න " යැයි තිස්ස කුමරුගෙන් ඉල්ලීමක් කළේය. දුටුගැමුණු රජතුමන් ඔසවා දෝලාවක තබා රුවන්වැලි චෛත්‍යය අසලට ගෙන පැමිණ චෛත්‍යය වටා පැදකුණු කරවමින් චෛත්‍යයෙහි අවසන්ව ඇති කටයුතු රජතුමන්ට පෙනෙන්නට සැලැස්විය. මෙසේ චෛත්‍යය වටා පැදකුණු කරවා චෛත්‍යයෙහි දකුණු දොරටුව අසල මළුවේ ඇතිරිලි අතුරා චෛත්‍යය පෙනෙන අයුරින් රජතුමන්ට සැතපීමට සැලැස්විය. දුටුගැමුණු රජතුමන් දකුණු ඇලයෙන් නැවී රුවන්වැලි චෛත්‍යය මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව වන්දනා කොට නව මහල් ලෝවාමහා ප්‍රාසාදය දෙසටද හැරී වන්දනා කොට බුදුගුණ මෙනෙහි කරන්නට විය.
රහතුන්ගේ පැමිණීම......
එවිට දුටුගැමුණු රජතුමන් මරණාසන්නව පසුවන බව දිවැසින් දුටු මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් අහසින් වැඩම කොට රජතුමන් වටා වැඩ සිටිමින් පිරිත් සජ්ඣායනා කරන්නට විය. දුටුගැමුණු රජතුමන් සමඟ එදා යුධ පෙරමුණෙහි සටන් කළ දස මහ යෝධයන්ගෙන් කෙනෙකු වු ථේරපුත්තාභය යෝධයා රජතුමන්ගෙන් අවසර ගෙන පැවිදි වී ඒ වනවිට රහත් ඵලයට පත්වී වැඩ සිටියහ. ථේරපුත්තාභය මහරහතන් වහන්සේද තවත් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කොට රජතුමන් ඉදිරියේ පෙනී සිට රජතුමන් කළ පින්දහම් සිහිපත් කරවමින් උපන්නා වු සෑම සත්වයෙක්ම ජරාවටත්, මරණයටත් පත්වන බව පවසා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා පවා අත්දුටු අනිත්‍යතාවය රජතුමන්ට දේශනා කරන්නට විය. දුටුගැමුණු රජතුමා සිදුකළ පින්දහම් පින් පොතේ සටහන්ව තිබු අයුරින් සිහිපත් කරවා මරණාසන්න මොහොතේදී රජතුමාගේ සිත සතුටු කළ අතර මිරිසවැටි චෛත්‍යය, ලෝවාමහාපාය, රුවන්වැලි මහා සෑය ආදී දුටුගැමුණු රජතුමන් විසින් සිදුකළ මහා පින්කම්ද, ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාහට පාත්‍ර සිවුරු පුජා කරවා බොහෝ වාර ගණනාවක් සිදුකළ පින්දහම් පිළිබඳවද සිහිපත් කරවමින් රජතුමාගේ සිත සිදුකළ පින්දහම් තුළ පිහිටුවිය.
රජුගේ අවසන් ඉල්ලීම.....
මරණාසන්න මොහොතේ සිටි දුටුගැමුණු රජතුමන් මහරහතන් වහන්සේලාගෙන් මෙවැනි ඉල්ලීමක් කළා "ස්වාමීනී, මම විසිහතර අවුරුද්දක් රජකම් කරමින් බුද්ධ ශාසනයෙහි දියුණුව උදෙසා උපකාර කළා. භික්ෂුන් වහන්සේලාට උපකාර කළා. මාගේ ශරීරයද මහා සංඝයාටම උපකාර වේවා! මා මරණයට පත් වු පසු මගේ ශරීරය රුවන්වැලි චෛත්‍යය ආසන්නයෙහි මහා සංඝයා විසින් පොහොය කර්ම සිදුකරන මළුවෙහි ආදාහනය කරන්න" යැයි සංඝයාගෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම දුටුගැමුණු රජතුමන් තම සොහොයුරා වුනු තිස්ස කුමරා කැඳවා " සොහොයුර, මාගේ චෛත්‍යයෙහි තවත් කළයුතු තවත් කටයුතු ඇත්නම් යහපත් පරිදි ඒ කටයුතු සොයා බලා සිදුකරන්න. උදෑසනටත්, සවසටත් මේ පුජනීය චෛත්‍යයට මල්පහන් පුජා කරමින් පුජාවන් පවත්වන්න. මා විසින් සංඝයාට සිදුකළ දානාදී පින්කම් මා මියගිය පසුත් නොපිරිහෙලාම ඉටුකරන්න "මහා සංඝයාහට අවශ්‍ය සියලු උපස්ථාන කටයුතු ප්‍රමාද නොවී සිදුකොට ලංකාවාසීන්ට කිසිදු පීඩාවක් ඇති නොවන අයුරින් දැහැමින් සෙමින් රාජ්‍ය කටයුතු සිදුකරන්න "යැයි මරණාසන්න මොහොතේදී තිස්ස කුමරුන්හට අනුශාසනා කළා.
දෙව් ලොවින් පැමිණි දිව්‍ය රථ.....
ඉන්පසු රහතන් වහන්සේලා විසින් රජතුමන්හට පිරිත් ධර්මයන් සජ්ඣායනා කිරීම ආරම්භ කළ අතර ඒ මොහොතේ ඒ ඒ දිව්‍ය ලෝකයන්ගෙන් පැමිණි දෙවියන් දිව්‍ය රථ හයක සිට රජතුමන්ට පෙනෙන අයුරින් අහසෙයි රැදි සිටිමින් "තම තමන්ගේ දිව්‍ය ලෝක වෙත පැමිණෙන්න " යැයි දුටුගැමුණු රජතුමන්ට ඇසෙන පරිදි මෙසේ කථාකරන්නට විය. "රජතුමනි, අපගේ දෙව්ලොව හරිම රමණීයයි. අපගේ දෙව්ලොව ආයුෂ බොහෝයි. අපගේ දෙව්ලොවට වඩිනු මැනව" යැයි කියමින් වෙන වෙනම දිව්‍ය ලෝකයන්ගෙන් පැමිණි දෙවිවරු තම තමන්ගේ දිව්‍ය ලෝකයන්ට ආරාධනා කරන්නට විය. දෙවියන්ගේ ආරාධනා හඬ ඇසුණු රජතුමන් දකුණු අත ඔසවා දෙවියනි, මම බණ අසමි. එතෙක් ඉවසා සිටින්න" යැයි අතින් සංඥාවක් සිදුකළේය. රජ්ජුරුවන් විසින් සිදුකළ ඒ සංඥාව දුටු බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කිරීම නවත්වන ලෙස සංඥාවක් කළා යැයි සිතා පිරිත් සජ්ඣායනය නැවැත්විය. එවිට දුටුගැමුණු රජතුමන් "ස්වාමීනී, මම සංඥා කළේ දෙවියන්ටයි. පිරිත් කීම නැවැත්වීමට නොවෙයි" යනුවෙන් පැවසීය. සෘද්ධිමය හැකියාවක් නැති ඇතැමුන් ඒ අසා දුටුගැමුණු රජතුමන් මරණාසන්න මොහොතේදී බියට පත් වී නම් දොඩවනවා යැයි වැරදි සිතුවිල්ලක් ඔවුන් තුළ ඇතිවිය. බොහෝ දෙනෙක් තුළ ඇතිවුන ඒ වැරදි සිතුවිලි නැතිකළ යුතුයැයි සිතූ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ සියල්ලන්ගේ සැකය දුරුකොට දෙව් ලොවින් ආ ඒ දිව්‍ය රථවල මල්මාලාවන් දැවටේවා යැයි අධිෂ්ඨාන කොට දුටුගැමුණු රජතුමන්ගෙන්ද අවසර ගෙන මල්මාලා හයක් අහසට විසිකළේය. සාමාන්‍ය මිනිසුන්හට අහසෙයි තිබෙන දිව්‍ය රථ නොපෙනුනද ඒ දිව්‍ය රථවල දැවටුන මල්මාලා අහසෙයි පිහිටා ඇති ආකාරය දැක සැකය දුරුවිය.
තුසිත දෙව්ලොව ගිය දුටුගැමුණු රජතුමා.....
පිරිත් සජ්ඣායනා කොට අවසන් වු පසු දුටුගැමුණු රජතුමන් ථේරපුත්තාභය මහරහතන් වහන්සේගෙන් "ස්වාමීණී, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටින්නෙ කුමන දෙව්ලොව" දැයි ඇසීය. "රජතුමනි, තුසිත දෙව්ලොව" යැයි මහරහතන් වහන්සේ පැවසුවේය. එවිට දුටුගැමුණු රජතුමන් තුසිත දිව්‍ය ලෝකයේ සිත පිහිටුවා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙස බලා දෑත් එක්කොට වැදගෙන සිටියදී නින්දෙන් පිබිදියාක් මෙන් මරණයට පත් වී ඒ සැනින් තුසිත දිව්‍ය ලෝකයෙන් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතිකව පහළ විය.
තුසිත දිව්‍ය ලෝකයෙන් පැමිණි දිව්‍ය රථයෙහි පහළවුන දුටුගැමුණු දෙවියන් තමන් විසින් සිදුකළ කුසල විපාකයන්ගේ ප්‍රතිඵල රැස්ව සිටි පිරිසට දැක්විය යුතුයැයි සිතා දිව්‍යාභරණයන්ගෙන් සැරසී සියල්ලන්ටම පෙනෙන අයුරින් පෙනී සිට රුවන්වැලි මහා චෛත්‍යය වටා තුන්වරක් පැදකුණු කොට මහරහතන් වහන්සේලාටද වන්දනා කොට "මා ලද දිව්‍ය සම්පත් බලා අප්‍රමාදීව පින්දහම් කරන්න" යැයි සියල්ලටම ඇසෙන පරිදි දිව්‍ය රථයෙහි නැග නොපෙනී තුසිත දිව්‍ය ලෝකයට ගිය බව ඉතා විස්තරාත්මක ලෙස ඉතිහාස ග්‍රන්ථ බොහෝමයකම සඳහන්ව ඇත.
මහා සෑය සම්පූර්ණ කළ සද්ධාතිස්ස රජතුමා.....
දුටුගැමුණු රජතුමන්ගේ මරණයෙන් පසු ඔටුනු පැළැඳි තිස්ස රජතුමන් රුවන්වැලි මහා චෛත්‍යයෙහි කොත් කැරැල්ල සහ කළ යුතු සියලු කටයුතු කරවා චෛත්‍යයෙහි හුනු පිළියම් කොට කොත් පළඳවා මහා පුජාවන් සිදුකළ බව සඳහන් වේ. දුටුගැමුණු රජතුමන් නමින් ලක්දිව රජකම් කොට ගෞතම බුදු සසුනේ දියුණුව උදෙසා මේ සා මහත් පින්කම් සිදුකළේ අග්‍ර ශාවක තනතුරක් ලැබීම පිණිස අසංඛෙයියකුත් කල්ප ලක්ෂයක් පුරා පාරමී ධර්මයන් දියුණු කළ මහා පින්වන්ත බුදු පිරිසකට අයත් පුද්ගලයෙකි. දුටුගැමුණු රජතුමන්ගේ මෑණියන් වන විහාර මහා දේවියද, පියාණන් වන කාවන්තිස්ස රජතුමන්ද, සහෝදරයා වුන තිස්ස කුමරුන්ද, දුටුගැමුණු රජතුමන්ගේ පුතණුවන් වු සාලිය කුමරුන්ද, කාවන්තිස්ස රජතුමන්ගේ නැගනිය වු අනුලා දේවිය ආදී බොහෝදෙනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන කල නොයෙක් තනතුරු ලැබීම පිණිස පාරමී ධර්මයන් පුරාගෙන පැමිණි බුදු පිරිසට අයත් සසරෙහි පින්කල අයම බව සඳහන් වේ.
මෙතේ බුදුන් බුදුවන කළ........
ඒ අනාගත විස්තරය අනුව මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වන්නේ දුටුගැමුණු රජතුමාගේ පියා වු කාවන්තිස්ස රජතුමන්ය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන්නේ දුටුගැමුණු රජතුමාගේ මව වු විහාර මහා දේවියයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වු කළ අග්‍ර ශාවකයන් වහන්සේලා ලෙස දුටුගැමුණු රජතුමන් දකුණත් සව් පදවිය ලබන බවත්, දුටුගැමුණු රජතුමන්ගේ සහෝදරයා වු සද්ධාතිස්ස රජතුමන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වමත් සව් පදවිය ලබන බවත්, කාවන්තිස්ස රජතුමන්ගේ නැගණිය වු අනුලා දේවිය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වු කළ අග්‍ර ශාවකයන් වහන්සේලා ලෙස දුටුගැමුණු රජතුමන් දකුණත් සව් පදවිය ලබන බවත්, දුටුගැමුණු රජතුමන්ගේ සහෝදරයා වු සද්ධාතිස්ස රජතුමන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වමත් සව් පදවිය ලබන බවත්, කාවන්තිස්ස රජතුමන්ගේ නැගණිය වු අනුලා දේවිය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවන ආත්මයෙහි ගිහි කළ අග මෙහෙසිය වන බවත්, දුටුගැමුණු රජතුමන්ගේ පුතණුවන් වු සාලිය කුමරු මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කළ පුතණුවන් වන බවත් සඳහන්ය. එමෙන්ම දුටුගැමුණු රජතුමන්ගේ භාණ්ඩාගාරයෙහි ආරක්ෂාවට සිටි සංඝ නම් අමාත්‍යවරයා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වන බවත් සඳහන්වේ. සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා විසින් පවසන ලද අනාගත තොරතුරු ඇසුරෙන් සඳහන් විස්තර අනුව ඇත්තෙන්ම පෙනී යන්නෙ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ තනතුරු ප්‍රාර්ථනා කරමින් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණි මහා පින්වන්ත පිරිසක් ගෞතම බුද්ධ ශාසනයෙහි දියුණුව උදෙසා මනුලොවට පැමිණ ලක්දිව එක්සේසත් කොට වෙහෙර විහාර පූජනීය චෛත්‍ය ඉඳිකොට ගෞතම බුදු සසුන තුළ ධර්මාවබෝධය පිණිස උත්සහ දරන මහ සංඝයාටත් සැදැවත් මිනිසුන්ටත් පහසුකම් සලසා දී යලි මෛත්‍රී බෝසතාණන් වහන්සේවැඩ සිටින තුසිත දෙව්ලොවට ගිය ආකාරයයි.
රුවන්වැලි මහා චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් පූජා පැවැත්වු භාතිය රජතුමා
රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදුමැදුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවේ. එනම් ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි. රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදුකළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසකම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි. හවසටත් රුවන්වැලි මහා සෑයට වන්දනා මාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේ. දවසක් රජතුමාට යෙදිල තිබුන රාජ්‍ය කටයුත්තක් නිසා හොඳටම හවස් වුනා. ඒ කටයුතු අවසන් කරල රජතුමා කෙලින්ම මාලිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩිවුනා . බත් පිඬ අතට ගන්නකොටම රජතුමාට මතක් වුනා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවෙ වන්දනා කළේ නැහැ නේද කියලා.
රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයෙකුගෙන් බත් පිඬ අතේ තියාගෙන මෙහෙම ඇහුවා " අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ නැහැ"නේද කියලා. රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයෙකුගෙන් බත් පිඬ අතේ තියාගෙන මෙහෙම ඇහුවා " අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ නැහැ නේද කියලා. එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළිගත්තෙ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් මේ උතුම් දාගැබයි.රාජ පුරුෂයා රජතුමාට කියනවා " දේවයන් වහන්ස, අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ " කියලා. රජතුමා කලබලයට පත්වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඬ ආපහු රන් තලියටම දමලා නැගිට්ටා. ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලිමහා සෑය වන්දනා කරන්න පිටත්වුනා.දකුණු වාසල් දොර අරවගෙන විහාරයට ඇතුල්වෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුල්වුනා. කලුවර වැටිලා භාතිය රජ්ජුරුවො ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුනා. භාතිය රජතුමාට ඇහුනා කවුදෝ පිරිසක් බොහෝම මිහිරීන් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නෙ කොයි පැත්තෙන්ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා. පිරිත් කියන කෙනෙක් දකින්නත් නැහැ. කිසිම භික්ෂුන් වහන්සේ නමක් පෙනෙන්නත් නැහැ. හොඳින් කන් යොමුකරගෙන සිටිද්දි මේ පිරිත් හඬ ඇහෙන්නෙ චෛත්‍යයේ ධාතු ගර්භයේ ඇතුලතින් කියල පිරිත් සජ්ඣායනා කර රජතුමාට වැටහුනා. එදා භාතිය රජතුමා නැගෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨානයක් කළා. " චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නෙ කවුද කියල දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැකගන්න ලැබේවා " කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.
භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් සක්‍ර දෙවියන්ගේ ආසනය උණුවෙන්න පටන් ගත්තා. සක්‍ර දෙවියන් හිත යොමුකරල බැලුවා මොකක්ද කාරණය කියලා. ඒ ගැන වටහාගත් සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා. සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතු ගර්භය තුළට සෘද්ධියෙන් වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා. ඒ පිරිත් හඬ තමයි රජතුමාට අහන්න ලැබුනේ. පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහන්සේ නමක් තවත් සෘද්ධිබල සම්පන්න තෙරුන් වහන්සේ නමකට පැවරුවා චෛත්‍ය මළුවේ සිටින රජතුමාව ගෙනවිත් ධාතු ගර්භය වන්දවන්න කියලා. ඒ රහතන් වහන්සේගේ සෘද්ධි බලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජතුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය ඇතුලට එක්කගෙන ගියා. රජතුමාගේ හිතේ හැටියට ධාතු ගර්භය වන්දනා කරගන්න සැලැසුවා. නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා.
සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ සෘද්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුනත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගේ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහල ඇති. අන්න ඒ ආකාරයට තමයි සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමක් තම සෘද්ධිබලයෙන් භාතිය රජතුමවන්ව අතින් අල්ලගෙන ධාතු ගර්භය වන්දනා කරවන්න ඇතුලට ගෙන ගියේ. ධාතු ගර්භය තුළ සත්රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැදුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොඳයි කියල කල්පනා කළා. රජතුමා රන්කරුවන් ලවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාලිගාවෙ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතු ගර්භයෙහි ආකෘතියක ප්‍රදර්ශනය කළා. භාතිය රජතුමා වසරක් පාසාම නගරවාසීන්ට තමන් දුටු ඒ ධාතු ගර්භයෙහි සැලැස්ම ප්‍රදර්ශනය කරවපු බවත් එය දැක සතුටට පත් නගරවාසීන් අතර සිටි බොහෝ කුල දරුවන් පැවිදි වු බවත් ථුපවංශයෙහි සඳහන් වෙලා තියෙනවා. ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල් වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසා වැවෙන් ජලය ගෙනැවිත් යන්ත්‍රාණුසාරයෙන් කොත් කැරල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පුජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි. රජතුමා ඒ පුජාව වෙනුවෙන්ම
රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑ සමන් ආදී සුවඳ මල් වගා කෙරෙව්වා.
දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදවාගෙන ජලය විඳින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහා සෑය මළුවේ සිට කොත් කැරැල්ල දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල් වලින් වැසුවා.
සතියක් පුරාම යන්ත්‍රාණුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පුජාවන් සිදුකළා. එවැනි ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකුගෙ ප්‍රතිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතල මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ. එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදුකළ ඒ පුජාවන් ගැන සිහිකරද්දි රුවන්වැලි මහා සෑයේ පුජනීයත්වය එදා රජවරු හොඳින්ම වටහාගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා. මහාවංශයෙහි සඳහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පුජාවන් සිදුකොට තිබෙනවා. මහා නාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවල තිවංක නම් ගල් වර්ගය මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බව සඳහන් වෙනවා. අඬ ගැමුණු නම් රජතුමා රුවන්වැලි මහා සෑය මුදුනේ ඡත්‍රයක් පිහිටුවා පුජාවන් පැවැත්තුවා. ඉන්පසු ඉලනාග නම් රජතුමා ලම්බකරණ ගෝත්‍රිකයන් ලවා රුවන්වැලි මහා සෑයට යන මාර්ගය අලංකාරවත් ලෙස සකස් කරවු බවත්, සිරිනාග නම් රජතුමා රුවන්වැලි මහා සෑයෙහි කොත් කැරැල්ල මුදුනෙහි ඡත්‍රයක් පිහිටුවා එය රනින් අලංකාරවත් ලෙස කැටයම් කරවු බවත් හතරැස් කොටුවෙහි ලක්ෂය බැගින් වටිනා මාණික්‍ය හතරක් පිහිටුවා පුජාවන් සිදුකළ බවත් සඳහන් වෙලා තියෙනවා. පළවෙනි අග්‍රබෝධි රජතුමා රත්තරනින් කරවන ලද ඡත්‍රයක් රුවන්වැලි මහා සෑයට පුජාකළ බවත්, මහා පරාක්‍රමබාහු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට තවත් අලංකාරවත් කළ බවත්, කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා, දෙවන පරාක්‍රමබාහු රජතුමා, හතරවැනි විජයබාහු රජතුමා වැනි රජවරුන්ගේ කාලයේ පවා විටින් විට රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් අතීත රජවරුන් මහා සෑයට ගරු සත්කාර පැවැත්වු ආකාරය මහාවංශය ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා.
නියඟය දුරු කළ සිරිසඟබෝ රජතුමා
ලක්දිව රජකම් කළ සිරිසඟබෝ රජතුමාගේ කාලේ මහා නියඟයක් ඇතිවුනා. මේ නියඟය නිසා රටවැසියන් දැඩි පීඩාවකට පත්වුනා. ශ්‍රද්ධාවන්ත, ධාර්මිෂ්ඨ රජ කෙනෙකු වු සිරිසඟබෝ රජතුමා රුවන්වැලි මහා සෑයේ මළුවට ගොස් චෛත්‍යය වන්දනා කරල අධිෂ්ඨානයක් කළා "මේ නියඟයෙන් මගේ රටවැසියන් පීඩාවට පත්වෙලා. මම මේ ආකාරයේ ධර්මානුකූල ප්‍රතිපත්ති ආරක්ෂා කරන කෙනෙක්. මේක සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් නියඟය දුරුවෙලා මහා වැසි වසීවා" කියලා අධිෂ්ඨානයක් කරලා මළුවේ වාඩිවුනා. සිරිසඟබෝ රජතුමා ඒ අධිෂ්ඨානයෙන් රුවන්වැලි මහා සෑ මළුවේ වාඩිවෙලා ටික වෙලාවක් යනකොටම අහස කලුකරගෙන ඇවිත් මහා වැසි ඇදහැලිලා නියඟය දුරුවුන බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා.
රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කළ නාරංවිට සුමනසාර හිමිපාණන්
අතීත රජවරුන් එතරම් ශ්‍රද්ධා ගෞරවයෙන් පුද පුජාවන් පවත්වමින් නිසිකලට සුදුසු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවත්වාගෙන පැමිණි රුවන්වැලි මහා සෑය වසර 150 කටත් වඩා වැඩි කාලයක් පුරා මිනිසුන්ගෙන් හුදෙකලා වී මහා වනාන්තරයක් සේ පැවතුනා. ඒ පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශ ආධිප්‍යයන්ට මේ රට යටත්ව තිබු සමයේ යි. ඒ කාලය තුළ චෛත්‍යය ගරා වැටී වල් බිහි වී ගඩොල් කන්දක් සේ පමණක් පෙනෙන්නට වුනා. රුවන්වැලි මහා සෑය සොයාගෙන ගිය නාරංවිට සුමනසාර නම් හිමියන් 1873 දී මේ මහා චෛත්‍යයට අත්ව ඇති ඉරණම දැක මා කෙසේ හෝ ඉදිකරමියි යන අධිෂ්ඨානයෙන් යුතුව හුදෙකලාවම චෛත්‍යයේ කටයුතු ආරම්භ කරන්නට වෙර වීරිය දැරුවා.
චෛත්‍යය වටා වල් බිහි වී තිබු කැලය එළි පෙහෙලි කර චෛත්‍යයේ පේශා වළලු තුනෙහි සිට අලුත්වැඩියා කටයුතු ආරම්භ කළ ඒ හිමිපාණන් වහන්සේට ලංකාවාසී සැදැහැවත් මිනිසුන්ගේ උදව් උපකාර දිනෙන් දිනම ලැබෙන්නට වුනා. එදා ඒ උතුම් ස්වාමීන් වහන්සේ විසින් හුදෙකලාව ආරම්භ කරන ලද චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා හොඳින් නිමකොට "අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය වර්ධන සමිතිය" නමින් සමිතියක් පිහිටුවා මහා සංඝයාගේ අනුශාසනා ඇතිව අද දක්වාම මේ මහා චෛත්‍යයෙහි හුනු පිරියම් කිරීම් ආදී සුදුසු ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි සිදුකරමින් අනාගත පරපුර උදෙසාත් මේ මහා පුජනීය චෛත්‍යය ආරක්ෂා කරගැනීම පිණිස කටයුතු සිදුවෙනවා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 5000 ක් යන තෙක් බුද්ධ අධිෂ්ඨානය මත විසිරී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා මාන ලබමින් ලෝකයෙහි පවතිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 5000 ක් ගෙවී යන වෙසක් පුන් පොහෝ දිනයේදී ලෝකයේ සෑම තැනම තිබෙන සර්වඥ ධාතුන් වහන්සේලා එකට එක් වී ධාතුන් වහන්සේලා තුළින් මැවෙන බුදුරුව අහසෙහි බුද්ධ රශ්මි ධාරාවන් විහිඳුවමින් වැඩ සිට බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත් ප්‍රාතිහාරයක් වන යමා මහා පෙළහර පෑමක් සිදුකොට ධාතු පරිනිර්වාණය සිදුවන බව ධර්ම ග්‍රන්ථයන්ගේ සඳහන් වෙලා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 5000 කට පසුව සිදුවන ඒ ධාතු පරිනිර්වාණ අසිරිමත් පෙළහර ආරම්භවීම සිදුවන්නේ ලෝකයේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක් තැනක තැන්පත්ව තිබෙන පුජනීය රුවන්වැලි මහා සෑය තුළින් බවත්, රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයෙහි වැඩ සිටින ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ධාතු පරිනිර්වාණයේදි චෛත්‍යයෙහි ධාතු ගර්භයෙන් අහසට පැන නැගී රුවන්වැලි මහා සෑ චෛත්‍යයට ඉහළ අහසෙහි බුදුරුවක් මැවි පෙළහර පෑමක් සිදුවන බවත්, ඉන්පසු ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසින්ම නාගදීප චෛත්‍යය රාජයාණන් වහන්සේ අසලට වැඩම කොට ඒ චෛත්‍ය අසලදීද ප්‍රාතිහාර්ය පා බුද්ධගයාවේ වජ්රාස්‍රනය අසලට වැඩම කරන බව සඳහන් වෙනවා.
බුද්ධගයා වජ්රාස්‍රනය අසලදී ලෝකයේ සෑම තැනකම දෙව් මිනිසුන්ගේ වන්දනා මාන ලබමින් පැවති අබ ඇටයක ප්‍රමාණයෙන් යුතු හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වෙත්නම් ඒ සියලුම ධාතුන් වහන්සේලා වජ්රාස්‍රනය අසලට වැඩම කොට බුද්ධ අධිෂ්ඨානය මත බුදු සිරුරෙන් විහිදී ගිය ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතුන් වහන්සේලා එකට ඇමිණී යලි බුදුරුවක් මැවී වජ්රාස්‍රනයට ඉහළ අහසේදී යමා මහ පෙළහර පෑමක් සිදුකොට ධාතු පරිනිර්වාණය සිදුවන බවත්, ධාතුන් වහන්සේලා ගැන කියවෙන ධර්ම ග්‍රන්ථ බොහෝමයකම සඳහන් වෙලා තියෙනවා.
ඉහත සඳහන් තොරතුරු අනුව බලන කල ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය මත ධාතු පරිනිර්වාණය සිදුවීමට තව අවුරුදු දෙදහස් හාරසිය ගණනක් ගතවෙනවා. එතෙක් අනාගත පරපුරට බුදුගුණ සිහිකරමින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැදුම් පිදුම් කොට පින් රැස් කරගන්නා පරිද්දෙන්ම අප්‍රමාණ පින්දහම් රැස් කරගැනීම පිණිස මේ මහා චෛත්‍යය අනාගතයෙහි උපදින බොහෝ දෙනෙකුට සුගතිගාමීවීම පිණිස පින් රැස් කරගත හැකි පින් අස්වැන්නක් ලෙස විරාජමානව පවතිනවා.
එදා දුටුගැමුණු රජතුමන් විසින් දෙවියන්ගේද උදව් උපකාර ඇතිව ඉදිකරනු ලැබු මේ මහා චෛත්‍යය ආරක්ෂා කරගැනීම පිණිස කටයුතු කළ අතීත රජවරුන්ටත්, විදේශ ආක්‍රමණයන් නිසා මිනිසුන්ගෙන් හුදෙකලා වී වසර 150 කට වැඩි කාලයක් පැවති මේ මහා චෛත්‍යය යලි ප්‍රතිසංස්කරණය කිරීමට මුල පිරූ නාරංවිට සුමනසාර මාහිමිපාණන් වහන්සේටත්, වර්තමානයෙහි රුවන්වැලි මහා සෑ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරමින් චෛත්‍යයෙහි සියලු කටයුතු සොයා බලමින් ආරක්ෂා කරන අනුරාධපුර රුවන්වැලි මහා සෑ චෛත්‍යය වර්ධන සමිතියේ හැම දෙනාටත් වර්තමානයේ රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපතිව වැඩ සිටිමින් චෛත්‍යයෙහි කටයුතු සොයා බලමින් ආරක්ෂා කරන පල්ලේගම හේමරතන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුලු සියලු මහා සංඝරත්නයටද ලෝක උරුමයක් වු මේ මහා චෛත්‍යය රැකගැනීම පිණිස ගන්නා සියලු උත්සාහයන් නිවන් අවබෝධය පිණිසම පාරමී ධර්මයක් ලෙස උපකාර වේවා !
සියලු දෙනාටම තෙරුවන් සරණයි !
පූජ්‍යපාද ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ.
More Details Coming Soon!
Leave a Reply