ගිරිහඬු සෑය වඳින ගාථාව (ප්‍රථම කේශ ධාතු චෛත්‍යය)
බුද්ධෝ තපස්සු සහ භල්ලික වානිජානං
ද්‍රනං ලභිසමධු පිණ්ඩික ලාජ පුණ්ණං
තේසං සුදින්න නිහිතං මුනි කේස ධාතුං
වන්දාමි සුන්දර තරං ගිරිකණ්ඩි ථුපං
ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු ලත් තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ දාගැබක කේශ ධාතු කොටසක් නිදන් කළ බව පූජාවලියේ සඳහන්වේ. මෙය ලංකා බෞද්ධ ඉතිහාසයේ ආදීම ප්‍රවෘර්තියයි. මේ අපේ ආදීම දාගැබ කොතැනකදැයි සොයා විමසා බලන්නෝ වුහ.
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට වලව්වේ ගඟබඩ විහාරයක මේ කේශ ධාතු නිදන් ගතයැයි ඇතැමෙක් පිළිගත් අතර කුරුණෑගල දිශාවේ විල්ලි හත්පත්තුවේ මාවතගම මකුලාන විහාරයේ තැන්පත්ව ඇතැයි විශ්වාස කරන්නෝද වුහ. 1931 දී මා පැවිදිවී නොබෝ දිනකින් ත්‍රිකුණාමලේ සිට ගන්දර විජයරත්නාරාමයට පැමිණි අප ඥාති පිරිසකගෙන් අසන්නට ලැබුනේ වෙළෙඳ දෙබෑයන් විසින් කළ කේශ ධාතු චෛත්‍යය ත්‍රිකුණාමලේ දිශාවේ පිහිටි බවයි. ත්‍රිකුණාමලේ නගරයටත් මුලතිව් නගරයටත් සෑයට හැ: 30 ක් දුර වුවද අනුරාධපුරය මුලතිව් ත්‍රිකුණාමලේ ප්‍රදේශවාසී අපේ ඥාති මිත්‍රයෝ අප සමග කලින් කල සාකච්ඡා කළෙත් මා ඇසින් නොදුටු මේ අතිපූජනීය ස්ථානය කුඩා කළ පටන්ම හිතේ ඇදී ගියේය. ත්‍රිකුණාමලය දිශාවේ කට්ටුකුලම් පත්තුවේ යාන්ඔය මුහුදට ගලා බසින තිරියායි කලලරාය [ගල්වරාය ] මුදුනේ පිහිටි මෙය නීතුපත්පාණ විහාරය නමින්ද හඳුන්වති. ද්‍රවිඩ ජනයා තිරියාය මලේ – කන්දසාමි මාලේ ආදී නම් වලින් හඳුන්වති. මේ ගිරිහඬු පව්වේ වු විශාල ලියවිල්ලක් 1929 දී හමුවුයෙන් පුරාවිද්‍යා දෙපාර් තමේන්තුවට දන්වා ඇත . ඒ අනුව තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් කළ කේශධාතු චෛත්‍යය – ගිරිහඬු සෑය රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් විය. මෙහි තොරතුරු දැනගත් එවකට අග්‍රාමාත්‍ය වු අතිගරු ඩී. ඇස්. සේනානායක මැතිතුමා එදිනට පසුදා 1951 -9 -18 දා පරණවිතාන පුරාවිදු අධිකාරීතුමන් ලවා අලුත් කිරීම් ඇරඹීය. පුරාවිදු කඳවුරක් තිරියායේ පිහිටුවා අද පෙනෙන දර්ශනය නිමවිය.
ගිරිහඬු පෙදෙස
ගිරිහඬු වෙහෙර [ ගිරිකණඩි චෛත්‍යය ] සොයා බැලීම සේ ගිරිහඬු රජ්‍යය ප්‍රදේශය සොයා බැලීමද ලංකා ජාතික ඉතිහාසයට ඉතා වැදගත්ය. ආදිම ලංකා ඉතිහාසයේ මැකී ගිය තොරතුරු තිරියායි සෙල් ලිපියෙන් අනාවරණය වේ. එසේම ග්‍රන්ථාගත ගිරිහඬු සෑයේ විස්තරය සඳහටම අමතක නොකළ යුතු සේ ලියවී ඇත. පූජාවලියේ කියන වෙළෙඳ දෙබෑයන් ත්‍රිකුණාමලේ තිරියායට පැමිණි බව තිරියායි සෙල්ලිපියේ පැහැදිලි වී ඇත. ගිරිකණ්ඩ ගිරිහඬු පෙදෙස පාලනය කළ අධිපතියකු ගැන සමන්තකුය වර්ණනාවේ ලියා තිබේ. ඔහු බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩි ප්‍රථම ගමනේදී බුදුබණ ඇසු බව එහි සඳහන්ය. එසේම එයට පසුව පඬුවස් දෙව් රජුගේ බාල පුත්‍ර ශිව කුමරුද ගිරිකණ්ඩ ශිව නමින් එදෙස පාලනය කළ බව අපේ වංස කතා වලින් කියවේ. ගිරිකණ්ඩ යන අමුතු නමක් යෙදී ඇත්තේ පාලන ප්‍රදේශ නාමයත් ව්‍යවහාරයට ගැනීමෙන් විය හැක. ගිරිකණ්ඩ ශිව රජු විසින් සියක්කිරියේ යායේ ගොයම් කපවමින් සිටිනාතර දූ කුමරිය වෑදම ගෙනයද්දී පණ්ඩුකාභය කුමරු ඇය පැහැරගෙන ගිය බවද ඉතිහාසයේ සඳහන් වේ. මේ ආදී කරුණු නිසා ගිරිහඬු පෙදෙස අමතක කළ යුතු නොවේ. ක්‍රි.ව. 733 දී අනුරාධපුර රාජධානියේ රාජශ්‍රීයට පැමිණි අග්‍රබෝධි සිලාමේඝ රජු යුධ හමුදා සමග මෙහි නැවතී ලංකාවේ ආරක්ෂා කටයුතු මෙහෙයවු බවද ඉතිහාසයෙන් පෙනේ. මේ අනුව සිතා බලන විට ලංකා රාජ්‍යයේ ඉතා සැලකිය යුතු තොරතුරු වල හිමිකමක් ගිරිහඬු පෙදෙසට අයත්ය.
ගිරිකණ්ඩ ශිව රජුගේ සියක් කිරියේ යාය අද යාංඔය ව්‍යාපාරය නමින් ගොවි ජනපදයක් වේ. ඩී. ඇස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා ලංකාව එකම ගොවි බිමක් කිරීම සඳහා යොදා ඇති සටහන්වල එසේ යොදා තිබේ. ආදීම අවදියේ යාංඔය සුදුසු වාරිමාර් ගයකට යොදා ඇත්තේ ගිරිකණ්ඩ ශිව රජ්‍ය සමයටත් පෙරයැයි සිතිය යුතුය. ගිරිකණ්ඩ පර්වතය, ආදීම රාජධානියක්ව පැවති සමයේ වෙළෙඳ කටයුතු වලටද යාංඔය තොටුපොළ ලෝක ප්‍රකට වුයේද? කල්වාරය [ ගල්වරාය] තුළින් යාංඔය ඔස්සේ වෙළෙඳ යාත්‍රා ගමන් ගත් බව තිරියායි සෙල්ලිපියේද තපස්සු භල්ලික වෙළෙඳුන්ගේ ගමන් විස්තරය පෙන්වා දෙයි.
මේ වෙළෙඳුන්ගේ සිහිවටනය එදා කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඇරඹීමෙන් පිහිටුවිය. එතැන් පටන ගිරිකණ්ඩය නීතුපත්පාණ නමින්ද හඳුනා ඇත. වෙළෙඳ නායකයන් පැමිණි ගල්තලය යන අන්වර් ථ “නෙතු පතන පාසාණ” යන පාලි වචනය ශබ්ද ධර්මය අනුව ජනතා ව්‍යවහාරයේ ” නීතුපත්පාණ ” වුයේය. ගිරිහඬු සෑය නීතුපත්පාණ විහාරය වුයේද ඒ නිසාමය.
ක්‍රි.ව. 67 දී පමණ ලංකාවේ රාජය වු වසභ රජු විසින් නීතුපත්පාණ කඳු වැටියේ ආධාරයෙන් නිම කළ වැවද නීතුපත්පාණ වැව යනුවෙන් පූජාවලියේ සඳහන් වේ. මහනුවර රාජධානි සමයේ ලියු නම් පොතටද විහාර ලේඛනයේ නීතුපත්පාණ නාමයම ගැනීමෙන් පෙනී යන්නේ වනගත ඉතිහාසයේත් නීතුපත්පාණ නාමය ජනප්‍රිය වීමයි.
ක්‍රි.ව. 412 ටත් පෙර ගිරිහඬු වෙහෙර බලා තෙරුවන් පැහැදී බුද්ධාලම්භන උද්වේග ප්‍රීතියෙන් අහසින් සය ළඟට විත් බණ දහම් ඇසීමට සිංහල බෞද්ධ කාන්තාවන්ගෙන් ගැවසීගත් ගිරිහඬු පෙදෙස 12 වන සියවස වන විට බෞද්ධයනට අහිමි වී ගියේය. පරසතුරු යුද උවදුරු නිසා වනගත පෙදෙස් රුහුණු මායා පෙදෙස් බලා සිංහලයෝ ගමන් ගත්හ. සැතපුම් දෙකක් තුනක් ගිය තැන පැරණි අනුරාධපුර රාජධානි කාලයේ වු වෙහෙර විහාර පෙති පිළිම අද දක්නට ලැබෙන මේ ගිරිහඬු පෙදෙස වනගත විය.
නැවත රුහුණු මායා පෙදෙස් වලින් රජරට දෙසට ගමන් ගන්නා අවදියේ කැලෑ එළි පෙහෙළි කරමින් මුතුන් මිත්තන්ගේ නිජබිම් වල ක්‍රමයෙන් ලැගුම් ගත්හ. ඒ වන විට ඉන්දියාවෙන් හොරෙන් ගොඩබට ද්‍රවිඩ ජනයා වැදි පරපුරක් බිහිකරමින් සිටියද යාපනයෙන් ඔවුන්ගේ ප්‍රධානත්වයටද ද්‍රවිඩයන් පදිංචි වුහ.
ගාලු මාතර පෙදෙස්වල අපේ ඥාතීන් එනවිට යාපනය මුලතිව් ත්‍රිකුණාමලය මඩකලපුව අනුරාධපුරය ආදී එදා ජන්ම භූමි නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක තිබුණේය. එහෙත් විරෝධාර ලේ වල ශෘයෙන් ඉදිරි ගමන අදත් අභීතව ගෙන යති. අවුරුදු 50 ක පමණ කාලයේ පටන් අපේ ඥාති හිතෛෂීන්ගේ වු අධිෂ්ඨානය සපල කර ගනුවස් මේ ලියන මටද ගිරිහඬු සැයේ නතරවීමට ආරාධනා ලැබිණ. සේරුවිල නාහිමියන්ගේ පැමිණිමෙන් ත්‍රිකුණාමලය මඩකලපුව පැරණි තත්ත්වයට ගෙන ඒමට රුකුලක් විය. අදත් බිහිසුනු වන සතුන්ගෙන් ගැවසීගත් සර් පයන්ගෙන් ගහන වු වනදුර් ගයේ මදුරුවන්ගෙන්ද පිරී ඉතිරී ඇත. 1955 වර්ෂයේ අපේ ඥාතීන්ගේ බලවත් ඉල්ලීම නිසා ස්ථානයේ ලැගුම් ගතිමි. විශාල ගිනි ගොඩවල් ගසා එහි ආවරණයෙන් සැක බිය දුරුකර කාලය ගෙවමි. දුකසේ ආහාර ඇතත් නැතත් සෑය ඉදිරියේ දිනකට වැඳුම් පිඳුම් තෙවරක් පැවැත්වීම, වතාවත් කිරීම යනෙන සැදැහැවතුනට සිල් සමාදම් කරවීම, බණ දහම් කියාදීම, වන්දනා කරවීම ආදීයෙන් කාලය ගත කළෙමි. නිවන් සැප විදීමකැයි ප්‍රිතියෙන් එහි වාසය කළෙමි. ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟ වසමියි ජීවත් වුනෙමි. මම බුදු ගුණ වැඩීමට හොඳම තැන ලදිමි.
කැලේ ඉවත් කරමින් කැලේ වනසතුන් සමග ගමන් කරමින් ප්‍රදේශයේ පුරාවෘත්තය තව තවත් සොයා බැලුවෙමි. විමසා බැලුවෙමි. පොත පතින් කියවා බැලුවෙමි. එම නිසා මේ යටපත්වී තිබුණ අපේ අතීතය ගැන යමක් මෙසේ ලිවීමට අදහස් ලැබිණ. අද තිබෙන තත්ත්වයට මේ ප්‍රදේශය දියුණු කරලීම සඳහා මගතොට අධ්‍යාපනය ආර්ථිකත්වය නගාලීමට පුළුවන් උත්සාහ ගතිමි.
අටසිය වසක් වනගතව තිබු ගිරිහඬු සෑය හා වටදාගේ
පූජාවලියේ හා ශිලා ලිපියේද සඳහන් පැරණි නාමය රජය මගින් ” ගිරිහඬු සෑය ” නමින්ම යෙදීමට උත්සාහ වත්වේවා! මෙලෙසින් සේරුවිල, නාගදීපය, දීඝවාපිය, මහියංගනය, තිස්සමහාරාමය, මිහින්තලය ආදී ග්‍රාම අද යෙදී තිබේ.
වෙළඳ දෙබෑයෝ
උත්තර භාරතයේ උතුරු ඉන්දියාවේ සින්ද්‍රනදියේ සුවාසතු නම් අතු ගංගා තීරයේ පුෂ්කරවතී නම් නුවරකි. තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ගේ පියා එනුවර උපන් ගැල් වෙළෙන්ඳෙකි. මේ නුවර සමීපයේ වු අසිතඤ්ජන පුරය දෙබෑයන්ගේ මාතෘ භූමියයි. මොවුන්ගේ වාසභූමිය වුයේ අසිතඤ්ජන පුරය සමීපයේ වු උත්කල නගරයේය. [මෙසේ සඳහන් වන්නේ ථෙරවාදී පොත්වලය.]
පියාගේ අවෑමෙන් දෙබෑයනට වෙළඳ ව්‍යාපාරය හිමි විය. වෙළඳ බඩු පිරවු ගැල් පන්සීයක් පදවාගෙන උතුරේ සිට හිමාලය කඳු පාමුලින් මධ්‍ය දේශයට එද්දී කිරිපලු වනයේදී බුදු වු පණස්වැනිදා බුදුන් වහන්සේ මුණගැසුණහ. ඒ වනයට අරක්ගත් සහලේ දේවතාවියගේ වචනය පරිදි දෙබෑයන් විසින් බුදුන් වහන්සේට විළඳ මී පැණි අත්සුනු ආදියෙන් ප්‍රථම දානය පිළිගන්වන ලදහ.
පුණ්‍යානුමෝදනා දේශනාවෙන් ප්‍රමුදිත වු දෙබෑයෝ බුදුන් දහම් සරණ ගොස් ලොව ප්‍රථම බෞද්ධ උපාසකයන් වුහ. එසේම නිති වැඳුම් පිදුම් සඳහා ප්‍රථමයෙන් කේශධාතු කොටසක් ලබා ගත්හ. ගම රට ගිය දෙබෑයන් සත් රුවන් කරඬුවක තැන්පත් කර වඳින පුදන කේශධාතුන් වහන්සේලාගෙන් දෙනම බැගින් වෙළඳාමේ යනෙන සෑම රටකම වාගේ තැන්පත් කර දාගැබ් පිහිටුවා ඇත. ලංකාව, බුරුමය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ආදී රටවල අද දක්නට ලැබෙන ඒ දාගැබ් වලින් ඒ බැව් පෙනී යයි.
දේශ දේශාන්තරවල ගමන්ගත් හියුන්සියාන් චීන භික්ෂුවගේ ගමන් විස්තරයේ ඇෆ්ගනිස්ථානයේදී කේශධාතු චෛත්‍යයට වැඳුම් පිදුම් කරනු දුටු බව ලියා තිබේ. එසේම බුරුම රටවැසියන්ගේ පිළිගැනීම මේ දෙබෑයන් පුරුම වැසියන් බවත්, මේ කේශධාතු ගෙනෙද්දී රජවරු දෙදෙනෙක් ධාතු දෙකොටසක් පැහැරගත් බවත්, ඉතිරිවා රැන්ගුන් සෑය බුරුම රටේ රාජකීය වස්තුවයි. බුරුම රටට ළඟාවන හැම දෙනාටම පළමුවෙන් දර්ශනය වන්නේ මේ ස්වර්ණමය චෛත්‍යයයි.
බුදුන් වහන්සේ කෙරේ පහන් සංවේගයෙන් පිනාගිය ද්වෙවාචික ප්‍රථම බෞද්ධධෝපාසකයෝ ලක්දිවට පැමිණියේ වෙළඳාම සඳහා බැව් තිරියාය සෙල්ලිපියේ පෙන්වා දෙයි. ක්‍රි.ව. 733 දී රජ වු අග්‍රබෝධි සිලාමේඝ කාලයේ මේ ලිපිය ලියන විටත් කටින් කට මේ පුවත ගෙන ආ පරම්පරාගත බෞද්ධයන් එහි විසු බව කිය හැකිය. ගිරිකණ්ඩයේ [ගිරිහඬුවේ ] විසු යක්ෂාධිපතියෙකු එදා බුදුබණ ඇසීමට මහියංගනයට [බිම්තැන්නට] ගියේ යැයි ප්‍රථම බුද්ධාගමනය විස්තර කරන සමන්තකූට වර් ණණාවේ එයි පිට රටකින් වෙළඳ සබඳකම් පවත්වනුයේ රජකුගේ හෝ රජයේ මාර් ගයෙනි. මේ අධිපතියාගේ සම්බන්දයත් රට වැසියාගේ විශ්වාසයත් දිනා ගැනීමපිණිස දෙබෑයන් විසින් මේ කේශ ධාතු පිහිටුවා සෑයක් ඇරඹීම පිළිගත යුතු කරුණක් හැටියට ස්ථිර වෙයි.
දම්සක් දෙසු බුදුන් වහන්සේ එම බරණැස ඉසිපතනාරාමයේ ප්‍රථම වස් තුන් මස නිමවා පිළිවෙළින් රජගහ නුවර වැඩ දම් දෙසු සේක. ගිහිගෙය පිළිබඳ අයිතිවාසිකම් දූ දරුවන්ට පැවරූ දෙබෑයන් එහි ගොස් බණ අසා තපස්සු තෙමේ සෝවාන් වු බවත් භල්ලික තෙමේ රහත් වු බවත් ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් ලියු බුද්ධ චරිතයේ උප ග්‍රන්ථයේ බලත්වා දෙබෑයන් මාර්ග ඵලාවබෝධකිරීමට පෙර කේශ ධාතු නිධානය සිදුවිය යුතු හෙයින් බුදු හිමියන්ගේ ප්‍රථම ලංකාගමනයට පෙර ගිරිහඬු සෑය ඇරඹුනේද? පූජාවලියේ කියන පරිදි ලංකාවේ සර්වඥ ධාතු පිහිටියා වුද බුදු හිමියන්ට පුද පුජා කළා වුද ආදීම ස්ථානය ගිරිහඬු සෑයද?
ධාතු අන්තර් ධානයේදී දඹදිව ශ්‍රී මහා බෝධි මුලයේ නිර්මාණය වන බුදු රුවට, අවුරුදු පන්දහසක් ගතවන විට ගිරිහඬු සෑය ආදී තන්හී වු ධාතුන් වහන්සේලා එක්වන බව පූජාවලියේ දැක්වේ. එසේ නම් එතෙක් කේශධාතු ගිරිහඬු සෑයේ තිබිය යුතු නොවේද?
බුදුන් දවස ලක්දිව
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයටත් පෙර ලක්දිව රාවණාදීන්ගේ වීර වික්‍රමාන්විත ඉතිහාසය අපට කියවීමට ලැබී තිබේ. බුද්ධ ධර්මය අටුවා කථා වංශ කථා ආදිය කියවීමෙන් එවැනි අදහසක් ගැබ්වී තිබේ. වෙළෙඳ දෙබෑයන් ගිරිකණ්ඩ පර්වත ප්‍රදේශයේ අධිපති සමග වෙළෙඳ සබඳකම් පැවැත්වීම නිසා එහි කේශධාතු නිදන් කිරීමෙන් ගිරිහඬු සෑය ඇතිවිය. එදා මල්පුදා දෙබෑයන් විසින් ලක්දිව ප්‍රථම බුද්ධ පූජාව පවත්වන ලදී.
බුදු වීමෙන් නවවැනි මස දුරුතු පෝදා බිම් තැන්නෙ [ මහියංගනයේ] යකුන් දමනය කර දම් දෙසා සුමන සමන් දෙවියන් ප්‍රධාන ලක් ජනතාව මාර්ග ඵලාවබෝධය කළ සේක. එදා ගිරිකණ්ඩ පර්වතයේ යක්ෂාධිපතියාද බණ ඇසීමට පැමිණීම සමග සුමන දිව්‍යරාජයන් විසින්ද කේශධාතු ලබාගෙන මහියංගනය ඇරඹීමද විමසා බැලිය යුතු කරුණකි. මේ ප්‍රථම බුද්ධාගමනයට පස් වසරකට පසු බක් මස අව පසළොස්වකදා නාගදීපයේ චූලෝදර මහෝදර නා රජුගේ යුද්ධය සාමදානය කරවීමට වැඩම කළ සේක. බුදු බණ අසා සමථයට පත් නා රජවරු මිණි පළඟ [මැණික් පුටුව ] ද සෙවනදුන් කිරි නුගයද බුදුන් වෙතින් ලබා නාගදීප සෑය ඇරඹුහ. තෙවන වර බුදුවීමෙන් අටවන වර් ෂයේ වෙසක් පුන් පෝදා කැළණියේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළණි වෙහෙර පිහිටි තැනට වැඩිය රහතන් වහන්සේ සමග වළඳා බණ වදාරා මගඵල දෙවා කතරගම , ශ්‍රී පාදස්ථානය ආදී ස්ථාන වලටද වැඩම කළ බව ලේඛනගත වී ඇත. ගිරිකණ්ඩ පර් වතයේ වු තිරියායි සෙල්ලිපියේ ” ගිරිකුණ්ඩි ගතම් සුගතම් ” යනුවෙන් ලියා තිබෙන්නේ ගිරිහඬුවටද සුගත බුදු හිමි වැඩම කළ බවයි.
බුදු හිමියන් ලක්දිව වැඩම කිරීමටත් පෙර තපස්සු භල්ලිකයන් ගිරිහඬු සෑය ඇරඹු අතර බුදු හිමියන්ගේ වැඩම වීමෙන් පසු සමන් දෙවියන් කේශ ධාතු නිදන් කළ මියුගුණ සෑය චූලෝදර මහෝදරයන් මිණිපළඟ නිදන් කළ නාගදීප සෑය මණි අක්ඛිත නා රජුන් මිණිපළඟ හා මණ්ඩපය නිදන් කළ කැළණි සෑය කතරගම මහසෙන් දෙවියන් කේශ ධාතු නිදන් කළ කිරි වෙහෙර යන චෛත්‍යයන් ඇරඹී ඇති බැව් ඉතිහාස ගත තොරතුරු සොයා බැලීමෙන් අවබෝධ විය යුතුය. බුදු හිමියන් දවස ලක්දිව පිහිටා තිබු රාජධානි කීපයක් සමන්කුල වර් ණනාවේ සඳහන් වේ. ඒවායේ අධිපතීන් බිම්තැන්නේදී බුදු බණ ඇසූ වගක්ද ලියවී ඇත. ලග්ගල ලෝග්ගල, ගිරිකණ්ඩය, යක්දෙස්සාගල, දිඹුලාගල, සුමනකූටය, කතණඩුලෙය්‍ය, මාරගල, මිස්සක පව්ව,රිටිගල, පූතිගල, බලගල, මහමුහුණුගල, යහන් ගල, තුන්කළුගල, යනාදිය ඒ රාජධානිවල නාමයෝය.
ලංකා ශාක්‍ය වංශය
බුදු රජුන් වහන්සේ ශාක්‍ය රාජතිලක යනුවෙන් ශාක්‍ය රාජසිංහ යනාදී වශයෙන්ද හඳුන්වනුයේ ශාක්‍යරාජ වංශයේ උපන් හෙයිනි. අප බුදු පියාණන් වහන්සේගේ පියා සුද්ධෝදන රජතුමාය. එතුමාගේ සහෝදර අමිතෝදන රජතුමාගේ පුත්‍රයකු පණ්ඩු ශාක්‍ය නමින් එයි එතුමාගේ දූ කුමරිය වු බද්‍ර කච්චායනාව විවාහ වුයේ විජය රජුට පසුව රජවු පඬුවස් දෙව් රජු සමගයි. මෙතුමාගේ බාලම පුතා ගිරිකණ්ඩසිව නොවේද? බද්‍ර කච්චායනාව ලක්දිව බටුයේ සහෝදරයින් කීපදෙනෙකු සමගයි. එයින් අනුරාධ කුමරු අනුරාධපුරයේද, විජිත කුමරු විජිත පුරයේද, රෝහණ කුමරු රුහුණේද, දීඝායු කුමරු දිගා මඬුල්ලේද ආදී වශයෙන් ප්‍රදේශ රාජ්‍ය පදප්‍රාප්තවුහ. පඬුවස් දෙව් රජුගේ පුත් සිව කුමරා ප්‍රදේශ රාජ්‍ය නාමයත් නාමයන් සමග ගිරිකණ්ඩ සිව නමින් ගිරිකඩ පාලනය කළේය.
බද්‍ර කච්චායනාවගේ එකම දියණිය චිත්‍රා කුමරියයි. දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණී චිත්‍රා සමග විවාහවීමෙන් ලද පුත්‍රයා පණ්ඩුකාභය නම් විය. පණ්ඩුකාභය යුද කොට මාමාවරුන්වු අභය ආදීන් මරා දැමීය. බාලම මාමා වු ගිරිකණ්ඩසිව රජුගේ දියණිය පැහැරගෙන ඒ මාමාට ගිරිකඩ පාලනය කිරීමට ඉඩ හළේය. පණ්ඩුකාභය අනුරාධපුර සිරිලක අගරජු වීමෙන් ලංකා රාජ්‍ය ශාක්‍ය වංශයට හිමිවිය. ක්‍රමානුකූලව උතුම් පාලනයක් ඇති වුයේ පණ්ඩුකාභය රාජ්‍යයේදී යැයි ඉතිහාසය දක්වයි. ගිරිකඩ ආදී අපේ ඉතිහාසයේ වැදගත් තොරතුරු කාලයේ වළා පටලයෙන් වැසී ගිය වග ගිරිහඬු පුවත අප්‍රකටව තිබීමෙන් පෙනී යයි. කේශ ධාතු විස්තරය ඇතුළත් කේශ ධාතු වංශයද අපේ ග්‍රන්ථ නාමාවලියේ නාම ශේෂවී ඇත.
පණ්ඩුකාභය විසින්ද පැරණි ඇදහීම් ක්‍රම අනුව ආගමික දෙවොල් තැනු වගත් ඒවායේ ආගමික වතාවත් පැවැත්වු බවත් ඉතිහාසයේ පැහැදිලි වුවද වෙළෙඳ දෙබෑයන් ඇරඹු ගිරිහඬු සෑය ගැන කිසිවක් සඳහන් නොකළේ වංශ කථා කාරයින් පක්ෂ භාජනය කිරීමෙකැයි විචාරකයෝ නිගමනය කරති. ශාක්‍ය රාජතිලක සුගත බුදුන් වහන්සේ ගේ සහලේ ඥාතීන් වු පණ්ඩුකාභය ස්වර්ණමාලී රාජකීය බිසවගේ ජන්ම භූමියේ පිහිටි ඒ බුදුන් වහන්සේ ගේ සිහිවටනය සම්භාවනීය පුද සත්කාරයන්ට කේෂ්ත්‍රයක් වුයේ යැයි සිතිය යුතුය.
ශාක්‍ය වංශයේ උපන් දෙවනපෑතිස් රාජ්‍යය්යේදී මිහිදු මහා රහතන්වහන්සේ මිස්සක පව්ව නමින් එදා ප්‍රසිද්ධව පැවතුන කඳු වැටියට පැමිණියේ භික්ෂුන් ගැවසීගත් සෙනසුන වෙතැයි උගතුන් විසින් විචාරයට ලක් කරති. මහින්දාගමනයෙන් පසු මිස්සක පව්ව මිහින්තලය විය. මෙය ආධාරස්ථානය කරගෙන සිරිලක බුදු සසුනක් පිහිටවු වග නම් ඉරහඳ සේ ප්‍රකටය. මේ කාලයේ ගිරිහඬු සෑයේද රහතන් වහන්සේලාට පිදූ ගල්ලෙනක සෙල් ලිපිය එහි පැරණි ආගමික සිරිත් පෙන්වා දෙයි. මේ සෙල් ලිපියේ අක්ෂර විද්‍යාව අනුව ක්‍රි.පූ. තුන්වන සියවස සිහිපත් කරවයි.
බුද්ධාලම්බන උද්වේග ප්‍රීතිය
විශුද්ධි මාර්ගය නම් පොතේ පඨවී කසින විස්තරයේ බුද්ධාලම්බන උද්වේගය ප්‍රීතියට උදාහරණ කළ කතා වස්තුවක් වෙයි. එම කතා ප්‍රවෘත්තිය සිදුවී ඇත්තේ ගිරිහඬු වෙහෙරේ දී යයි ලියා තිබේ. මේ පොත ලියන ලද්දේ බුද්ධඝෝෂ අටුවාචාරීන් විසිනි. උන්වහන්සේ අටුවා ලිවීමට පෙර තම ධර්ම් ඥානා අවබෝධ කරලීම සඳහා ඒ ග්‍රන්ත්‍ය ත්‍රිපිටකය හකුලා සංග්‍රහ කළෝය. බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ ලක්දිවට සැපත් වුයේ ක්‍රි.ව. 412 දී අනුරාධපුර රජ වු මහනාම කාලයේය. මේ කාලයටත් පෙර ගිරිහඬුවේ සිදුවු කතා ප්‍රවෘත්ති ජනප්‍රවාදයේ සැලකිලි ලැබු අතර, අටුවාචාරීන් වහන්සේද ඉතා අගේ කොට සැලකූ බව පෙනේ. ඒ විශුද්ධි මාර්ගය නම් පාලි පොතේ එන කතා වස්තුව සිංහල විශුද්ධි මාර්ගයේ මෙසේ පරිවර්තනය වී ඇත.
” ගිරිහඬු වෙහෙරට සමීප වතතකාල නම් ගම වැසි එක් කුල දුවක් බලවත් වු බුද්ධාලම්බන උද්වේග ප්‍රීතියෙන් අහසට නැංගාය”. ඇගේ මවුපියෝ එක් දවසක් සවස බණ අසනු සඳහා විහාරස්ථානයට යන්නට සැරසී, ” දුවනිය, ගර්භනිය, අවේලාවේ ඇවිදීම නුසුදුසුය. අපි ඔබද සිහිපත් කොට බණ අසම්හ” යි කියා නැගී ගියහ. යා හැකිවුවද මවුපියන්ගේ වචනය ඉක්මවන්නට අසමත්ව ගෙදොර රඳා මිදුලේ සිට සද පහනින් ගිරිහඬු වෙහි ආකාශ මලුව බලන්නී. එහි පහන් පූජාව දුටුවාය. පිරිස සුවඳ මලින් සෑය පුදා පැදකුණු කරති. භික්ෂු සංඛයාගේ ගණ සජඣායනා ශබ්දය ඇසේ විහාරයට ගොස් මෙබඳු ධර්ම කතා අසන්නට ලැබුවෝ අහෝ ! ඒකාන්තයෙන්ම මහා පිනැත්තෝය. මුතු බදු චෛත්‍යය බලත්ම ඇයට උද්වේග ප්‍රීතිය උපන, ඕ අහසට නැගී මවුපියන්ට පෙරාතුවම ආකාශ චෛත්‍යාංගනයෙහි බැස සෑය වැද බණ අසමින් සිටියහ.
මවුපියන් අවුත් විස්මිතව ” දරුව උඹ කවර මගකින් අවුදැයි විචාලහ. ” මම අහසින් ආමි” යි ඕ කීවාය. “දරුව අහසින් යන්නෝ රහතන් වහන්සේය. උඹ කෙසේ අවුදැයි “යි නැවත කීකල, ” සඳපහනින් චෛත්‍ය මළුව බලා සිටි මට බලවත් බුද්ධාලම්බන ප්‍රීතියක් පහළ විය. එයින් මම මා උන් සිටි බව නොදනිමි. ගත් අරමුණින්” අහසින් අවුත් මළුවෙදී පිහිටියෙමි” යි කීවාය.
අහස පොළව එකට ගැටලන තරම් ගැටලු ප්‍රශ්නයක් බවට පෙරළි ඇති ” ගිරිහඬු වෙහෙර කොතැන පිහිටියේද” යන විමතියට හොඳම පිළිතුරක් මේ කතාවේ පිළිබිඹු වී ඇත. මේ කතාව කියවා නීතූපත්පාණ ගිරිහඬු සෑයට පැමිණියකුට එය පහසුවෙන් විසඳාගත හැකිය.
ගිරිකඩ වෙහෙරට ආසන්නයේ වු ” වතතකාල” ගම අද පුල්මෙටෙයි යන නමින් හඳුන්වයි. “වතතකාල” හෙවත් “කලුවත” නම් අද ඛනිජ වැලි පිහිටි ප්‍රදේශයයි. අර්ථාවබෝධයෙන් ඒ ගම හඳුනාගත හැකිය. එහි ගෙමිදුලට ගිරිහඬුවේ ආකාශ චෛත්‍ය මළුව හොඳින් බලාගත හැකිය. ඒ ස්වභාවික ලක්ෂණය අන් කිසිම තැනක නොපිහිටියේය. මෙයට සැසදෙන තිරියායි සෙල් ලිපියද ප්‍රතිවාදීන් නිහඬ කරවයි. එසේම මේ කුල දුවගේ කතා වස්තුවෙන්, පෙනී යන්නේ එකල අවට විසු බෞද්ධයන් සෑයට පුදපුජා කිරීම, බණ දහම් ඇසීම හා භික්ෂුන් වහන්සේගේ වත් පිළිවෙත්ද නොඅඩුව පැවතීම සිදුවු බවයි.
තිරියායි සෙල් ලිපිය
1930 වර්ෂයේදී රජයේ ගැසට් නිවේදනයකින් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් තිරියායි ගමේ බටහිරින් වු පැරණි ගිරිකණ්ඩයේ කේශ ධාතු චෛත්‍යය ඇරඹු බව අනාවරණය විය. ඒ මේ ගෙලේ ලියු ලියවිල්ල නිසාය. මේ කඳුපාමුල නැගෙනහිරින් පිහිටා ඇත්තේ එදා ක්‍රි.ව. 67 දී අනුරාධපුර රජය වු වසභ නරේන්ද්‍රයන් තැන වු නීතූපත්පාණ වැවයි. දැනට මේ වැව තිරියායි කුලම් නමින් හඳුන්වයි.
මේ වැව ඉයුරේහිද අහස දෙස බලත්ම ගිරිහඬුවේ ආකාහ චෛත්‍යය ගිරිහඬු සෑය හා වටදාගේ සුරලොව දෙව් විමනක් යයි ඇසිපිය නොහෙළා බලාගත් වනින්ම සිටිනු ඇත. කඳුමත වු මේ චමත්කාර දර්ශනය සැතපුම් ගණන් හමුවනුයේ තිරියායි ගිරිහඬු සෑය සංවර්ධන සමිතිය මගින් පටන්ගෙන ඇති නව දියුණුවේ කටයුතුය. ශ්‍රී මහා බෝධි ශාඛාවක්ද පිහිටුවා සංඝාවාසය විශ්‍රාම ශාලාව නවවටදාගේ ආදිය පටන් ගෙන තිබෙනු බැලිය හැකිය.
ඒ අතර නීතූපත්පාණ වැවට යාන්ඔයේ වතුර ගමන් කළ වාරි මාර්ගයෙන් එතෙර වනු සඳහා බෞද්ධ රජ දරුවන් කළ ගල් පාලමක් වේ. ඒ ආසන්නයේ ම පෙනෙන ගල් කණු ආදී නටඹුන් වාසල් කඩක ශේෂයකි. එයට පසු දර්ශනය වන මනහර පොකුණු කුට්ටම මැදින් ආකාශ චෛත්‍යය වෙත ගමන් ගන්නා අලංකාර ශීලාමය පියගැට පෙළ ලොව අදත් හමුනොවු කලාත්මක ගල් වඩුවන්ගේ දස්කමක් යයි සෙනරත් පරණවිතාන සූරීන්ගේ නිගමනයට ලක්වුවකි. සැතපුම් කාලකට ප්‍රමාණයේ වු මාවතට තනා ඇති මේ පඩි පේළි සඳහා වු ලීස්තර බේරා දර්ශනය කැටයමින් නිමවු අත්වැල් දෙක ලංකාවේ හමු වු එවැනි එකම අපුරු ගල් කර්මාන්තයකි.
පදා ගත් වටදා ගෙයි නටඹුන්
අපගේද බලවත් ඉල්ලීම නිසා චාල්ස් ගොඩකුඹුරේ පුරාවිදු අධිකාරීතුමාගේ කාලයේ මේ ශීලාමය පියගැට අලුත්වැඩියා කිරීමෙන් කුඩාවුනට හා මහළු අයටද සෑය ළඟට පහසුවෙන් යා හැකිවිය. උප පුරාවිදු අධිකාරී රෝලන්ඩ් ද සිල්වා නිර්මාණ ශිල්පින් කුට්ටම් පොකුණ පරික්ෂා කිරීමේදී පොකුණු හතර වටේම පතුලට බැසීමට ගලෙන් වු පිටගැට ලෙසින් නිමවා ඇති බැව් නටඹුන් වලින් පෙන්වා ඇත. ශීලාමය පඩි පෙළේ අඩි 150ක් පමණ නැගෙත්ම වමතින් කටාරම් කෙටු ගල් ලෙනකි. එහි කළුගල් යොදා සමතලා මුදුලක් තනා තිබේ. ඉනුත් අඩි 100ක් පමණ පඩි පෙළේ නැගෙන විට සෙල් ලිපියක් සමග ගල් ලෙනකි. මිහිදු මහ රහතන් වහන්සේගේ කාලයේ පමණ ලෙන සඟ සතු කළ බැව් ලිපියෙන් දැනගත හැක.
මෙම ගල්ලෙනෙන් උඩ මතුපිට පරික්ෂාවෙන් බලා කියවිය හැකි තිරියායි සෙල් ලිපිය තපස්සු භල්ලුකයන් ඇරඹු කේශ ධාතු චෛත්‍යයේ විස්තරයයි. ඔප මට්ටමින් තොර වු ගල් තලාවේ පේළි එකොළසකින් නිමි. මේ ලිපිය අටවන සියවසට අයත්ය. සංස්කෘත දේවනාගරාක්ෂරයන්ගෙන් ලියවී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශීලා ලේඛන සංග්‍රහයේ [Epigraphia Zcylanca IV] සිව්වැන්නේ පුරාවිදු අධිකාරී පරණවිතාන විද්‍යාකීර් තීන් විසින් තිරියායි සෙල් ලිපියේ පේළි එකොළස ලෙස ගිරිහඬු සෑය වන්දනා කරන වාක්‍යය එකොළසක් ලෙස හඳුන්වා දී ඇත. එහි 1 – 10 ශ්ලෝක නර් දට වෘත්තයෙන්ද 11 වැන්න උපජාති වෘත්තයෙන්ද බදනා ලදැයි පවසයි. එසේම කාලයේ උවදුරු වලින් වැනසී ගිය අකුරු පිළිබඳවද අදහස් දක්වාලයි. ගිරිහඬු සෑය පිළිබඳ මහායාන බෞද්ධයන්ගේ භක්තිඝීතයක් වු ඒ ලිපිය ඔබද මෙසේ ගායනා කරන්න.
ගිරිකණ්ඩි චෛත්‍යය වන්දනා ගීතය
1.”අවිරත භක්ති යුක්ත හෘදයෛරවදාත ගුණෛනනඃ
ප්‍රථමතර ප්‍රදාන ගුණ මුර් තිභිරේක ගුරෞ
භගවති ශාක්‍ය රාජ තිලකෙ සුගතෙ සුතරා
මධිගත ධාතුරු ජ්වලිතී සම්මුඛමේව මුනේඃ”
බැති හදවතින් හා පවිත්‍ර ගුනයෙන් හෙබියා වු ද එක ගුරු භාග්‍යවත් ශාක්‍ය රාජ තිලක සුගත බුදුන් වහන්සේ වෙත ප්‍රතමයෙන් දන් පිළිගැන්වුද, වෙළෙඳ දෙබෑයන් විසින් මුනින්ද්‍රයන් වහන්සේ හමුවේදීම ලද කේශ ධාතුන් වහන්සේ බබළයි.
- “සලිල නිධි ප්‍රයාණ චතුර්ඃක්‍රය වික්‍රයහිඃ
බහුවිධ යාන පාත්‍ර පරිපූරික භාණ්ඩ ශතෛඃ
කුශල වසාත් නිජ දේවතයාපි සදා
භවති භවීෂ්‍ය දල්ප ගිරිකණ්ඩික මිත්‍යුදිතෙ”
සමුද්‍ර තරණයේ සමත් වු පෙර පින් ඇති තපස්සු භල්ලික වෙළෙඳුන් විසින් සිය ගණන් බඩු බාහිරාදිය පුරවා ඇති නැව් වලින් පැමිණියමුන්ට සහලේ දෙව්දු විසින් කුඩා ගිරිහඬු සෑයක් වන්නේයැයි කීයේද?
3. “සලිල නිධිස්ථෛඃ සමචතීය්‍යී සමනෙ ගුණෛ
රූපගත නාගරාජ සමිතෛ රූප ශාන්ත තරෛඃ
තදපී වර් ණගණෛඃ කෘතමිදං ප්‍රවිභාති මුදා
වර ගිරිකණ්ඩි ච්‍යෛ මිතියත් ප්‍රතිතම් භුවනෙ”
සමුද්‍ර තරණය කළ ගුණවත් නාගරාජයන් සමග උපසාන්ත වු වෙළෙඳ සමුහයා විසින් සතුටින් කරන ලදැයි ලොකප්‍රකට වු ඒ මේ ගිරිහඬු සෑය බබළයි.
- “—– සකල මාවෘත මම්බූරුහ
ප්‍රකර කෘතොපහාර රුචිරඬ්ගත භූමිතලම්
සතත මහි ප්‍රසන්න නර මණ්ඩල භක්ති නක්‍රම්
වර ගිරිකණ්ඩි වෛචත්‍යය මහිනම්‍ය කරොමි නතම්”
නෙළුම් මලින් පුද ලදින් සෑය අවට බිම [මළුව] අලංකාර වුයේ නිතර ප්‍රීතියෙන් භක්තියෙන් මහ ජනයා වන්දනා කරන්නෝය. මමද ඒ ගිරිහඬු සෑය නැමී නමස්කාර කරමි.
- ” මකුට මණෞ කෘත ස්ථුට මහා මුනි බිම්බධරො
නිවසති යත්‍ර සිඳ සුර කින්නර පූජ්‍ය තමඃ
ගුරුරව ලෝකිතේශ්වර ඉති ප්‍රථිතො භගවාන්
තදහරහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමහම්”
මහා මුනි [ බුදු ] රුවන් නෙළුෑ මාණිකය සහිත ඔටුන්න දරන්නා වුද , සිද්ධ සුරකින්නරයන්ගේ පූජා ලබන්නා වුද , ගරු වු අවලෝකිතේස්වරයයි ප්‍රසිද්ධ භාග්‍යවත් හු යම් තැනෙක වෙසෙද්ද ඒ ගිරිහඬු සෑය මම දවසක් දවසක් පාසා නමස්කාර කරමි.
- ” මුනිරපි මඤ්ජුවාග් මදන දෝස විසාද හරඃ
කනක විභූෂණේ ජ්වල විචිත්‍ර ගාත්‍ර රුචිර්
නියත මුපෛති යත්‍ර සුකුමාර තනූර් භගවාන්
තදම්පි ප්‍රණෞමි ගිරිකණ්ඩික චෛත්‍ය වරම්”
මද දොස් විසාදය හරින්නා වු රන් බරණින් බබළන ගතින් හෙබියා වු සුකෝමල ශරීරයක් ඇත්තා වු මඤ්ජුවාග් [මඤ්ජු ශ්‍රී] මුනිතෙමේ නියතයෙන් යම් තැනකට එළඹේද ඒ ගිරිහඬු සෑය මමද ප්‍රණාමය කරමි.
- ” සුර සරිදබ්ජ පර් ණා පුට පූරිත ගන්ධ ජලාඃ
කරහෘත පුෂ්ප ධුප මණිදීප නිවේද්‍ය ධරඃ
සලලිත මඞඝනා සයුර පුරාදව තිය්‍යර් මුදා
විධදති පූජනාං භගවතො ගිරිකණ්ඩි ජූෂඃ”
අහස් ගඟේ [හටගත් ] නෙළුම් පත්‍ර වලින් තැනු ගොටු පුරා සුවඳ පැන්ද පියුම්ද සුවඳ දුම්ද මිණි පහන්ද නිවෙද්‍යද අතින් ගෙන සුරඞගනාවෝ සුරපුරෙන් ලීලාවෙන් බැස ගිරිහඬු [ගල්තලා] වෙහි ප්‍රීතිවන්නාහු භාග්‍යවත් බුදුන් වහන්සේ පුදති.
- “සුරපති රජ්‍යනෙ පරිවාර සුරානුගතඃ
සලලිත දිව්‍ය ශන්බ පටහ ප්‍රනිධානුගතඃ
සුරතරු සම්භවාද්‍ර කුසුම ප්‍රකර විකිරන්
වරගිරි කණ්ඩිකේ ප්‍රණීපතන් කුරුතේ සුකුරුතම්”
සුරපති වු සක්දෙවිදු අනෙක පරිවාර දෙවියන් සමග දිව්‍ය ශන්බ භෙරින් උසස් නාදයෙන් ලීලෝපෙතව දිව්‍ය වෘක්ෂයන් සිසිල් කුසුම් පොකුරු පොකුරු විසුරුවමින් උතුම් ගිරිහඬු [ගල්තලා] වට බසිමින් භක්තියෙන් වැඳුම් පිඳුම් කරති.
- ” ප්‍රතිදින මර් චයමාන මහධිභිරනේක ශතෛඃ
අවිරල සිංහලෙන්ද්‍ර ජන කල්පිත පූජ්‍ය ශතම්
විෂය නිරීහ කාරණ මුපාසිත මාය්‍යර් ශතෛ
රතමපි පූජයාමි ගිරිකණ්ඩිගතම් සුගතම්”
දිනපතා මහ නැණවතුන් විසින් පුදනු ලබන්නා වුද සිංහල රජ දරුවන් හා මහ ජන සමුහයා විසින් නිතර පැවැත් වු සිය ගණන් පූජා [වස්තු] කටයුතු වලින් නොඅඩු වුද සිය ගණන් ආර් යය [නිකෙලෙස්] ජන සමුහයා විසින් ගැවසී ගත්තාවුද, පස්කම් සැප දුරු කිරීමේ උපාය මාර් ගයක් වුද, ගිරිහඬු [ගල්තලා] වට වැඩම වු සුගත බුදු පියාණන් වහන්සේට මමද පූජා කරමි.
- “සකල තමො පහමහගවතෝ දශ භූමිගා
වර ගිරිකණ්ඩි නිලයෙ ප්‍රතිනිම්නදියා
ඉතිනුව තාමයද් භවත් කුශලම් ප්‍රචීතම්
භවතු භවාබ්ධි දුඃඛ පරහින මතේත ජගත්”
සකලාන්ධකාරය පහ කරන්නා වු භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතු නිදන්ගත සෑයේ ගේ දෙස බැලූ සිතින් ලැබු යම් ඒ කුශල සමුහයක් වේද එයින් ලෝවැසියා සසර දුක කෙළවර කෙරෙත්වා!
- “කෘත ප්‍රතිඥෛ ම—-
——– යාන
ත්‍රපුෂ්‍යතෛර් වල්ලිකෛර් වර් ණගතණෛඃ
කෘතං කෘතාර් ථෛඃ ගිරිකණ්ඩි චෛත්‍යම්”
දැන් වු කටයුතු නිමවා – ත්‍රපෂ්‍ය භල්ලික වෙළෙඳ සමාගම මගින් ගිරිහඬු සෑය කරන ලදී.
" රාසවාස් සවභාවාස් සර් ව ධර් මාඃ"
සියලු ධර් මයෝ නැසෙන සුලුය.
මේ සෙල් ලිපියටම සම්බන්ධ වුවකැයි පැවසෙන වක්‍යයක් මේ අසලම ගලේ පඩි පේළිවල යාව ලියා තිබේ. පඩි පේළි ගැන එන අයට ගල්ලෙන සමීපයේ වු මේ සෙල් ලිපිය බැලිය හැකිය.
පරණවිතාන සූරීන් අනුමාන කරන වටදාගේ සැලැස්ම
“සිංහලෙන්ද්‍ර සිලාමෙඝ මහාරාජස්‍ය ත්‍රයො විංශතිමේ වර් ෂේ රාජ්‍යෙ ලිඛිතම්”
“සිංහලෙන්ද්‍ර [අග්‍රබෝධි] සිලාමෙඝ මහ රජුගේ විසිතුන් වැනි රාජ්‍ය වර් ෂයේ ලියන ලදී”
ක්‍රි. ව. 733 දී අනුරාධපුරයේ රජ වු මේ අග්‍රබෝධි සිලාමෙඝ රාජ්‍යයන් මහායාන බෞද්ධ මධයස්ථානයක් බවට පරිවර් තනය කළ ගිරිහඬු සෑය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර ඇත. ඉන්දියාවේ කාංචි පුරයේ රජය වු නරසීහ පොත වර් මන් පල්ලව රාජයන්ගේ හිත මිත්‍රයෙකු වු සවන අග්බෝ රජතුමන් දකුණු ඉන්දියාව චීනය ආදී විදේශ සබඳතාවයකින් රට රැකවරණය කළ බැව්ද විදේශීය සටහන් වලින් පෙනී යයි. තිරියායි සෙල් ලිපියේ අකුරු වලට සමාන සෙල්ලෙපි අකුරු කාංචිපුර රාජ්‍යධානියේදී හමු වී තිබේ. මේ සෙල්ලිපිය හැර මිහින්තලේ ත්‍රිකායසතව මහායාන ත්‍රිකාය නමස්කාරයද මහායාන බෞද්ධ අදහස්වලින් ජාත්‍යන්තර සබඳතාවය තහවුරු කරයි.
අමොඝ වජ්‍ර මහායාන බෞද්ධ තෙරුන් ගෞරවයෙන් පිළිගෙන ධර් ම ප්‍රචාරක කටයුතු මෙහෙයවන අතරේ තිරියායි සෙල් ලිපියද ලේඛනගත වියැයි සිතිය හැක. අමොඝ වජ්‍ර තෙරුන් පිළිබඳ ඇතමුන් ලාංකිකයෙකු හැටියටද පිළිගෙන ඇති නමුත් උතුරු ඉන්දියාවේ බමුණු කුලයෙක උපත ලද්දේයැයි සඳහන්ය. මේ තෙරුන්ගේ ආචාර් යවරයා වු ලක්දිවද මහායාන ධර් ම ප්‍රචාරයේ යෙදුන වජ්‍රබෝධි තෙරුන් දකුණු ඉන්දියාවේ මලය දේශයේ උපන්නෙකි. මේ තෙරවරු දෙපොළ ඉන්දියාවේ චීනයේ ලාංකවේ ධර් ම ප්‍රචාරක කටයුතු වල යෙදුන අතර බෞද්ධ ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා ඇත. එසේම රාජ පූජිතයෝද වුහ.
මහායාන බෞද්ධ කවි කෝකිලයා මෙතරම් සුමධුර සුලලිත ගීතයක් ගැයීමට භක්තිමත් ශ්‍රද්ධාවකින් වන්දනා කිරීමට චිත්ත වේගයක් පහළ වුයේ කුමක් නිසාද? අදත් මේ නටබුන් වු අති පූජනීය ස්ථානයට පා තැබුවෙක් නෙත් සිත් හෙළු කෙනෙක් වෙත්ද ආගම භක්තියෙන් පිනායෙත් සෞභාවික සෞන්දර්‍ය්යෙන් ප්‍රමෝද වෙත් ජාත්‍යාලයෙන් වේගවත් වෙත්.
තිරියායි සෙල්ලිපිය ලියන කාලයේ එය ගිරිහඬු පෙදෙස් වැසියන් අතරේ මුල් බැසගත් කට කතාවක් විය යුතුය. මේ කාලය වන විට තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් ලක්දිව පැමිණ කේශ ධාතු තැන්පත් කර වර් ෂ 1200ක් පමණ වෙයි. එතෙක් පරම්පරාගත මහා ජන මතයක් ගලේ ලියවී ගියේය. අග්‍රබෝධි සිලාමෙඝ රජයන්ගෙන් පසු පර සතුරු උවදුරින් විනාශයට පත් ගිරිහඬු වෙහෙර මහා විජයබාහු රජු විසින්ද ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ ලියවී ඇත.
දොළොස්වන සිය වසෙන් පසු ලක්දිව නැගෙනහිර වෙරළ ප්‍රදේශය සිංහල බෞද්ධයන්ගෙන් හිස් වුයේ චන්ද්‍රභානු මාඝ ආදී පර සතුරන්ගේ යුද වැදීම් නියායැයි ඉතිහාසයෙන් පෙනේ. එදා ආරක්ෂා ස්ථානයක් බලා ගිය ගිරිහඬු පෙදෙස් වැසියන් දෙවන පැරකුම්බා රජු දවස මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර ස්ථවරියන් වහන්සේ හමුවේ ගිරිහඬු පුවත කියා ඇත. එහෙයින් උන්වහන්සේ පූජාවලියේ අරිහත් ගුණය වර් ණනා කරමින් වර් ෂ 1700 පැරණි පුවතක් මෙසේ ලියන ලදී.
“මෙසේ මේ සත්වන සතියෙහි බුදු වු පනස් දා මුළුල්ලෙහි ආහාර කෘත්‍යක් නැතිව නිවන් සුව වදාළ දවස් යැවු කළ බුදු වු පනස්දා උදෑසන අරුණ නැගී වෙලෙහී ශක්‍ර දේවේන්ද්‍රයා අමා අරළු සුණුකඩක් ශ්‍රී හස්ථයට පිළිගන්වා ලීය. ඒ දිව්‍යමය වු අරළු වැළඳු කළ බුදුනට සිරුර පිළිදැගුමි විය. එකෙනෙහි මාගේ ස්වාමිදරුවෝ පනසීයක් යොදුන් උස හිමාලයෙහි සම පනස් යොදුන් අනවතප්ත විලට වැඩ අනනතා පරියනත වු බුදුනනටම නියමව තැබු සුගත නම් තොටට බැස එම ශක්‍ර දේවේන්ද්‍රයා විසින් පිළිගැන්වු නාලිය දැහැටි වළදා මුඛ දෝවනය කොට නැවත වැඩ එම කිරිපලු රුකමුල වැඩ හුන් සේක.
එකල බුදු කෙනෙකුට අග්‍ර භෝජනයක් දෙමියි කල්ප ලක්ෂයක් පතා ආ තපස්සු භල්ලික නම් වෙළෙඳ දෙබෑ කෙනෙක් උතුරු දනව්වෙහි සිට පනසීයක් ගැලින් බඩු පුරවාගෙන මධ්‍ය මණ්ඩලයට යන්නාහු ඒ කිරිපලු වනයට පැමිණියාහ. පෙර ඔවුන් සහලේ නෑ දේවතා දුවක් ඒ වනෙහි වසන්නී.
වෙළෙඳ දෙබෑයන් යන්නවුන් දැක උන් ලවා අද බුදුනට දන් දෙවා උන්ට වැඩක් කෙරෙමියි සිතා උන්ගෙන යන පනසීයක් ගැල් නාභිය දක්වා පොළොව ගලාපුව අදනා ගොන් තණබිම ඇණ රදා ගියහ. වෙළෙඳ දෙබෑයෝ බියපත්ව මේ වනෙහි දෙවි කෙනෙකුන් කළ වැඩකයි දැන ගඳ දුම් මල් පහන් පුදා දෙවියන්ට ආරාධනා කළහ. එකල දේවතා දූ දෙව් පිරිස් පිරි වරා ආකාශයෙහි සිට ඔවුනට පෙනී භයහරවා ” මාගේ බුදුහු බුදුවු දා පටන් එකුන් පනස් දවසක් මුළුල්ලේ තව දක්වා නිරාහාරයෙන්ම සත් සතියක් යවා දැන් මාගේ මේ වනෙහි පින් කෙත්ව වැඩහුන් සේක.
තොපටත් මටත් පින් පිරූ පරලෝ වැඩ නිසා බුදුනට අග්‍ර භෝජනයක් දෙවාලනු කැමැත්තෙමි. මෙසේ බුදුන්ගේ ගුණ කියා බුදුනට දනක් දෙන සේ ඔවුන් සමාදන් කරවා ගෙන ඒ පනසීයක් පෙරටුව සිට ආරාධනා කළහ. මහා බ්‍රහ්මයා පිළිගැන් වීමට අන්තර් ධානව ගියහ. කිරි පිඬු පිළිගත් තළිය නාග භවනයට ගියේය. එසේ හෙයින් බුදුහු නම් පාණී පාත්‍රයෙන් නොපිළිගනිති. කවර පාත්‍රයකින් පිළිගනිම් දෝහෝයි සිතා වදාළ සේක.
එකෙනෙහි මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ සසර ජාති ජාතියෙහි දන් දුන් චතු මධුර පූර් ණ පාත්‍රයන්ගෙන් අනුභාවයෙන් වරම් රජ දරුවෝ සතර දෙන ඉන්ද්‍ර නීල මාණිකම්‍ය පාත්‍රා සතරක් ගෙනාහ. බුදුහු පෙර බුදුවරයන්ගේ චාරිත්‍ර බලා ඒ පාත්‍ර නොඉවසා වදාළ සේක. නැවත මුං වන් පැහැති ශෛල පාත්‍රා සතරක් ගෙනවුත් ” මාගේ පාත්‍රයම ගත මැනව. මාගේ පාත්‍රයම ගත මැනවයි ” කියා බුදුනගේ ශ්‍රී හස්තය නැමැති පියුමට බස්නා නීල භෘංග රාජයන් සතර දෙනෙකුසේ මතු මත්තේ තබාපීහ.
බුදුහු වරමුන් සතර දෙනාට අනුග්‍රහ සඳහා සතර එක පාත්‍රයක් වේවායි අධිෂ්ඨාන කොට වදාල සේක. එකෙනෙහි සතර පාත්‍රයම එක්ව ඇලී සතර මෝවිට තෝරා රේඛා පෙනී එක් පාත්‍රයක් විය. එකල බුදුහු ඒ පාත්‍රයෙන්ම මී පිඬු පිළිගෙන පළමුවන භෝජනය වළදා ඒ වෙළෙඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුදු සරණ දම් සරණ පිහිටුවා ඔවුන් බුදු සස්නෙහි දෙවේවාචික උපාසක කළ සේක. ඒ වෙළෙඳ දෙබෑයෝ “ස්වාමිනී, නිති අපට වැද පුදා ගන්නා නියායෙන් වස්තුවක් දුන් මැනවයි ” යි කීහ. ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශ ධාතු මිටක් දුන් සේක.
ඔහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජලයාත්‍රාවේ ඇවිද ශ්‍රී ලංකාදීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තැබු පළින් සොළවාගත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ. එතන නම් වෙහෙරෙක් විය.
[ජූජාවලී 12 වැනි ප්‍රිච්ජේදය]
ඇල්දිය උල්පතක්
තිරියායි සෙල් ලිපිය බලා එයට දකුණු දෙසට අඩි150ක් පමණ ගමන් කිරීමෙන් ගල පළාගෙන මතු වු ඇල්දිය උල්පතක් හමුවේ අඩි හයක් ගැඹුරුව පොකුණක් ලෙසින් නිමවා ඇති මේ උල්පතේ අවට වැව් පොකුණු වල වතුර සිදීයන ග්‍රීස්ම කාලයේද දිය බිදක් හෝ නොසිදී පවතී. එදා රහතන් වහන්සේලා හා භාවනා යෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙය නිමවා වියැයි සිතිය හැක. ඉන් බටහිර ගමන් කළ විට යෝගීන්ගේ පසුබිමක් හමුවේ.
ලංකා පොකුණ
නැවත පඩි පේළිවල නැගී උතුරු දෙස බලා ඉහළ නැගෙත්ම පියගැට පේළි බටහිර දෙසට ගමන් කිරීමට යොදා තිබේ. මේ පියගැට පෙළේ වු වංගුවට උතුරු දෙස ලංකාවේ හැඩහුරුකම ඇදී ස්වභාවික ලක්ෂණ මවා පෙන්වමින් නිර් මාණය කරන ලද අඩි 100x30 ඇල්දිය පොකුණකි. සිංහලයාගේ විශාරද ඥාණය විදහා පෙන්වන අපූරු නිර් මාණයක් ලෙසින් හැඳින්විය හැකි මේ පොකුණට දොරටුවක් සහිත ප්‍රකාරයක් ගලින්ම තනා ඇත.
එම දොරටුව යොදා ඇත්තේ ධනුස්කොඩිය නම් ඉන්දියාවේ සිට ලංකාවට ළඟා වන මාර් ගයෙනි ඉන් ඇතුළු වී තලෙයි මන්නාරමට යාමට පඩි පේළි වෙයි. තලෙයි මන්නාරමට ගිය පසු යාපනයට ළඟා වීමටද පඩි පේළි යොදා තිබේ. උතුරු නැගෙනහිර වියළි ප්‍රදේශ මතුකර උස්ව සිටිනා සේ නිමකර ඇත. ලංකාවේ වැස්ස පවතින ඒ ඒ පළාත් දියෙන් පිරීයන සේ මේ මහ ගල්පර් වතය හරහා ගල් වෙන වෙන වැඩට යොදාගෙන ඇතැයි සිතිය හැක. එක වැඩෙන් වැඩ දෙකක් නිම කර ගන්නට ඇත.
වාසල් දොරටු මළුවේ ප්‍රාකාරය
පඩි පේළි වංගුවේ සිට බටහිර දෙස බලා නැග නැගෙනහිර වහල්කඩේ සහ මළුවේ වට ප්‍රකාරයේ ශිලාමය නටබුන් නැරඹීය හැක. පුරාවුදු අදිකාරියෙන් පරීක්ෂාකරන අවදියේ වහල් කඩට යාව ප්‍රාකාරයේ කොටසක් ක්ෂ්‍යව තිබුණේය. අක්කරයක පමණ වු මේ පූජනීය වැලි මළුව වටාවු මේ ප්‍රාකාරයෙන් අඩි දෙකක් පළල පනා බැම්ම ගලින්ම නිමකර ඇත. මේ නැගෙනහිර වහල්කඩ දැනට තරමක් අලුත්වැඩියා කර තිබේ. ප්‍රාකාරයේ උතුරු දෙසෙටද වහල්කඩක් සමග නැගෙනහිර පඩි පේළි සමාන ශිලාමය සොපාන පෙළක් ඇත. වැලි මළුවට ඇතුළුවන විට ප්‍රයෝජන ගැනීමට ගලින් තැනුන දිය පොකුණක් වේ.
උතුරු පියගැට පේළිය
මේ පඩි පේළි පඩි උතුරු දෙසින් නැග ඒම සඳහා යොදා ඇත. පඩි පේළි පටන් ගන්නා කඳු පාමුල දෙපස පොකුණු කුට්ටමකි. පඩි පේළි නැග මැද මුදුන දෙස නැරඹීමට කැලෑව අනාවරණය නොවුයේය. පඩි පෙළ යාබදව මැද මිදුලක් තිබේ. මේ මළුව සතර දෙසින් මුරගල් යෙදු සතර මං සංධියකි. එහි බටහිර දෙස රජ වාසල ලෙසින් අනුමාන කළහැකි විශාල මන්දිරයක ගල්කණු ගල්ලෑලි ආදිය අත්තිවාරම සමග ඇත. මෙහි නැගෙනහිරට අඩි 50ක් පමණ දුරින් වු මන්දිරයේ ගල් දොරටුව සමග කොරවක් ගල් ආදිය දෘශ්‍යමාන වේ.
වටදා ගේ හා ගිරිහඬු සෑය
මහ වහල්කඩ දොරටුවට ළඟාවත්ම නෙත්සිත් පිනායන ජාතිකාගමික කර් මාන්තයේ දර් ශනය ඔබ ලබා ගන්නේ සුර විමනක් බදු වටදා ගේ දැක්මෙනි. පුරාවිද්‍යා අදිකාරිය මගින් කෙරෙන අලුත්වැඩියාව කොටසක් පමණ නිමා වෙද්දී මෙතරම් ලස්සනට පෙනේ නම් එය නිමවුවායින් පසු කෙතරම් අලංකාර දර් ශනයක් වේද? රාජාද සිල්වා පුරාවිදු අදිකාරීතුමන් වටදා ගේ හා පඩි පෙළ සොයා බලා එහි කටයුතු නිමවාලීමට කඩිනම් වැඩ පිළිවෙළක් යොදන ලදී.
ගිරිහඬු සෑය තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කර ගල් ගොඩකින් වැසීමෙන් ආරම්භ වු බව පූජාවලියේ සඳහන්ය. එදා ද ගිරිහඬු පව්ව මත විසු ප්‍රදේශ පාලකයා වන යක්ෂ ගොත්‍රිකයාගේ පටන් ගිරිකණ්ඩ ශිව, පණ්ඩුකාභය දෙවනපෑතිස් ආදීහුද සමාන කළ හයි අනුමාන කළ යුතුය.
ක්‍රි.ව. 412 පෙර ගිරිහඬු සෑය අවට විසු බෞද්ධයන්ගේ අති පූජනීය ස්ථානයක් බව විශුද්ධිමාර් ගයේ එන කුල දුවගේ කතාවෙන් පෙන්වා දෙයි. එදා වතකාල ගම කුල දුවගේ මිදුලට පෙනුනේ සඳ රැසින් නැවෙන ගිරිහඬු සෑය මුතු රැසක් ලෙසින් එදා බෞද්ධයන්ගේ පූජෝපාහර පුණ්‍ය ක්‍රියාවන් අරමුණු කළ ගිරිහඬු සෑය නිසා බුද්ධාලම්බන ප්‍රීතියෙන් කුල දුව අහසින්ම සෑය ළඟට ආවාය.
රත් සැල් බතින් ලැව් පහණි
ක්‍රි.ව. 733 දී අනුරපුර රජය වු අග්‍රබෝධි ශිලාමේඝ රාජයන්ගේ කාලයේ කලින් වු සෑය වසා අද පෙනෙන කංචුක සෑය හා වටදා ගේ නිමවුයෙයි අනුමාන කරනුයේ " රත්සල් බතින් ලැව්පහණි " යන සිංහල සෙල්ලිපිය නිසාය. මැටි ගඩොලින් වු මුල් සෑය නිම වුයේ කවරකු විසින්දැයි නියම ඉතිහාසගත තොරතුරු මෙතෙක් සොයා ගත නොහැකි විය. කංචුක සෑයේ ගඩොල් කොටසක් ඉවත් කර පැරණි සෑය බලා ගැනීමට සලස්වා ඇත. පැරණි දා ගැබේ තලය අණ්ඩාකාර ලීස්තරයකින් තැනී ඇත.
කංචුක සෑයේ බැම්ම ගඩොල් කැබැලි වලින් පුරවා බඳනා ලද්දේය. මේ සෑයේ විෂ්කම්භය අඩි 32 1/2 කින් කවාකාර වුයේය. ඇතුළු සල පතළ මළුව අඩි 3 1/2 කින් පළල්වද, අඩි 1/2 කින් උස්වද තැනී ඇත. මේ සල පතළ මළුවේ බටහිර දෙස ලියා ඇති ඉහත දැක්වෙන සෙල්ලිපියෙන් රත්සැල් බත නැමැත්තෙකු විසින් ගල තැබු බව කියැවේ. රජුගේ හිතවත් එනම්, සේවකයා ලවා ගලක් තැබ වු බව සිහිකට යුතුය. මාලේ කණු දොළොසක් යොදා ඇත.
මේ ශිලාමය කුළුණු අඩි 14 1/2 උසට හිසත්, සමග නෙලා තිබේ.ඒවායේ බිම සිට අඩි 4 ක් සතරස්වද, වද උඩ කොටස අටැවස්ද ඇත. මේ ගල්කණු පේළිය සිට අඩි 12 අඟල් 9ක් හෝ සෑයේ පාදයේ සිට අඩි 6ක් හෝ දුරින් වු පිට මාලේ ගල්කුළුණු 32ක් අටැවස්ව නෙලා ඇත. මේ කුළුණු 44ම කැටයමින් එතෙර විචිත්‍ර නොවේ. එහෙයින් හුණු බදාමෙන් ඒවා සිත්තම් වුයේ යැයි පුරාවිදු අදිකාරය අදහස් කරයි. එසේම පිටමාලේ කුළුණු පාදයේද හුණු බදාමෙන් නෙළුම් මලක් නිමවා ලන්නට ඇතැයි අනුමාන කරයි.
තිරියායි සෙල්ලිපියේ සෑය අවට නෙළුම් මල් වු බව ලියවී තිබේ. ඇතුළු මාලේ අලුත්වැඩියා කල ශිලාමය නෙළුම් මල් අකි. එහි උස අඩි 2 1/2 කි. එවැනි මල් කීපයක කැබලිද ශේෂව තිබේ.
අනුරාධපුරයේ ථුපාරාමය මැදිරිගිරිය ආදී වටදා ගෙවල වහළ රඳනා ගල් කණුවල හිස වෙනම නෙළා සවිකර ඇතත් තිරියායි වටදා ගෙයි ගල් කණු හිසත් සමග තනි ගලෙන්ම නිමා කර ඇත. සෑයේ සිව් දෙසින් අලංකාර කැටයමින් විචිත්‍ර වු ගල් ආසන සතරකි. උතුරු දකුණු දෙදෙසින් වුයේ අඩි 5 1/2ක් දික් වුද, අඩි 3 1/4ක් පළල වුද, ආසනය ඉතිරි ආසන අඩි 4 අඟල් 10ක් දිගය, අඩි 2 1/2ක් පළලය. මේවා ලියවැල් මෝස්තර වලින් හා සිංහ රූපවලින් විචිත්‍ර වුයේය.
මේ ආසන හතරේ සමාධි ප්‍රතිමා තැන්පත් කර තබන්නට ඇත. ඉන් එක සමාධි ප්‍රතිමාවක් දැනට ශේෂව තිබේ. අනික් ප්‍රතිමා තවම හමු නොවුයේය. පිට මලේ මල පතළ මළුව සීමාවන පිටතින් වු වටදා ගෙයි සෙල්මුවා බිත්තිය ඇතුළතින් උස අඩි 6කි. සම්පූර් ණ බැම්ම පිටතින් උස අඩි 10 අඟල් 4කි. එහි ඔප දැමු පනා බැම්ම අඩි 2 අඟල් 4ක් ඝනය. ඒ බිත්තියේ ඉහළ පෙදෙස් පිටත සම දුරින් පන්නා සවිකර ඇති ගල් තහඩු වල සතරැස් සිදුර බැගින් ඇත.
ඒ සිදුරු වල වහළ දක්වා උස ලී කණුද සවිකර කණු පේළි තුනක් යොදා ඇතැයි ද ලී කණුවල ආධාරයෙන් වහළ රඳවා බිත්තියේ මුදුනත් වහළත් අතර ලී වේදියක් පොළොන්නරුව, මැදිරිගිරිය ආදී වටදා ගෙවලට අදහස් නොකළ හෙයින් ඒවායේ පිට බිත්තිය වහළතෙක්ම උස් යෙදී ඇතැයි ද ඒ නිසා තිරියායි වටදාගේ විශේෂ නිර් මාණයක් හැටියටද හඳුන්වා දෙති.
වටදා ගෙයට ඇතුළුවීම සඳහා සතර දෙසින් වු දොරටු වහල්කඩ ලෙසින් ඉදිරියට පන්නා ශොභා සම්පන්න පෙනුමකින් යොදා ඇත. මෙම වහල්කඩවල ඇතුල් පැත්තටත් පිට පැත්තටත් සෙල්මුවා උළුවහු දෙකක් වු අතර බැම්ම ලීස්තර යොදා මැටි ගඩොලින් නිමා වුයේය. වටදාගේ ඇතුළත වු සල පතල මළුව වැලි මළුවේ සිට අඩි 4 අඟල් 4ක් පමණ උස්ව පිහිටියේය. සල පතල මළුව තෙක් ප්‍රමාණයෙන් වු පිටත බිත්තියේ වටේ සෙල්මුවා ලීස්තර බේරා ඉන් ඉහළ පෙදෙස ගර් භාකාරයට ඔප දැමු සෙල්මුවා දාගැබක හැඩහුරුකම පෙන්වා දෙයි. සල පතල මළුවට පිවිසෙන වහල්කඩ දොරටුවේ දර් ශනය මුරගල් කොරවක්ගල් යෙදු පිටගැට පේළි වෙයි.
නාග දොරටුපාල රූප හා කොරවක්ගල්හි වු මකර රූපාදිය සිංහල කලා කෞශල්‍යයේ මහානියන්වය විදහා පෙන්වයි. දොරටුපාල රූපයන්හි වු දෑත රැදි භාණ්ඩයන්ගෙන්ද මද වු පැළඳි ආභරණයන්ගෙන්ද ඉරියව් පවතිනුයේ තාපස ගුණය හා මුදිතා ලක්ෂණය මවා පෙන්වීමකි. පිටගැට පටන් ගැන්මේදී යොදා ඇති සඳකඩ පහණේ මුල් යුගය ඉන් සිහියට නැගේ. පල්ලව කලා සම්ප්‍රදාය මුර් තිමත් වු අතර මේවා අනුරාධපුර ථුපාරාමයේ හා රත්න ප්‍රාසාදයේ රූපයන්ට වඩා පැරණි යුගයද නිර් මාණයක් හැටියට හඳුනාගෙන ඇත. මෙහි වු මුරගලක උස අඩි 4 අඟල් 4 කි. පළල අඩි 2 කි.
සවන අග්බෝ රජු සමග ගිරිහඬුවේ රැකවල්ලා යුද හමුදා සමග ගිරිහඬු සෑයේ වටදාගේ ආදී ගල් කර් මාන්තයන් මහෙයවා ඇත. තම මිත්‍ර පල්ලව රාජයන්ගේ හා අමොඝ වජ්‍ර තෙරුන්ගේ ආශ්‍රයෙන් යුද සෙබලුන් රැකසිටි මේ සෑය ඔවුන් අමරණීයත්වයෙන් සිහි කරවයි. වාමන රූප සමග වු බටහිර දෙස පිටගැට පේළි මුරගල් රු.10 නෝට්ටුවකද දර් ශනය විය.
වැලි මළුව
වටදා ගෙයි නැගෙනහිර පිටගැට පෙළට දකුණතින් වැලි මළුවෙහි වුයේ තනි ගලකින් නිම වු පැන් පොකුණකි. හතරැස්ව නෙළුම් පොකුණ දිගින් අඩි 6 අඟල් 6කි. පළලින් අඩි 4ක් අඟල්4 කි. අඩියද සෙල්මුවා ලීස්තරයකින් අලංකාරය. පොකුණේ සෙල්මුවා මළුව සීමානතයේද අලංකාර ලීස්තරයකින් නිමියේය. නැගෙනහිර පිටගැට පෙළට වමතින් වුයේ අඩි 12x12 ප්‍රමාණයේ දිගු පුළුලැති පිළිම ගෙයක අත්තිවාරම සහිත නටඹුන්ය. මෙය සෙල්මුවා දොරටු මුරගල් කොරවක්ගල් යොදා මැටි ගඩොලින් නිම වුවකි.
පිළිමයේ පාදය පමණක් ශේෂවී තිබේ. පැන් පොකුණට උතුරු දෙසින් සෑයට යෙදු ඡත්‍රයයි අනුමාන කළහැකි විසිතුරු කැටයමින් යුත් ශිලාමය නිර් මාණයකි. එයට නුදුරේ කුඩා පිළිම ගෙවල් දෙකක නටඹුන්ය. ඉන් එක පිළිම ගෙයකට යොදා තිබෙන දොරටුවේ සෙල්මුවා මුරගල හා කොරවක්ගල් කිසි තැනෙක දක්නට නොලැබෙන අයුරු නිමාවී ඇත. එය දුබල හමුවීමකි.
වටදා ගෙයට දකුණෙන් හා බටහිරෙන් වු ඔත් පිළිම ගෙයක සහ සිටි පිළිම ගෙයක නටඹුන් හමුවී ඇත. නැගෙනහිර දෙසට හිසලා සැතපෙන සේ මැටි ගඩොලින් තැනුන පිළිමය 18 රියනක් දිගය. ගල්කණු යොදා මැටි ගඩොලින් තැනුන මේ විහාර මන්දිරයට සෙල්මුවා දොරටු තුනකි. එහි දිග පළල අඩි 68x36 කි. ගල්කණු සහිත බිත්ති අඩි 5ක් පමණ උසට ඉතිරිවී ඇත.
එම බිත්තිය පිටතින් ලීස්තර බේරා අලංකාරවත් වුයේය. අත්තිවාරම් සමග ඉතිරිවී ඇති බිත්තියේ උස අඩි 2ක් පමණ වේ. අඩි 7ක් පමණ උස සිටි පිළිමයට සුදු ගලකින් නෙළන ලද්දකි. අඩියද සුදු ගලකින් නෙළුෑ පද්මයකි.
මේ පිළිමය සමග උතුරු දෙසින් වුයේ බහිරව රූප දෙකක් සමග වු දෙවොලකැයි අනුමාන කළහැකි නටඹුන්ය. එයට ඇතුළුවීමට දොරටු තුනක් වුයේය. එයට උතුරෙන් වුයේ අඩි 70x36 ක් දිගු පුළුලැති අත්තිවාරම් සමග වු ගල්කණු සමුහයකි. සෑය අවට පරිසරය මළුව තුළ මෙසේ බලත්ම ඈත දුර ඉහළ පහළ දෙසින් දෙස බලත්ම සොබා දහමේ අපුරු දර් ශන පථයක් හමුවන්නේය.
ප්‍රතිභා ශක්තියෙන් ඔද වැඩී ගිය කවි කෝකිලයන් මෙහිදී දෙව් ලොවකට පිවිසියා සේ විනෝද වනු ඇත. ත්‍රිකුණාමලේ වරාය දෙසට විහිදී ගිය කඳුවැටි තැනිතලා නැගෙනහිර දෙසින් දිස්වේ. එසේම නිලාවලි කුච්චවලි ගොඩබිම කඳුවැටි සමග ගැටී ශෝභාත්මවු නිල්වන් මුහුදු තීරය පොඩචකට්ටු උතුරු පෙදෙස අතිශය චමත්කාරය. බෙන්ගාලයේ වරාය නිල්වන් පලසක් ඇතුළාක් මෙන් පෙනේ යැයි පුරාවිද්‍යා කීර් ති සෙනරත් පරනවිතාන සූරීන් විසින්ද ලියා තිබේ. බටහිර දෙසින් පදවිය වවුනියා මැදවච්චිය කැබිතිගොල්ලෑව ප්‍රදේස කඳු හෙල් වැව් පොකුණු අතර යාන් ඔය රීදීවන් නාගයෙකු මුහුදු දෙසට ගමන් කරන්නා සේ මනහරය. අනුරාධපුර දෙස දකුණු දෙසින් අලංකාර කරමින් මිහින්තලය ආදී කඳු වැටි ඇළ දොළ ගංගා ආදියෙන් විචිත්‍රය සැතැපුම් ගණන් දුර ප්‍රමාණයේ වු නිල්වන් වනහිස එකම තණ පිටියක් සේ දැකුම් කළුය. පැරණි සිංහල බෞද්ධයන්ගේ නිජබිම් බවට නිදසුන් දෙමින් අවට පෙදෙස් සැතැපුම් දෙකෙන් තුනෙන් හතරෙන් පැරණි වෙහෙර විහාර තැනින් තැන නටඹුන් වී ඇත.
2500 බුද්ධ ජයන්තිය
වාර් ෂික කේශ ධාතු පූජොත්සවය
අපගේ අනුශාසනා පරිදි ත්‍රිකූණාමලයේ ජයසුමනා රාමාධිපතිව වැඩ සිටි ටී. ශ්‍රී. විමලකිත්ති නාහිමියන්ගේද සහයෝගයෙන් ත්‍රිකූණාමලය වාසී සැදැහැවතුන්ගෙන් ගිරිහඬු විහාර වර් ධන සමිතිය අරඹා 1955 වර් ෂයේදී වාර් ෂික කේශධාතු පූජොත්සවය පටන්ගන්නා ලදී. රජයේ ලංකා බෞද්ධ මණ්ඩලයට දන්වා එමගින් 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උත්සවය 1956 ඔක්තෝබර් 18 වැනි වප් පුන් පෝදා පවත්වා වාර් ෂිකෝත්සවය රජයේ සහයෝගයෙන් පැවැත්වීමට සභා සම්මත කර ගන්නා ලදී. බුද්ධ ජයන්ති උත්සවය සඳහා දිසාපතිතුමා විසින් දිසාපති කාර් යාලය මගින් විශ්‍රාම ශාලාවක්ද වැසිකිළි 12 ක් ද, ළිං දෙකක්ද තැනවීය.
සංඝාවාසය
1956 දී දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිරිහඬු සෑයේදී පිහිටුවන ලද ගිරිහඬු සෑය සංවර් ධන බෞද්ධ සමිතිය මගින් සංඝාවාසය විශ්‍රාම ශාලාව නව වටදාගේ ආදී අභිනව කටයුතු පටන් ගන්නා ලදී. ශ්‍රී චන්ද්‍රසේකර අරමුදල ශ්‍රීමත් ජයතිලක අරමුදල, සංස්කෘතික දෙපාර් තමේන්තුව ආදී තැන්වලින්ද ප්‍රභූ ත්‍යාගශීලීන්ගේද ආධාරයෙන් සංඝාවාසය ඉදිකරන ලදී. දැන් එය නටඹුන්ව පවතී.
විශ්‍රාම ශාලාව
හෝමාගම, ඊ. ඩබ්ලිව්. ඒ. ලීලදාස මහතාගේ ධන වියදමෙන් විශ්‍රාම ශාලාවේ කොටසක අත්තිවාරම් දමා ඇත. මෙරට හා පිටරට වන්දනාකරුවන් හා සංචාරකයන් යනෙන ස්ථානයක් හෙයින් ප්‍රයෝජනය අත්වනසේ මෙහි වැඩ නිම කරන ලදී. දැන් එය නටඹුන්ව පවතී.
බෝධීන් වහන්සේ
ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම අවශ්‍ය වූයෙන් ටී. බී. වේරපිටිය [හිටපු උප පොලිස්පති] මැතිතුමා විසින් අනුරාධපුරයෙන් වැඩමවා රෝපණය කළේය. එය සාර් ථක නොවුයේය.
බු.ව. 2507 [1963] පොසොන් පොදු සිරිමෙවන් අමරසිංහ දිස්ත්‍රික් විනිශ්චයකාර තුමා විසින් අනුරාධපුරයෙන් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවා රෝපණය කළේය. එය දැනට සෝභාමත්ව හැදී වැඩී ඇත. බෝධීන් වහන්සේ වටා අලංකාර බෝධි ප්‍රකාරයක් එම මැතිනිය විසින් දිසා විනිසුරුතුමන්ට නිවන් සුව පතා කරවන ලදී. මෙහි පූජාසනය ඇස්.එච්. විල්බට් සිල්වා මුදලාලි මහතාට නිවන් පතා කරවන ලදී. බෝධි ප්‍රකාරයක් හා පූජාසනය ජරාජීර් ණ වී ඇති හෙයින් සැදැහැති පරිත්‍යාගශීලීන් ගේ අවධානය යොමු වේවා.
නව වටදා ගේ
1973 අගෝස්තු 12 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විලියම් ගොපල්ලව උතුමාණන් අතින් නව වටදා ගේ සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය විය. වාර් ෂික කේශ ධාතු පූජෝත්සවය සමග වු මේ මහෝත්සවයේදී ගරු ඇස්.ඇස්. කුලතිලක සංස්කෘතික ඇමතිතුමන් රාජාද සිල්වා පුරාවුදු අදිකාරී තුමන් විහාරාධිපති නාහිමියන් හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන ප්‍රාදේශීය ජනතාව විසින් අතිගරු ජනාධිපති උතුමාණන් පිළිගන්නා ලදහ. අතිගරු ජනාධිපති උතුමාන් හා එම ආර් යාවද විශේෂයෙන් පිළියෙළ වු හෙලිකොප්ටර යානයෙන් සෑය වෙත සැපත් වුහ.
තිරියාය පූජා නගරය
ගිරිහඬු සෑය සංවර් ධන බෞද්ධ සමිතිය විසුරුවා හැර තිරියාය පූජා නගර සංවර් ධන සමිතිය නමින් ගරු සි. සිරිල් මැතිව් ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් සමිතිය පිහිටුවා තිරියාය පුද බිමේ කටයුතු 1980 අප්‍රේල් 6 වැනිදා අතිගරු ජේ.ආර්. ජයවර් ධන ජනාධිපති උතුමාණන් අතින්ද, නගරය කටයුතු ගරු ආර්. ප්‍රේමදාස අගමැතිතුමන් අතින්ද මුල්ගල් තබා ඇරඹිණි.
ක්‍රි. ව. 1985 පසුව
පළාතේ තත්ත්වය සැලකිල්ලට ගෙන විහාරස්ථානය හැර දමා අකමැත්තෙන් හෝ යාමට සිදුවුහ. අවුරුදු 17 ක් අවතැන් වුවන් ලෙස කාලය ගතකළෙමු. ගිරිහඬු වටදාගෙය ඇතුළු පුරාවස්තුන්ට ජිවමාන කේශධාතුන් වහන්සේලාගේ බලයෙන් කිසිදු විනාශයක් සිදුනොවීය. නව ඉදිකිරීම් ලෙස තිබු බෝධි ප්‍රාකාරය , විහාර මන්දිරය , සංඝාවාසය, ධර් ම ශාලාව, විශ්‍රාම ශාලාව, පුරාවිද්‍යා කාර් යාලය, පූජා නගර කාර් යාලය ආදී ගොඩනැගිලි විනාශයට පත්විය.
ක්‍රි. ව. 2002 පසුව
වෙසක් පුරපසළොස්වක පොහෝ දිනට පෙර දින [2002 /8/ 25] නැවතත් ගිරිහඬු සෑයට අරුණළු උදාවිය. ප්‍රදේශයේ සඟරුවනගේද, ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමාගේද, නාවික හමුදාපති අද්මිරාල් සඳගිරි මැතිතුමාගේද ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් සංවිධානය කරන ලදී.
පොසොන් පුරපසළොස්වක පොහෝ දිනට පෙර දින [2002 /6/ 23] ගිරිහඬු වෙහෙර ඒකාලෝක විය. නාවික හමුදාවේ ක්‍රියාකාරීත්වය මත ඉදිකරන ලද නව සංඝාවාසය හා විශ්‍රාම ශාලාව විවෘත කිරීම මෙදිනට යෙදී තිබිණ. ප්‍රදේශයේ සඟරුවනද, දියවඩන නිළමේ නිරංජන් විජේරත්න මැතිතුමාද, අද්මිරාල් සඳගිරි මැතිතුමන් ප්‍රධාන ආරක්ෂක අංශවල බොහෝ පිරිසක්ද, සැදැහැවතුන් හා සැදෑවතියන්ද සහභාගී වුහ.
ගිරිහඬු සෑය යනු බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශධාතුන් නිදන් කරන ලද සුවිශේෂී ලෝක බෞද්ධ උරුමයකි. මෙම ලෝක උරුමය රැක ගැනීමේහිලා කරන ලද දේ බොහෝ අල්පවන අතර, කළ යුතු දේ බොහෝ ඇත. ගිරිහඬු සෑය රැකබලා ගැනීමේහිලා ලෝවැසියන්ගේම නෙත් සිත් යොමුවේවා.
නව බුදු මැදුර [ තායිලන්ත ]
ගිරිහඬු සෑය විහාර ස්ථානයට අද්මිරාල් දයා සඳගිරි මැතිතුමන්ගේ මැදිහත්වීමෙන් රන් ආලේපිත තායිලන්ත බුදු පිළිමය සහ සැරියුත් මුගලන් දෙනමගේ පිළිම තැන්පත් කොට විහාරයක් ඉදිකරන ලදී. නැගෙනහිර ආඥාපති සරත් වීරසේකර මැතිතුමන්ගේ උපදෙස් මත තිරියාය වළගම්බා නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී හේමන්ත පීරිස් මැතිතුමන්ගේ උත්සාහයෙන් නාවික හමුදාවේ ධන පරිත්‍යාගයෙන්, ශ්‍රම පරිත්‍යාගයෙන් විහාර මන්දිරය ඉදිකරන ලදී.
ක්‍රි. ව. 2005 න් පසුව
පූජනීය ගිරිහඬු සෑය විහාර ස්ථානය 2005 පසු ත්‍රස්තවාදය දරුණු අතට හැරුණු හෙයින් නැවතත් විහාර ස්ථානයට යාමට නොහැකි වාතාවරණය ඇතිවිය. අවුරුදු දෙකක් පමණ යාමට නොහැකි වු හෙයින් විහාර ස්ථානයේ අල්පව හා ස්වල්පව තිබු බඩු බාහිරාදිය නැවත විනාශයට පත්විය. නාවික හමුදාව මගින් මෙම පුද බිම ජිවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කර ගන්නා ලදී.
මේ අතර ශ්‍රී ලංකාව එක්සේසත් කළ දියසෙන් කුමරුවානන් අප ලංකා දරණ තුළ රුහුණෙන් පහළ විය. එය වෙනත් කවුරුවත් නොව වර් තමාන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ උතුමාණන්ය. එතුමන්ගේ ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේද සියලු රණ විරුවන්ගේ උදාරවු කැපකිරීම මත 30 වසරක කුරිරු ත්‍රස්තවාදය 2009/ 05 /18 දින ලක් දෙරණ මතින් සහමුලින්ම තුරන් කරන ලදී. එය අප රටට පමණක් නොව මුළු ලෝකයාටම ලොකු ජයග්‍රහණයකි.
ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව පූජා කිරීම
වෛද්‍ය නිමල් හේරත් ගුණරත්න, චිත්‍රාංගනි හේරත් ගුණරත්න යුවළ විජිත හේරත් ගුණරත්න, හා අනෝමා හස්තනායක මහත්මිය සහ දූ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන්, මියගිය වෛද්‍ය සිරිල් සහ නන්දාංගනි හේරත් ගුණරත්න දෙමාපියන්ට පිං පිණිස ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව 2010 මාර් තු මස 20 වන දින ගුවන් හමුදාවේ 100 යකට අධික සෙබල පිරිසකගේ කර මතින් දෝලාවක ආධාරයෙන් වැඩමවා ගිරිහඬුසෑ රජුන් වෙත පුද කරන ලදී.
දැන් ලක් දෙරණ එක් ධජයක් මත නිදහසේ ලෙලදේ. අවුරුදු 30ක යුද්ධය නිසා විනාශ වු තිරියාය ගිරිහඬු සෑය රජමහා විහාරස්ථානය කෙරෙහි ජනාධිපතිතුමන් ඇතුළු සියලුදෙනාගේ නෙත් සිත් යොමු වී ඇත. ලක් දෙරණ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රථම චෛත්‍යය බවට පත්වන මෙම ගිරිහඬු සෑය පුද බිම ලෝකවාසීන් හට වැඳපුදා ගන්නා මෙන්ම අංග සම්පුර් ණ විහාර ස්ථානයයක් බවට පත්කිරීම තිරියාය පූජා නගරය ආරම්භ කිරීම, විහාර ස්ථානය අවට ජනපද පිහිටුවීම රජයේ අනුග්‍රහය යටතේ ආරම්භ කළ යුතු කාලය එළඹ ඇත.
නිවන් සුව ලැබේවා!
බුදු සසුන ලොව බැබලේවා!
Leave a Reply